සංහිඳියාව ගොඩනැගිය හැක්කේ මතකයන් සුවපත් කිරීමෙන් පමණයි – මයිකල් ලැප්ස්ලි පියතුමා

දකුණු අප්‍රිකානු විමුක්ති අරගලයේ ක්‍රියාකාරිකයකු වූ ඇංග්ලිකානු පූජක මයිකල් ලැප්ස්ලි පියතුමා වර්ණභේද විරෝධී ව්‍යාපාරයට දායක වෙමින් අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ  සාමාජිකත්වය ද දැරීය. 1990 අප්‍රේල් 28 වැනිදා, වර්ණභේදවාදීන් විසින් යොමුකොට තිබූ ලිපි බෝම්බයක් පුපුරායාමෙන් දරුණු ලෙස තුවාල ලැබූ ඔහුගේ දෑත සහ එක් ඇසක් අහිමි විය. ඉන් අධෛර්යවත් නොවූ ඔහු පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ සමස්ත ජාතිය සුවපත් කිරීම සඳහා වූ. “මතකයන් සුවපත් කිරීමේ ආයතනයේ” නිර්මාතෘවරයා විය.එසේම දකුණු අප්‍රිකාවේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාවලියටද ඔහු තම දායකත්වය සැපයීය . freemedia.lk   ඔහු සමග කල විශේෂ සම්මුඛ සාකච්ජාවක් පහත වේ.
 

ප්‍රශ්නය -“මතකයන් සුවපත් කිරීමේ” ආයතනයේ බිහිවීම හා ඒ වෙත ඔබ යොමුවූ පසුබිම පිළිබඳව සරලව විස්තර කලොත් ?

පිළිතුර – මම  නවසීලන්තයේ සිට දකුණු අප්‍රිකාවට පැමිණියේ තරුණ ඇංග්ලිකානු පූජකයකු ලෙසයි.. මම සුදු ජාතිකයකු වුවත් දකුණු අප්‍රිකාවේ සුදු ආධිපත්‍ය යටතේ දියත්ව තිබු මර්දනයට එරෙහිව මම සටන් කළා.   අප්‍රිකානු විමුක්ති අරගලයට එක්ව මම කටයුතු කළා. මේ හේතුවෙන් මා හට  සිරබත් කෑමට පවා සිදුවුනා.
එයින් නොනැවතුණු වර්ණභේදවාදී ආණ්ඩුව  මාව රටින් පිටුවහල් කළා.  නමුත් මම මගේ අරගලය නතර කලේ නැහැ. අවසානයේ  සිම්බාබ්වේහි ගත කරන අතර, වර්ණභේදවාදීන් මා වෙත එවූ  තැපැල් බෝම්බයක් නිසා මා  සදාකාලික ආබාධිතයකු බවට පත්වුනා . නමුත් මම මගේ සටන එතනින් නතර කලේද නැහැ .  
මා යලි  දකුණු අප්‍රිකාවට එනවිට  වර්ගවාදී සුදු පාලනය නිමාවී තිබුනා . වර්ණභේද වාදයෙන් නිදහස් වූ දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව තිබුනා .එහෙත්, ශාරීරිකව මානසිකව හා ආධ්‍යාත්මිකව ලත් තුවාල සහිතව සිටි මිනිසුන්ට අනුප්‍රාණයක් සැපයීම අවශ්‍යව තිබුනා . ඒ බව මා වටහාගත්තා. එසේ නොවුනහොත් යලි කොයි කලක හෝ ගැටුම් නැවත මතුවිය හැකි බව මට වැටහුනා . ඊට විසදුමක් ලෙස මා තෝරාගත්තේ  මතක සුවපත් කිරීමේ ක්‍රමවේදයයි.ඒ අනුව මම දකුණු අප්‍රිකාවේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ කටයුතු වලටද දායකත්වය ලබාදුන්නා .එම ක්‍රියාවලියේම දිගුවක් ලෙස 1998 වසරේදී මම , “මතකයන් සුවපත් කිරීමේ ආයතනය ” ආරම්භ කළා.
එතැන් සිට එම ආයතනය හරහා  දකුණු අප්‍රිකාවේ මෙන්ම ලොව පුරා ගැටුම් වලට මුහුණදුන් ජනතාවගේ මතකයන් සුවපත් කොට එම රටවල සාමය හා ප්‍රතිසංධානය ස්ථාපිත කර ලීම සඳහා මා හැකි උපරිමයෙන් කැපවී කටයුතු කරනවා.
