ෆේස් බුක් මඩ වලට ගිහානි වීරසිංහ උත්තර දෙයි

පසුගිය දින කිහිපයක සමාජ මාධ්‍ය තුල මා තරම් අපහාස උපහාසයන්ට ලක් වූ කාන්තා චරිතයක් නැතුවා විය යුතුය. මා පෞද්ගලිකවම හඳුනන්නාවූ පුද්ගලයින් පවා මගෙන් කිසිවක් නොවිමසාම මා වෙත එල්ල කල චෝදනා දැක මා විමතියටත් කණගාටුවටත් පත්විය.

මාගේ සැමියා ව්‍යාපාරික කටයුත්තකට පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව නියෝජනය කිරීමට වරම් ලැබීය. ඒ මෙරට මුදල් අන් රටකට ගෙනයෑමේ අරමුණෙන් නොව විදේශයක සිට මෙරටට ආයෝජනයක් හෝ ගෙන ඒමේ අරමුණෙනි. ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලත් ව්‍යාපාරික සංගමයක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සඳහා ලත් ආරාධනාවක් මත එම ආරාධනා ලත් ව්‍යාපාරික සංගමයේ මහජන සම්බන්ධතා උප සභාපතිනියද ලෙසින්ද ඊට අමතරව මාගේ ස්වාමිපුරුශයා ඇතුලු නියෝජිත පිරිසක් සහභාගී වූ අතර ඒ වෙනුවෙන් වූ සියලුම මුදල් අපගේ පෞද්ගලික මුදලින් වියදම් කර ඇත්තෙමු. රජයෙන් කිසිඳුමුදලක් ඒ වෙනුවෙන් අප වෙත ලබා නොදුන් අතර එලෙස මුදල් ලබාදීමේ අවශ්‍ය තාවයක්ද පැන නොනගී. වෙනත් අවශ්‍යතාවයක් උදෙසා ලන්ඩන් පැමිණි ඩිලාන් පෙරේරා හිටපු අමාත්‍යතුමා හා චන්දිම වීරක්කොඩි හිටපු ඇමතිතුමා ඇතුලු කණ්ඩායම කැනාරිවොල්ෆ් යන ප්‍රදේශයේ පිහිටි තානායමක් තුල පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරාගේ උපන් දිනය හේතුවෙන් කුඩා සැමරුමක් පැවැත්වූ අතර ආරාධනා මත අපද එයට සහභාගී වූ නමුදු දේශපාලනිකව කුමන මතයක් දැරුවත් මොහාන් මෙන්ම මාද දන්නා හඳුනන ඩිලාන් මන්ත්‍රීතුමාගේ උපන් දින සාදයේ කේක් කෑල්ලක රස බැලීම මා එල්ලුම් ගස් යැවිය යුතු තරමේ, ගණිකාවියක කර අපහාස කලයුතු මට්ටමේ අපරාධයක් බව මා නොදැන සිටියෙමි. පෞද්ගලික මුදලින් ඔවුන්ගේ ආරාධනාව මත ව්‍යාපාරික සමුළුවකට එක් ව්‍යාපාරික සංගමයක මහජන සම්බන්ධතා උප සභාපතිනිය ලෙස සහභාගීවීම වරදක් වන බව හෝ ස්වාමියා සමගින් සංචාරයක නිරතවීම වරදක් වන බව කිසිදා විශ්වාස නොකරමි.

ඩිලාන් මන්ත්‍රීතුමා හෝ චන්දිම මන්ත්‍රීතුමා වත් අඩුම තරමේ ජනාධිපතිතුමාගේ දූත කණ්ඩායමට ඇතුලත් නැතිවා විය යුතුය. ඔවුන්ද පැමිණ තිබුනේ ජනපතිතුමා මුණ ගැසීමට විය යුතුය. ඔවුන් ජනපතිතුමා මුන ගැසුනාදැයි නැද්ද යන්න පවා මා දැනුවත් නැත. අහම්බෙන් හමුවී ඔහුගේ උපන් දින සාදයට සහභාගීවීම කල පමණින් මා ජනාධිපතිතුමාගේ දුත කණ්ඩායමටත් ඇතුලත් කර නොවිඳීමත්, නොලැබීමත්, හීනමානයත් කැටිකොට මා වෙත කලාවූ අපහාසයන්ට මා එක බිඳුවක් හෝ නොවැටුනෙමි. අහේතුකව කෙතරම් කාන්තාවන් මේ සමාජ මාධ්‍යතුල අපහාසයට ලක්වන්නේද යන්නත් ඔවුන් වෙනුවෙන් සමාජය කෙලෙසක ප්‍රතිචාර දක්වන්නේද යන්නත් උපේක්ෂාවෙන් අත්වින්දෙමි.

ඊර්ශියාව පෙරදැඩිව මඩ ගෙන සමාජ මාධ්‍ය තුල මට එරෙහිව අකුරු කල සහෝදර සහෝදරියන් ගෙන් මා එක ප්‍රශ්නයක් අසමි.

මට කල අපහාසයන් ගෙන් අනතුරුව ඔබ විසින් අත්පත් කරගත් යම් ලාභයක් තිබේද ?

සබුද්ධික හිත මිතුරන්ගේ දැනගැනීම උදෙසා විස්තරාත්මකව සංචාරයට අදාල ලිපි, මා පුද්ගලිකව කල ගෙවීම් සහ කාමර වෙන්කර ගැනීම් කිහිපයක් සාක්ෂි ලෙස මේ සමඟ දක්වමි.

මම Gi Weerasinghe.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.