සිංහල ගුරුත්ව කේන්ද්‍රය

පෙබරවාරි 17 වන දා කොළඹ හයිඞ් පිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද රැස්වීම ඓතිහාසික වශයෙන් ශ‍්‍රී ලංකාවට අලූත් අත්දැකීමකි. මහින්ද රාජපක්ෂගේ ඉදිරි දේශපාලන අනාගතය වෙනුවෙන් එම රැස්වීම සංවිධානය කර තිබුණි.

රැස්වීමේ විශේෂත්වය වූයේ එයට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාත්, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප‍්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතාත් සහභාගී වීමය. සෝමවංශ අමරසිංහ යනු 89 වර්ෂයේ රාජ්‍ය මර්දනය හමුවේ ජීවිතය බේරා ගත් එකම ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයාය. පේ‍්‍රමදාස මහතාගේ මරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ යළිත් සංවිධානය වූයේ ඔහු වටාය. එහි ප‍්‍රචාරක ලේකම්වරයා එකල දශකයක පමණ කාලයක් රට වටා ගමන් කළේ සමාජවාදය වෙනුවෙන්ය.

ඓතිහාසික වශයෙන් අප ගත කරන මෙම මොහොතේ රාජ්‍ය බලය සහ සමාජ ප‍්‍රශ්න අතර ඍජු සම්බන්ධයක් නැත. රාජ්‍යයේ ප‍්‍රශ්න එක තැනක තිබෙන අතර සමාජයේ ප‍්‍රශ්න වෙනත් තැනක තිබේ. ධනවාදයේ පැවැත්මට ‘විරෝධාකල්ප’ අවශ්‍යය. නමුත් මේ වන විට ජීවත් වන තරුණ පරපුරට විරෝධාකල්ප අවශ්‍ය නැත. ඉන් අදහස් වන්නේ ධනවාදය විරෝධාකල්පවලින් තොරව පවතිනවා යන්න නොවේ. අද දවසේ විරෝධාකල්පකරුවන් එක්සත් වී ඇත්තේ සමාජජාලා වෙබ් අඩවි තුළය. ඒවායේ අයිතිකරුවන් වන්නේ සකර්බර්ග් වැනි ප‍්‍රාග්ධන හිමියන්ය. වෙනදා විරෝධාකල්ප සංවිධානය කළේ එක්කෝ වාමාංශික දේශපාලන පක්ෂය. නැතහොත් ප‍්‍රගතිශීලී මධ්‍යම පන්තියයි. දැන් මේ කොට්ඨාස දෙකම විස්ථාපනය වී එතැනට නූතන ප‍්‍රාග්ධනය ආදේශ වී ඇත. මේ මොහොතේ සකර්බර්ග් සෝමවංශට වඩා ප‍්‍රගතිශීලී වී ඇත.

ගැටලූව වන්නේ සකර්බර්ග් සෝමවංශට වඩා ප‍්‍රගතිශීලී වීම නොවේ. මාසික වැටුපට හුරු වූ සුළු ධනේශ්වර පන්ති ස්තරයක් දේශපාලන පක්ෂ හෝ පුවත්පත් වෙනුවට සමාජජාලා වෙබ් අඩවි ‘පන්ති අරගලය’ සඳහා වඩා ඉදිරිගාමී සටන් කලාවක් ලෙසින් ප‍්‍රකාශ කිරීමය. මෙය සත්‍යයද? සමාජ ජාලා වෙබ් අඩවි යනුම වාමාංශික චින්තනයේ අර්බුදය ප‍්‍රකාශමාන වීමකි.

යුද්ධයෙන් පසුවත් අපේකම, සිංහලකම ගැන මිනිසුන් කතා කරන්නේ මන්ද? මිනිසුන්ගේ බාහිර පිටපොත්ත වඩ වඩා ශීලාචාර වෙමින් පවතියි. මිනිස් ශරීරය මේ යුගයේ දී වඩ වඩා සුන්දරකරණය වෙමින් පවතියි. ඒ ගැන විවාදයක්වත් අවශ්‍ය නැත. නමුත් මිනිසුන්ගේ විඥානය වඩ වඩා අතීතය කරා ගමන් කරමින් පවතියි. ශරීරය වඩ වඩා විවිධ විලාසිතාවලින් පරිපූර්ණ වෙමින් ඉදිරි ගමනක් යන විට මිනිස් විඥානය වඩ වඩා බටහිර විරෝධී වෙමින් රුවන්වැලි සෑය, වටදාගෙය, දුටුගැමුණු, දළදා මාලිගාව දෙසට ගමන් කරයි. මේ කි‍්‍රයාවලි දෙක අතර ඇත්තේ සම්බන්ධයක් නොව විසම්බන්ධයක්ය. මේ කි‍්‍රයාවලි දෙක අතර ඇත්තේ පරතරයක්, වංකගිරියක්, පසමිතුරුභාවයක් මිස සුසංවාදයක්, සම්මුතියක් නොවේ.