ප්‍රශ්නය -පශ්චාත් ගැටුම් සමයේ , සාමය හා ප්‍රතිසන්ධානය  ගොඩනැගීම සඳහා දකුණු අප්‍රිකාව තුල ක්‍රියාත්මක වූ යාන්ත්‍රණයන් ලෝකයම අගය කරනවා. ශ්‍රී ලංකාවත් එම යාන්ත්‍රණයන් ආදර්ශයට ගැනීමට සුදානමින් සිටිනවා. දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වූ මෙම  යාන්ත්‍රණයන් පිළිබඳව සරලව පැහැදිලි කළහොත් ?
පිළිතුර – ඔව් , වර්ගවාදී අරගල අවසන් වීමෙන් පසු දකුණු අප්‍රිකාව මුහුණ දුන් ප්‍රධාන ගැටළු දෙකක් තිබුන . අරගල වලින් විනාශවුණු රට භෞතිකව  යලි  ප්‍රතිසංස්කරණය කොට ගොඩනැගීම එක් ගැටළුවක් වුනා . එසේම ගැටුම්කාරී අතීතය සමග ගනුදෙනු කිරීම අප මුහුණදුන් අනෙක් ප්‍රධානතම ගැටලුව වුනා .
අප එකිනෙකා  අතින් එකිනෙකාට  සිදුවූ වැරදි  පිළිබඳව යලි සිහිපත් කිරීම හා සාකච්ජා කිරීම එහිදී වැදගත් වුනා. ඒ සඳහා තමයි අප සත්‍ය හා ප්‍රතිසන්ධාන
 කොමිසම පිහිටුවූයේ . ගැටුමට මැදිව දුක්විඳි දහස් ගණනක් ජනතාව තම අත්දැකීම් කොමිසම ඉදිරියේ ප්‍රකාශයට පත් කළා.ඒ හරහා ඔවුන්ගේ මතකයේ තැන්පත්ව තිබු විෂ ඉවත්වී සුවපත් වුනා. එම කොමිසම  සාර්ථක වුයේ එම නිසයි.
  ගැටුම්වලින් පසු ස්ථීර සාමයක් හා ප්‍රතිසංධානය ගොඩ නැගීමට නම් ගැටුමට මුල්වූ කරුණු මෙනෙහි කරමින් ඒවාට විසදුම් සොයනවා මෙන්ම ගැටුමට මුහුණදුන් ජනතාවගේ ගැටලුවලට සවන්දීම ඉතා වැදගත් . ඔවුනට තම අමිහිරි මතකය බෙදා හදා ගන්නට අවස්තාවක් සලසා දිය යුතුයි..ඒ හරහා ඔවුන්ට එම මතකයන් සුවපත් කරගැනීමට අවස්තාවක් ලබාදිය යුතුයි. අපගේ කොමිසම හරහා සිදුවුයේ එයයි.
ප්‍රශ්ණය- ශ්‍රී ලංකාව මේ වනවිට පවතින්නේ පශ්චාත් යුධමය හා ගැටුම්කාරී තත්වයකයි . දකුණු අප්‍රිකාව තුල ක්‍රියාත්මකවූ ප්‍රතිසන්ධාන හා වගවීමේ  ක්‍රියාවලිය කොතෙක් දුරට මෙරටට ආදේශ කර ගත හැකිද ?
පිළිතුර -ශ්‍රී ලංකාවේ තත්ත්වයට දකුණු අප්‍රිකාවට සාපේක්ෂව  එකිනෙකට වෙනස්,  ප්‍රශ්නයේ ස්වභාවය අනුව පමණක් නොව සංස්කෘතිකමය, දේශපාලනමය ආදී වශයෙන්ද වෙනස්කම් පවතිනවා . නමුත්  ශ්‍රී ලාංකිකයන්ද  තිස් අවුරුදු ත්‍රස්තවාදී යුද්ධයකින් බැටකෑ ජාතියක් . අතිශය වේදනාකාරී මතක ශ්‍රී ලාංකිකයින්ගේද   සිත් පාරවූ  බවට සැකයක් නැහැ . 
