කොරෝනා එන්නත ලබාගත් ඔබ ආරක්‍ෂිතද ?

COVID Vaccine Tracker | American Lung Association

මා වසරකට පෙර Herd Immunity යන ශීර්ෂ පාඨය යටතේ ලිවූ ලිපියක් අවසන් අර්ධය යතාවත් කර නැවත පළකිරීමට සිතුවේ මේ දිනවල කොරෝනා එන්නත්කරණය පිළිබඳ කතාබහට මේ දැනුම උදව්වක් වේයැයි සිතාය. මාගේ පළමු ලිපියෙහි ලින්ක් එක පහතින් සඳහන් කර ඇත.

Herd හෝ “රංචුව” යන පදය එකට ජීවත්වන සත්ව විශේෂයක් හැඳින්වීමට යෙදෙන බව ඔබ සැම දන්නා කාරණයකි. Immunity යනු ප්‍රතිශක්තිය, එසේත් නැත්නම් රෝගවලට ඔරොත්තු දීමේ හෝ රෝගවලින් ආරක්ෂාවීමේ හැකියාවය. Herd immunity යනු එක්ව ජීවත්වන සත්ව රංචුවකට යම් රෝගයකින් ගැළවී සිටීමේ/ආරක්ෂාවීමේ හැකියාවය.

යම් රංචුවකට හෝ ප්‍රජාවකට herd immunity ලැබෙන ක්‍රම 2කි.
1. එම රෝගය වැළඳී එයට ස්වභාවයෙන්ම ලැබෙන ප්‍රතිශක්තිය.
2. එන්නතක් හෝ වෙනයම් ප්‍රතිශක්තීකරණ වැඩ පිළිවෙලක් මගින් කෘතීමව ඇතිකරන ප්‍රතිශක්තිය.

Herd immunity සංකල්පයේ වැදගත්ම ප්‍රායෝගික කරුණ වන්නේ යම් ප්‍රජාවකට, යම් රෝගයක් කෙරෙහි herd immunity ඇතිවූ පසු එම රෝගය නොවැළඳුණු හෝ එම එන්නත ලබා නොගත් ස්වල්ප දෙනාවද එම රෝගයෙන් ආරක්ෂාවීමය. සරලව කිවහොත් යම් ප්‍රජාවකින් 95%ක් සරම්ප එන්නත නිසා සරම්ප වලට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනගාගෙන ඇතිවිට, ඉතිරි 5%ද සරම්ප රෝගයෙන් ආරක්ෂාවේ. මෙය සිදුවන්නේ ප්‍රතිශක්තිය නැති පුද්ගලයා වටා ඉන්න බහුතරය සරම්ප වෛරසය සම්ප්‍රේක්ෂණයට බාධාකර එය එම පුද්ගලයා වෙත පැමිණීම වළක්වන නිසාය.

මෙහි අනෙක් වැදගත්ම ප්‍රායෝගික කාරණය ගැන දැන් ඔබට ඉඟියක් ලැබෙන්නට ඇති. යම් ප්‍රජාවකට යම් රෝගයක් කෙරෙහි herd immunity එකක් ලැබීමට නම් එම ප්‍රජාවේ බහුතරයකට එම රෝගය කෙරෙහි ප්‍රතිශක්තියක්තියක් ඇතිවී තිබිය යුතුය. සරම්ප ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන රෝගයක් නිසා එයට herd immunity ඇතිවීම සඳහා ප්‍රජාවෙන් 95%කට ඒට එරෙහිව ප්‍රතිශක්තියක් තිබිය යුතු බව විද්‍යාඥයින් සොයාගෙන ඇත. එසේවීමට නම් එක්කෝ 95%කට සරම්ප වැළඳිය යුතුය. නැත්නම් 95%කට සරම්ප එන්නත මගින් ප්‍රතිශක්තියක් ලැබිය යුතුය. සරම්ප එන්නතේ ඵලදායීතාව 85%කි. එනම්, සරම්ප එන්නත ලබාදෙන පුද්ගලයින්ගෙන් ප්‍රතිශක්තිය ඇතිවන්නේ 85%කට පමණි. එබැවින් අප ප්‍රතිශක්තීකරණ වැඩසටහනේදී එම එන්නත මාත්‍රා දෙකක් ලබා දෙමු. මෙහි අරමුණ අර මුලින් මග හැරෙන 15%න් තවත් 85%කට, එනම් ප්‍රජාවෙන් 95%කට වැඩි පිරිසකට ප්‍රතිශක්තිය ඇතිකිරීමටය. මෙම ක්‍රියාවලිය සාර්ථක වන්නේ ප්‍රජාවේ 98%ක් වත් එන්නත ලබාගතහොත් බව දැන් ඔබට වැටහෙනු ඇති.

COVID-19: Vaccine information | CVS Health

ශ්‍රී ලංකාවේ සරම්ප වසංගතයක් ලෙස පැතිර නොයා ඇමරිකාවේ සහා යුරෝපයේ සමහර රටවල එලෙස පැතිර යාම ගැන දැන් ඔබට පුදුමයක් නොවෙනවා ඇති. එම රටවල antivaxers කණ්ඩායම් නිසා ප්‍රතිශක්තීකරණ වැඩසටහන් ප්‍රජාවේ ප්‍රතිශක්තිය අවශ්‍ය ඉලක්කය සපුරාලීමට අපොහොසත් වේ. එබැවින් එන්නතක් තිබුණද, එම ප්‍රජාවේ herd immunity ඇති නොවේ. එවිට ආරක්ෂාව ලැබෙන්නෙ එන්නත ලබාගත් පිරිසෙනුත් තමාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ගොඩනැගුණු 85%ට පමණි. එම ප්‍රජාවේ සරම්ප වසංගතයක් ලෙස පැතිරයාමට වැඩි ඉඩක් ඇත. සරම්ප නිසා ඇතිවන නියුමෝනියාව, මස්තිෂ්ක ප්‍රදාහය (enchephalitis/එන්කෙෆලයිටිස්) වැනි දරුණු තත්ව ඇතිවී ඒ නිසා සිදුවන මරණ දැකගත හැකිවේ.

