සිංහරාජ “පිවිසුම් මග” ව්‍යාපෘතියේ පරිසර විනාශය

සිංහරාජ පිවිසුම් මග

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,  විරෝධතා   හමුවේ  වුවද  මේ වන විටත්  සිංහරාජ මාර්ගය ප්‍රතිසංස්කරණය කටයුතු ක්‍රියාත්මකය . දැන් ක්රියාත්මකවන්නේ  එම ව්‍යාපෘතියේ අවසන් අදියරය .

එම මාර්ගය තවමත් සංචාරකයන් සඳහා වසා දමා තිබුණ ද වැඩ බිමට ගොස් තොරතුරු සොයා බැලීමට අපට හැකිවිය .
මේ මාර්ගය අඩි 12ක් පමණ පළල ය. වසර විසි හතකට පෙර අප පළමුව සිංහරාජයට යන විට අඩි පාරක් පමණක් ඉතුරු වී, මාර්ගයේ ඉතිරි කොටස වල් බිහි වී තිබිණි. එමෙන් ම වැසි අවස්ථාවලදී සිංහරාජය දෙසින් ගලන ජලය බැස ගියේ මාර්ගය මැදිනි. එබැවින් අඩි තුන හතරක් ගැඹුරු වළගොඩැලි ඔස්සේ දුෂ්කර ගමනකින් කැළයට ගිය අයුරු සිංහරාජය හුරු අයෙකුට තවමත් මතක ඇතුවාට සැක නැත

මෙලෙස ප්‍රතිසංකරණය කරමින් පවතින්නේ ප්‍රවේශ පත්‍ර කවුළුව හා සිංහරාජයට ඇතුළු වන ගේට්ටුව අතර ඇති කී.මී. 1.2 ක් පමණ දිග මාර්ගයයි. එහි ගල් ඇතිරීම ආරම්භ කර ඇත්තේ ගේට්ටුව ආසන්නයේ සිට ප්‍රවේශ පත්‍ර කවුළුව දෙසටය. මාර්ගයේ ගල් ඇතිරීම, බෝක්කු දැමීම හා කාණු කොන්ක්‍රීට් කිරීම මේ යටතේ සිදු කෙරේ. ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරීම ESCAMP නමැති ව්‍යාපෘතිය යටතේ සිදු වන එක් ක්‍රියාකාරකමක් පමණි.

නූතන තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන ආරක්‍ෂිත ප්‍රදේශවල සීමා නිර්ණය කිරීම, පරිසර පද්ධතිවලට ඇති බලපෑම් හඳුනා ගැනීම සහ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ද ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ .

ESCAMP යනු Ecosystem Conservation and Management Project හෙවත් පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියයි. ඒ සඳහා මූල්‍ය ආධාර දෙනු ලබන්නේ ලෝක බැංකුව විසිනි. එය “අපේ පරිසරය වනසන්නට ලෝක බැංකුව විසින් බලෙන් පැටවූ ව්‍යාපෘතියක්” ලෙස ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබිණි.

නමුත් බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, ශ්‍රී ලංකාව විසින් ව්‍යාපෘතියක් ඉදිරිපත් කරනු ලදුව ඒ සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45ක මුදලක් ඉල්ලා ගැනීමක් මෙහිදී සිදුව ඇති බවය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ආරක්‍ෂිත ප්‍රදේශවල පමණක් නොව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ජාතික වනෝද්‍යාන කේන්ද්‍ර කර ගනිමින් ද ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

ESCAMP ව්‍යාපෘතියට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ස්ථාන වන්නේ සිංහරාජය, කන්එළිය, නකල්ස්, හුරුළු, ගැටදිවුල, වන්නියගම සහ වීරක්කොඩිචෝලෙයි යන ආරක්‍ෂිත ප්‍රදේශයන්ය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන බුන්දල, උඩවලව, ගල්ඔය, යාල සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාන කේන්ද්‍ර කර ගනිමින් ද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

නමුත් විරෝධය ආරම්භ වූයේ, සිංහරාජය පමණක් ඉලක්ක කරගෙනය. කන්එළිය මාර්ගය ගැන යම් විරෝධතාවක් පසුව මතු වුව ද එය ද යටපත් විය.sinharajaya

අද ගල් අතුරන මාර්ගයේ මීට පෙර ලොරි පමණක් නොව බස් රථ ද ගමන් කළ බව ඒ ආසන්නයේ වෙසෙන වැඩිහිටියෝ පවසති. 70 දශකයේදී රජයේ මැදිහත් වීමෙන් සිංහරාජයේ ගස් කැපීම ආරම්භ විය. තුනී ලෑලි සංස්ථාව පිහිටුවා ඒ සඳහා ගස් කැපීමට සිංහරාජය තෝරා ගත් බැවින් දැව ප්‍රවාහනය සඳහා මෙම මාර්ග පද්ධතිය සකස් කර තිබේ. සිංහරාජය ලෝක උරුමය නැරඹීමට යන සංචාරකයන් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී අදටත් ගමන් කරන්නේ ඒ මාර්ගය ඔස්සේය.

  • සිරිමා රජය පෙරළීමට එදා ජේ.ආර්. ජයවර්ධන යොදා ගත් සටන් පාඨයක් වූයේ ද තමන් ජනාධිපති වූ පසු සිංහරාජයේ ගස් කැපීම තහනම් කරන බවය. එවක සිංහරාජයේ සිදුවූ මහා විනාශයට එරෙහිව නැග ආ ජන විරෝධය හමුවේ සිංහරාජයට ඇතුළු වීම 1975 වසරේදී තහනම් කරන ලදී. 1977 වසරේදී සිංහරාජයේ ගස් කැපීම නතර කෙරුණු අතර ජනතාව වන්දනාවේ යන ආකාරයට ලොරි හා බස් රථවලින් සිංහරාජය නැරඹීමට පැමිණි බව පැරැන්නෝ පවසති.

