හැඳුනුම් පත ඔත්තු බලන යන්ත්‍රයක් ?

‘පෞද්ගලිකත්වය'(privacy) මානව අයිතියක්ද? යන ප්‍රශ්නයට පක්ෂව සහ විපක්ෂව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තර්ක විතර්ක ඉදිරිපත් කෙරෙමින් ඇත.

මෙම ව්‍යාපෘතිය නම්කරනු ලැබ තිබෙන්නේ ‘පදනම ‘ යන තේරුම දෙන “Aadhaar” වචනයෙනි.

ඒ යටතේ කෝටි සීයකට අධික ඉන්දියානුවන්ගේ ජීව තොරතුරු එක්රැස් කෙරෙන අතරවාරයේ ඇඟිලි සළකුණු ලබා ගැනීමක් ද පුද්ගල ඇස්වල ස්වභාවය රූපගත කරනු ලැබීමක් ද සිදු කෙරෙයි.

මේ ව්‍යාපෘතිය මුලදී ආරම්භ කර තිබෙන්නේ ආණ්ඩුවේ ආධාර වංචා කරනු ලැබීම වළක්වාලීමේ ස්වේච්ඡා වැඩ පිළිවෙළක් යයි පවසමිනි.

බදු වැඩි කිරීම, ඡන්දදායකයන් ලියා පදිංචි කිරීම, ව්‍යාජ රියැදුරු බලපත් පාවිච්චි කරන ලක්ෂ ගණනක් රියැදුරන් කොටුකර ගැනීම වැනි ඉලක්ක මත පෙරට යමින් තිබුණ එම වැඩ පිළිවෙල යටතේ මහජනතාව ලියාපදිංචි කෙරුණේ ඔවුන් ආණ්ඩුවේ ආයතනයක් කරා පැමිණි අවස්ථාවක පමණි.

එහෙත් එය මේවනවිට සුවිශාල වඩාත් ක්‍රමවත්ව සංවිධානය කෙරුණ හැඳුනුම් පත් ව්‍යාපෘතියක් බවට පත්ව පාසල්,රෝහල් සහ ළමා මධ්‍යස්ථාන වැනි තැන්වලදීත් ලියා පදිංචිය සිදු කෙරෙයි.

ඒ සඳහාම විශේෂ කඳවුරු පිහිටුවා ඇති බවක් ද වාර්තා වෙයි.

ඉන්දියානුවන්ගෙන් 90% ක්ම හැඳුනුම් පත් සඳහා ලියාපදිංචි වී ඇතැයි “Aadhaar” වෙබ් අඩවිය ප්‍රකාශ කළත්, සමාජ ක්‍රියාධරයෝ එම සංඛ්‍යාවන් ප්‍රශ්න කරති.

කෙසේවුවද , මේ තත්වය තහවුරු කෙරුනොත් එම හැඳුනුම් පතින් තොරව කිසිදු බැංකු ගනුදෙනුවක් හෝ බදු සම්බන්ධ කටයුත්තක් කර ගැනීමට ඉන්දියානුවන්ට නොහැකි වෙයි.

මේ ප්‍රශ්නය ඉන්දීය සමාජය පුරා කතිකාවක් බවට පත්වුණේ ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි තම නව හැඳුනුම්පත් අංකය පසුගිය මාර්තු මාසයේ වැරදීමකින් ‘ට්විටර්’ පණිවුඩයක ඇතුළත් කිරීමත් සමඟයි.

සිය සමස්ත ජීවිතය හසුරුවන ‘එක අංකයක’ බලපැවැත්ම පිළිබඳව බොහෝ ඉන්දියානුවෝ කනස්සල්ල පළ කරන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවයි.

“එය මූල්‍ය තොරතුරු පිළිබඳව ඔත්තු බැලීමේ උපාංගයක්”ලෙස බියක් ද පළ වෙමින් පවතී.

මෙය එක්සත් ජාතීන්ගේ මූලික අයිතිවාසිකම් ප්‍රඥප්තියට පටහැණි බවට ඇතැමෙක් තර්ක කරති.

ජීව දත්ත හුවමාරු කර ගැනීම සඳහා මහජනයාට බල කරන ආණ්ඩුවේ බල අධිකාරියේ සදාචාරය පිළිබඳවත් ප්‍රශ්න මතු වෙමින් ඇත.

මහජන නිදහස පිළිබඳ සංවිධානයේ ක්‍රියාධර සුරේෂ් බීබීසියට අදහස් දක්වමින්, ජීව දත්ත හුවමාරු කිරීමක් ගැන මහජනයා දැනුවත් කර නැති අතරම අනිත් අතින් මෙම හැඳුනුම්පතක් නොමැතිව තමන්ට මූල්‍ය ගනුදෙනු සිදු කිරීම ,අධ්‍යාපන ආයතනයකට ඇතුල්වීම හෝ ආණ්ඩුවේ වෙළෙඳ සැලකින් ආහාර ද්‍රව්‍ය වලට දෙන සහනයක් ලබා ගැනීමට පවා නොහැකි වනු ඇතැයි ඔවුන් බිය පළ කරන බව සඳහන් කළේය.

“මේ ජීව දත්ත පිටස්තරයන් අතට පත් නොවේවි කියල සහතිකයක් නැහැ. ඒ වගේම අදාළ වගකීමේ යාන්ත්‍රණයකුත් නැහැ” සුරේශ් පවසයි.

සියලු තොරතුරු සුරක්ෂිතව පවත්වා ගනු ලබන බව අදාළ බලධාරීන් බීබීසියට ප්‍රකාශ කළත් තම තොරතුරු වැරදි පුද්ගලයන් අතට යෑමට ඇති ඉඩකඩ පිළිබඳව ක්‍රියාධාරීහු මැසිවිලි පළ කරති.

ගවේෂණාත්මක මාධ්‍යවේදී සේකට් දත්තාට අනුව “Aadhaar” යනු “ලෝකයේ ලොකුම ඔත්තු බලන යන්ත්‍රයයි”.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් ද “Aadhaar” ව්‍යාපෘතිය 2014 වසරේ දැඩි වචන යොදා ගනිමින් දෝෂ දර්ශනයට ලක්කර ඇත.

මේ අතර එම වැඩ පිළිවෙලට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉහත කී ආකාරයේ පෞද්ගලික තොරතුරු ලබාගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන බවයි.

අධිකරණය ‘පෞද්ගලිකත්වය’ මූලික අයිතිවාසිකමක් හැටියට තහවුරු කළොත් එම තීන්දුව ඉන්දියාවේ සෙසු නීති පද්ධතීන් කෙරෙහිත් බලපෑමක් කරන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එවැනි තත්වයක් යටතේ ඇතැම් ප්‍රාන්තවල බල පැවැත්වෙන ගවමස් සහ මධ්‍යසාර තහංචිය මෙන්ම සමලිංගික සම්බන්ධතා වැනි අංශ රාශියක් පිළිබඳව දැනට බලපැවැත්වෙන නීතියට එමගින් බලපෑමක් සිදු වෙන බව ඔවුහු පවසති.

ඉන්දියාවේ පමණක් නොව තත වෙනත් රටවලද හැඳුනුම් පත්වලට මහජන පෞද්ගලික තොරතුරු විමසීම ඇතැම් සංවිධානවල දෝෂදර්ශනයට ලක්ව ඇත.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.