 දශක තුනක් තිස්සේ පැවැති යුද්ධය නිමාවීමම වැදගත් පියවරක්, නමුත් . දැන් මතක සුවපත් කිරීම සඳහා ද කාලය සපයා ගත යුතුය. යුද සමයේ අත්දැකීම් අමිහිරි බව, වේදනාකාරී බව සිහිතබා ගත යතුයි. එම මතකයන්හි  තුවාල සුවපත් විය යුතුය‍.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සාමය සහ ප්‍රතිසන්ධානය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලදීද  අතීත මතක සුවපත් කිරීම බෙහෙවින් වැදගත්. එය මිනිසුන්ට නව ආරම්භයක් ගෙන දීමට තරම් හේතුවක් වනවා . එය රටේ හෙට දවස සම්බන්ධයෙන්ද ඉතා වැදගත් වනු ඇති . එසේම මෙහිදී දකුණු අප්‍රිකාව ක්‍රියාත්මක කළ විසැඳුම මෙන්ම මෙවැනි අරගලකාරී අත්දැකීම්වලින් පසු ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ තවත් එවැනි විසැඳුම් ද අධ්‍යයනය කිරීම සුදුසු යි.. 
ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ වගවීමේ හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමේදී හා සංහිඳියාව වර්ධනය කිරීමේදී  අප අවධානය යොමු කලයුතු විශේෂ කරුණු මොනවාද ?
පිළිතුර – ජාතික ප්‍රශ්නය යනුවෙන් හඳුනාගත් ගැටලුවට දේශපාලන විසැඳුමක් සෙවීම සඳහා වන පුළුල් සංවාදයක් මෙන්ම වැඩපිළිවෙළක්ද ඇතිවීම ඉතා වැදගත් .
එමෙන්ම මෙම සියලු යාන්ත්‍රණ හා ක්‍රියාවලි  ඒකපාර්ශ්වික නොවිය යුතුයි. ප්‍රශ්නයට අදාළ පාර්ශව දෙකම ඊට යොමුවිය යුතුය. අඳුරු අතීතයට යළි ගමන් නොකිරීමට නම්, දශක ගණනාවක ‍ඛේදනීය මතක අතරින් සුවපත් බව ලැබීමට එම යාන්ත්‍රණයට හැකිවිය යුතුය. 
 සාමය ගොඩනැඟීම සාමුහික ප්‍රයත්නයක්ද වනවා . එය තනිකරම දේශපාලනඥයන්ට පමණක් කළ නොහැකිය. සෑම පුරවැසියකුගේම දායකත්වය ඊට ලැබිය යුතුයි.
වත්මන් ශ්‍රී ලංකා රජය මේ සම්භන්ධව  යම් ඉදිරිපියවර කිහිපයක් ගැනීමට සුදානමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා . නමුත් වගවීම , හා ප්‍රතිසංධානය වචන වලට පමණක් සීමා කළහොත් , රට තුල ස්ථීරසාර සාමයක් ගොඩනැගීම යතාර්ථයක් වන්නේ නැහැ. 
ප්‍රශ්නය – ඔබ සැමවිටම ප්‍රකාශ කරන්නේ ගැටුම් පවතී සමයේ මතකයන් නැවත අවදි කර ඒවා පිලිබඳ සාකච්ජා කර , එම මහතකයන් සුවපත් කරගැනීමක් පිළිබඳවයි. නමුත් එම අඳුරු යුගයේ මතකයන් යටපත් කර , එම මතකයන් වළලා දමා අපට ඉදිරියට යා නොහැකිද ?
පිළිතුර – බැහැ . මතකයන් යටපත් කොට හෝ වලලා දමා හෝ තබා ගත හැක්කේ කෙටි කලක් පමණයි. ඒවා සුවපත් නොකළහොත් කවදාහෝ යලි එම මතක මතුවී නැවත ගැටුම් හා අරගල මතුවිය හැකියි.
 ලෝක ඉතිහාසය දෙස බැලුවත් මෙය ඉතා හොඳින් පැහැදිලි වනවා. ගැටුම් පවතී බොහෝ රටවල් කලේ එම මතක යටපත් කර ඉදිරියට යාමට උත්සාහ කරීමයි , නමුත් එම උත්සාහයන් කිසිවිටක සාර්ථක වී නැහැ, එවිට  අතීතය නැවත සිදුවනවා. යලි යලිත් ගැටුම් මතුවනවා. එය නැවැත්විය හැක්කේ මතකයන් සුවපත් කිරීම හරහා පමණයි.  කාලය සියල්ලට විසදුම් ලබාදෙනවා යන කියමන මෙතනදී ප්‍රායෝගික නැහැ. කාලයෙන් යමක් තාවකාලිකව යටපත් කල හැකියි , නමුත් එය ස්ථාවර නැහැ, 
ප්‍රශ්නය – ප්‍රතිසංධානය ගොඩනැගීමේදී  මෙන්ම සංහිඳියාව ගොඩනැගීමෙදීද   රටක ආගමික නායකයින් වෙත විශාල වගකීමක් පැවරෙනවා නේද?