පසුගිය දා සිදු වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ජෛව කොල්ලයට සම්බන්ධ පුද්ගලයන් සිංහරාජයට පැමිණියේත්, සිංහරාජයෙන් පිටව යාමට උත්සහ කළේත් ඒ මග ඔස්සේය. ගම හරහා වැටී ඇති එම මග ඔස්සේ පැමිණෙන ඕනෑ ම අයෙකුට අදටත් සිංහරාජ ලෝක උරුමයට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුව අසලට ම මෝටර් රථයෙන් යා හැකිය. ජීප් රථවලින් එම මාර්ගය ඔස්සේ සංචාරකයන් රැගෙන ඒම ව්‍යාපාරයකි.

නම හෙළි කිරීමට අකමැති වූ ගම් වැසියෙකු කියා සිටියේ පා ගමනින් යන සංචාරකයන්ට ප්‍රවේශ මාර්ග පහසුකම් සැලසීමට ඇතැම් කණ්ඩායම් විරෝධතා දැක්වුවත් සමාජයේ එක් කොටසකට පමණක් පරිසරය දූෂණය කරමින් ජීප්රථවලින් සිංහරාජයේ ප්‍රධාන ගේට්ටුව අසලට ගමන් කිරීමට ඉඩ සැලසීම ගැන නිහඬව සිටීම යුක්තිසහගත නොවන බවය.

සිංහරාජය රැක ගැනීමට නම් නම් එකී මාර්ගය පිළිබඳවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසරවේදීන් අවධානය යොමු කළ යුතුව ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

sinharajaya

සිංහරාජයේ ප්‍රවේශ මාර්ගයේ ගල් ඇතිරීම සහ කාණු කොන්ක්‍රීට් කිරීම නිසා ක්ෂුද්‍ර පරිසර පද්ධතියට දැනටමත් ඇසට නොපෙනන හානියක් සිදුවන බව පරිසරවේදිනී කාංචනා වීරකෝන් පෙන්වා දෙයි.

“මේ කොන්ක්‍රීට් කාණු නිසා නොයිඳුල් වනය හා මාර්ගය අතර බාධකයක් ඇති වෙනවා. කොන්ක්‍රීට් මත හැදෙන්නේ කට කළු බෝවිටියා, ගඳපාන වගේ ආක්‍රමණික ශාක. ඒවා ඉදිරියේදී සිංහරාජයට ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්” යනුවෙන් ඇය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

සංචාරකයන් වනාන්තරවලට පැමිණෙන්නේ ගල් ඇතිරූ මාර්ගවල යාමට නොවන බව ඇය සඳහන් කළාය.

සංචාරකයන්ගේ ගමන් පහසුවට හා ආරක්ෂාවට අඩි පාරක් පමණක් සංවර්ධනය කර මාර්ගයේ සෙසු කොටස ඉතිරි කළේ නම් මීට වඩා යෝග්‍ය බව ඇගේ අදහසය.

“මාර්ගය දෙපස විනාශ නොකළේ නම්” සිංහරාජයට ඇතුළු වීමටත් පෙර අවට වෙසෙන සතුන් පෙන්වා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකිව තිබූ බව කාංචනා වීරකෝන් පෙන්වා දෙයි.

“‘සංචාරකයෝ එන්න කැමති ගල් අල්ලපු පාරවල්වල යන්න නෙමෙයි. අපිට තිබුණා ප්‍රමෝට් කරන්න, යන්න පුළුවන් ප්‍රමාණයේ අඩි පාර හදලා දෙපැත්තේ ඉන්න සත්තු පෙන්වන්න. වනාන්තරයක් මැද මොකට ද කොන්ක්‍රීට් කාණු?”
සිංහරාජයේ “අලුත් පාරක්” කපන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සටන් පාඨ ඉදිරිපත් කෙරුණ ද එහි කිසිඳු සත්‍යතාවක් නැතැයි රත්නපුර අතිරේක දිසා වන නිලධාරී තිස්ස ඩයස් බණ්ඩාර  පැවසීය.

දැනට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින මාර්ගය සිංහරාජ රක්ෂිතයට පිටින් පිහිටා ඇති බවත් පැරණි මාර්ගයේ බෝක්කු සහ කාණු සකස් කර, ගල් ඇල්ලීම පමණක් සිදුවන බවත් ඔහු පවසයි.

2017 වසරේ වර්ෂාවත් සමග සිදුවූ නාය යාමෙන් සිංහරාජ ප්‍රවේශ මාර්ගයට හානි සිදු විය. එහෙත් නාය ගිය ස්ථානය යථා තත්ත්වයට පත් කිරීමට මුදල් නොතිබූ අතර ESCAMP ව්‍යාපෘතිය යටතේ ඒ සඳහා ද මුදල් ලැබුණ බව ද ඔහු පැවසීය.

“මේ හදන පාරේ අපි සංචාරකයන්ට වාහනවලින් යන්න දෙන්නේ නෑ. දැනටත් සිංහරාජයේ ගේට්ටුව ළඟට වාහන යන විකල්ප පාරක් තියෙනවා. ප්‍රවේශ මාර්ග හදල පහසුකම් සලසන්නේ නැතුව අපි සංචාරකයෝ ගෙන්න ගන්නේ කොහොම ද?” යනුවෙන් රත්නපුර අතිරේක දිසා වන නිලධාරී තිස්ස ඩයස් බණ්ඩාර ප්‍රශ්න කළේය.

 

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.