යූඑන්පී ය සාමාන්‍යයෙන් රට පාලනය කරන විට එය පාලනය කරනවා මිස පාලනය කරන ‘මතවාදය’ ගැන වේදිකාවල කතා කරන්නේ නැත. ඒ ඔවුන්ගේ පුරුද්දය. මේ නිසාම රටක් පාලනය කරන්නට ‘දෘෂ්ටියක්’ (Ideolgy) අවශ්‍ය යැයි ඔවුන් දන්නේ නැත. අතට වැඩිපුර සල්ලි එන විදිහක් මිස මිනිසුන්ට විඥානයක් තිබෙන බව ඔවුන් දන්නේ නැත. නමුත් 21 වන සියවස 20 වන සියවස නොවේ. 20 වන සියවස අවසන් බව බහුතරයක් වාමාංශිකයන් නොදන්නා තරම්ම කලින් ආකාරයට ධනවාදය පාලනය කළ නොහැකි බව තවම ඇමෙරිකාවවත් නොදනියි. යූඑන්පී කාරයන් තවම උත්සාහ කරන්නේ මතවාදයකින් තොරව මිනිසුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතාවලට පමණක් අමතන්නටය. ධනවාදය වඩ වඩා ගෝලීය වන විට මිනිස් ජීවිතය හිස් වෙයි. එය නිස්සාර වෙයි. එහි පුෂ්ප වියළෙයි.

ධනවාදය තුළ එම සමාජ – ක‍්‍රමය නිසා බිහි වන පරාරෝපණයෙන් ගැලවීමට මිනිසාට අධ්‍යාත්මික උත්තරයක් අවශ්‍යයි. ජාතිකවාදය උත්තර දෙන්නේ මෙම හිස් ස්ථානයටයි. ‘බටහිර’ සතුරා කර ‘පෙරදිග’ මිතුරා කිරීම ධනවාදයේ අසහනයට එක පිළිතුරකි. පන්ති සතුරා වෙනුවට මුසල්මානුවා හෝ දෙමළාව හඳුනා ගැනීම ඊට තවත් පිළිතුරකි. වටහාගත යුත්තේ මේ උත්තර නොව සිදු වන විස්ථාපනයයි. මිනිසුන් රනිල් වික‍්‍රමසිංහ හෝ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමඟ අනන්‍ය වනවාට වඩා මහින්ද, විමල්, දිනේෂ් සමඟ අනන්‍ය වීමට ආශා කරන්නේ මන්ද? ජනාධිපති කාර්යාලයේ උපදේශකයන්ට උත්තර නැත්තේ මෙම ප‍්‍රශ්නයටය. මෛත‍්‍රීගේ දෙපසින් රනිල් සහ පාක්‍යසෝතී වාඩිගෙන සිටීමට වඩා මහින්දගේ දෙපසින් විමල් සහ දිනේෂ් වාඩිගෙන සිටීම ‘සිංහල මිනිසාට’ සුන්දර ෆැන්ටසි දසුනක් වන්නේ ඇයි? දෙවන ලෝක යුද්ධ ජයග‍්‍රහණයට පසු නාසිවාදයට පක්ෂපාතව කි‍්‍රයා කළ ජර්මානු කුප‍්‍රකට බුද්ධිමතා වූ හෛඩගර් කැලෑවක් තුළ සැඟවී සිටිය දී එක්සත් ජනපද යුද භටයන්ට හමුවෙයි. ඔවුන් පළමුව කරන්නේ ඔහුට සිගරැට් එකක් බොන්නට දී ‘සමරු සටහන්’ පොත් ඔහු වෙත දිගු කිරීමය. වටහාගත යුතු වන්නේ ‘ජාතිවාදියා’ මේ කෲර ධනවාදය තුළ නිවැරැදි ආරම්භක පියවර තබා ඇති බවය. නමුත් ඔවුන් ගමන් කරන දිශාව වැරැදිය.