පිළිතුර – ඔව් , මමත් එම වගකීම තමයි මට හැකි උපරිමයෙන් ඉටු කලේ.සංහිඳියාව , ප්‍රතිසංධානය ගොඩනැගීමේදී ,සෑම , ආගමක, දායකත්වය ඊට ලැබිය යුතු වෙයි. එම දායකත්වය ලබාදීමට එම ආගමික නායකයින් පෙරෙමුණ ගත යුතුයි.ජාති, ආගම් ආදී වශයෙන් බෙදී වෙන්ව සිටීම වෙනුවට ඒ සඳහා සාමුහිකව හා සමඟි සම්පන්නව ක්‍රියාකළ යුතුය. ගැටුමකින් පසු සාමය උදාකිරීමේදී ගැටු‍ෙම් පාර්ශවකරුවන් වූ සැමටම ඉටු කිරීමට කාර්යභාරයක් තිබේනවා . බිඳුණු සිත් සතන් සුවපත් කිරීම සඳහා එය උපකාරී වෙනවා .  දේශපාලනයේදී ආගමික ලෙස හූ ජාතික ලෙස වාර්ගික වශයෙන් බෙදීම අනර්ථකාරී බව පෙන්වා දිය යුතුයි.
ප්‍රශ්නය -මෙහිදී ජනමාධ්‍යයට පැවරෙන වගකීම කෙබඳුද ?
පිළිතුර –  ජාතිවාදය, ආගම්වාදය වැපිරවීම  කාර්යභාරයෙන් ජනමාධ්‍ය ඉවත්විය යුතුයි. වර්තමානයේදී මාධ්‍ය රටක් තුල ප්‍රබල භූමිකාවක් ඉටුකරන පසුබිමක ගැටුම් ඇතිකිරීමට හෝ ගැටුම් උත්සන්න කිරීමට හේතුවන පරිදි ක්‍රියාකිරීමෙන් මාධ්‍ය වැළැකී සිටීම අවශ්‍යයි . යුදගැටුම් නිමාවූ පසු සාමය උදාකිරීමේදීද මාධ්‍ය අත්‍යවශ්‍ය භූමිකාවක් ඉටුකරනවා . 
සාමකාමී විසැඳුමක් සෙවීමේදී සමාජයේ විවිධ කොටස්වල දායකත්වය ඊට ලැබිය යුතුය. ශ්‍රී ලංකාව සාමය සඳහා දරන ප්‍රයත්නයේ දී සිවිල් සමාජයටද විශාල වැඩකොටසක් ඉටුකළ හැකියි.කාන්තාවන් සවිබල ගැන්වීම වැනි කාරණා එහිදී අතිශයින් වැදගත්.
ප්‍රශ්නය – මෙසේ අතීතයේ මතක සුවපත් කරමින් , වගවීමේ හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලි ඉදිරියට ගෙන යාමේදී ,අතීතයේ වැරදි වෙනුවෙන්  දඩුවම් ලබාදීමේ ක්‍රමවේදය කුමනාකාරයක්  ගත යුතුද ?
පිළිතුර -වැදගත් ප්‍රශ්නයක් , යුක්තිය ඉටුකිරීම යනු දඩුවම් ලබාදීම ලෙස අප බොහෝදෙනෙකු වරදවා වටහා ගෙන තිබෙනවා .වඩා වැදගත් වන්නේ එකිනෙකාට එකිනෙකාගෙන්   සිදුවූ වැරදි පිළිබඳව විවෘතව සාකච්ජා කිරීමයි,  වැරදි පිළිගැනීමයි . තමන්ට අසාධාරණයක් වූ බව අනෙකා විසින් පිළිගැනීම ඉතා වැදගත් , එය ගැටුම් නිරාකරණයේදී අතිශය වැදගත් . 
පසුගිය අඳුරු යුගයේ ගැටුම් වලට මැදිවූ සියලු දෙනාටම , ලෝකයට පැවසීම සඳහා තමාගේම වූ  කතාවක් තිබෙනවා , ලෝකයටම තම දුක්බර කතාව කීමේ අවශ්‍යතාවයකින් ඔවුන් පෙළෙනවා. එම කතාවට පිළිගැනීමක් ලබාදීම , එයට ඇහුම්කන්දීම තමයි වඩා වැදගත් වන්නේ . ඒ සියලු දෙනාගේම හඬට ඉඩක් හා වටිනාකමක් ලබාදීමයි වැදගත් වන්නේ.
සාකච්ජා කලේ පැතුම් වික්‍රමරත්න 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.