මා සරම්ප උදාහරණය ගත්තේ එය දිගුකාලයක් මහජන සෞඛ්‍ය පද්ධතියේ භාවිතා කළ, කාර්‍යක්ෂමතාව සහා ඵලදායීතාව ගැනද, අතුරුඵල ගැනද අප වැඩි විස්තරයක් දන්නා එන්නතක් බැවිනි. කොරෝනාවලින් වැළකීම සඳහා භාවිතා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්ව යටතේ භාවිතයට අනුමැතිය ලබාදුන් කිසිදු එන්නතක් ගැන අප තවම සරම්ප එන්නත ගැන දන්නා තරම් නොදනිමු. ඒ ඒවා සියල්ලම භාවිතයට පැමිණ තවම වසරක්වත් ඉක්මගොස් නැති නිසාය. එම එන්නත්වල ඵලදායීතාව 70% සිට 90% දක්වා පරාසයක දැකගත හැක. අර සරම්ප එන්නත ගැන විස්තර කළ මූළධර්මවලට අනුකූලව ගත්කළ එමගින් කියවෙන්නේ එන්නත ලබාගත්තද, ඔවුන්ගෙනුත් 10% – 30% අතර ප්‍රමාණයකට ප්‍රතිශක්තිය නිපදවෙන්නේ නැති බව බව ඔබට දැන් වැටහෙනු ඇතැයි සිතමි.

රටේ ජනගහනයෙන් 10%ක්වත් එන්නත්කරණය නොවුනු තත්වයක් උඩ එන්නත ලබාගත් පමණින් ඔබට රෝගයෙන් ආරක්ෂාව ලැබේයැයි සහතිකයක් නැති බව ඔබට දැන් තේරුම් යෑමට ඇතැයි සිතමි. එලෙසම එන්නත් නිෂ්පාදකයින්ට අනුව මේ එන්නත් වළක්වන්නෙ රෝගය උත්සන්නවීම සහා කොරෝනා මරණ ඇතිවීමේ අවදානමය. රෝගය වැළඳීමට සහා ඔබෙන් වෙන කෙනෙකුට රෝගය සම්ප්‍රේෂණයවීමටද ඇති ඉඩප්‍රස්ථාව මෙමගින් ඇහිරෙන බවට විද්‍යාත්මක සාක්ෂි (තවම) නොමැත. එලෙසම නවක වෛරස ප්‍රභේද දක්නට ලැබීම, දරුවන් සඳහා සුදුසු එන්නතක් තවම නිපදවා නොමැති වීම, කොපමණ කාලයකට ආරක්ෂාවක් ලැබේ දැයි තවම නිසැකවම දත්ත නැතිවීම වැනි විවිධ කරුණුද සළකා බැලූවිට එන්නත ලබාගත්තා යනු “සියල්ලක්ම සම්පූර්ණ” නොවන බව ඔබට වැටහෙනවායැයි සිතමි. (දැනට ඇති දත්ත අනුව ආරක්ෂාව ලැබෙන්නෙ අවමව මාස 9කටය. ඒ ඒ පර්‍යේෂණයේ කාල පරාසයය. එබැවින් බොහෝවිට මෙය තව දිගුවිය හැක. ඉදිරියේදී වඩාත් යතාවත් දත්ත අප වෙත ලැබෙනු ඇත)

එන්නතක පූර්ණ ප්‍රතිඵල ඔබටත්, රටටත් ලැබීමට නම් රටේ බහුතරයකට එම එන්නත ලැබී තිබිය යුතු බව ඔබට දැන් වැටහෙනවායැයි සිතමි. යුරෝපය තම ජනගහනයෙන් බහුතරය එන්නත් කර ඇති නිසා අනෙකුත් ආරක්ෂන ක්‍රමවේද දැන් ක්‍රමක්‍රමයෙන් ලිහිල් කරගෙන යන බැව් ඔබ  ප්‍රවෘත්තිවලින් දුටුවා වීමට පුළුවන. එහෙත් අපට තවම එවැනි පෙළහරපෑමට ඉඩක් නැත. එබැවින් ඔබ ලැබෙන මුල්ම අවස්තාවේ එන්නත ලබාගන්න. එහෙත් දිගටම මුහුණු ආවරණ පළඳින්න… ශ්වසන ස්වස්තතාව පවත්වාගන්න…. නිතරම අත් පිරිසිදුව තබාගන්න.. නිවසෙන් පිටතදී ඔබගේ මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වළකින්න… ඔබගේ ගමන් බිමන් සීමා කරන්න… සංවෘත ස්ථාන හැකිතාක් මගහරින්න… එළිමහනේ වුවත් අන් අය සමඟ ගැටෙන විට මීටරෙන් ඉන්න… තවදුරටත් ඔබත් ආරක්ෂාවී අන් අයවත් ආරක්ෂා කරන්න 🙏

manuja

මනුජා පෙරේරා  (කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය , ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය. )