රනිල් වික‍්‍රමසිංහ මහතාට තම පාලන තන්ත‍්‍රය කරගෙන යාමට අධ්‍යාත්මික දර්ශනයක් අවශ්‍ය නැත. ඔහු නියැළෙන්නේ චෙස් ක‍්‍රීඩාවකය. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට රට ඉදිරියට කරගෙන යන්නට අවශ්‍ය නම් අධ්‍යාත්මික දර්ශනයක් අවශ්‍යයි. යූඑන්පී විරෝධයත්, දෙමළ විරෝධයත්, රණවිරු ආකර්ෂණයත් මහින්දගේ රැලියේ ප‍්‍රධාන තේමාවය. මේවා ජාතිවාදී සටන්පාඨ බවට සැකයක් නැත. ජාතිවාදයට නිසි උත්තරය වස – විස තුළ නැත.

ඒ සඳහා මිනිසුන්ව අලූත් ආකාරයකට සංවිධානය කළ යුතුය. ජනාධිපතිවරයාගේ උභතෝකෝටිකය වන්නේ යූඑන්පී විරෝධයත්, යූඑන්පී සහයෝගයත් එකවර කළමනාකරණය කරන්නේ කෙසේද යන්නය. රනිල් වික‍්‍රමසිංහ මහතා කරන දෙයම ජනාධිපතිවරයාත් කළ යුතුය. රනිල් උත්සාහ කරන්නේ ‘ශ‍්‍රී ලංකා’ එක දෙකට කඩා යූඑන්පීය ශක්තිමත් කිරීමටය. මහින්ද උත්සාහ කරන්නේ ‘ශ‍්‍රී ලංකා’ එක දුර්වල කිරීමට රනිල් සමඟ එකඟතාවකට යන්නටය. නමුත් රනිල් සහ මහින්ද යන දෙදෙනාටම ‘කාලය’ සාධකය අමතක වී ඇත. මහින්දගේ වටේ සිටින මිනිසුන්ට සහ රනිල් වටේ සිටින මිනිසුන්ට දේශපාලන අභිප‍්‍රායන් නැත. ඔවුන්ට ඇත්තේ ආර්ථික අභිප‍්‍රායන්ය. දිගු කාලයක් ඡන්දයක් නො තබා ජනාධිපතිවරයා නිකන් සිටියාම රනිල්ගේ සහ මහින්දගේ පිලේ අසහනයන් මේරීම සිදු වෙයි. එම අසහනය වඩ වඩා මෝරන්නට මෝරන්නට රනිල් – මහින්ද අක්ෂය නිසා නිපදවී ඇති සිංහල – කේන්ද්‍රය දුර්වල වෙයි. ජාතිවාදයට විරුද්ධ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂ සියලූ දෙනා තව කාලයක් මඩ කාගෙන ජීවත් විය යුතුය. ලංකාවේ ‘රාජ්‍ය බලය’ වෙනස් කිරීමට හැකි කිසිදු විකල්ප බලවේගයක් ප‍්‍රධාන දේශපාලන වේදිකාවෙන් පිටත මේ මොහොතේ නැත. සිංහල කේන්ද්‍රය දුර්වල වන විට රනිල් සමඟ එකඟතාවක සිටින අනුරගේ ජවිපෙ තුළ ද අසහනයක් මෝරනු ඇත. මෙවන් මංසන්ධියක දී ටීඑන්ඒ එක තුළ ඇති වන අසහනයන් ඉන්දියාව කළමනාකරණය කරනු ඇත. සිංහල කේන්ද්‍රය වෙනුවෙන් ඇඟෙන් වැඩ කරන අයට දිගින් දිගට අපට හැම්ලට් නාටකය පෙන්විය හැකිය. ‘හැම්ලට්’ කුමාරයා තම පියා ඝාතනය කළ අයට විරුද්ධව උසාවියක් නිර්මාණය කළාට වඩා වෙන දෙයක් කළේ නැත. To be or Not to be : That is the Question ඉන්නවාද? නැත්නම් හැමණෙනවාද? ඒකයි ප‍්‍රශ්නය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.