සංවර්ධනයේ ස්වභාවික ප්‍රතික්‍රියාවලට ‘සූදානමක් නෑ’

මෑතදී ඉදි කෙරුණු අධි වේගී මාර්ගයක්

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වුවත් ඒ සමග ඇති වන පාරිසරික ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නොනැගෙන බව නගර නිර්මාණ ශිල්පිණියක් පවසයි.

මැලේසියාවේ විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධියක් හදාරමින් සිටින නගර නිර්මාණ ශිල්පිනී නදීෂා චන්ද්‍රසේන ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවාසීන් මුහුණදෙමින් සිටින ගංවතුර ආපදා තත්වය පිළිබඳව අප සමඟ අදහස් දක්වමින්.

ස්වාභාවික පරිසරය වෙනස් කරමින් සිදු කරන සංවර්ධන කටයුතු හේතුවෙන් ඇති වන ප්‍රතික්‍රියාවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව සතු සූදානම කවරක්දැයි ඇය ප්‍රශ්න කරන්නීය.

පසුගිය දින කීපය තුළ පැවති අධික වර්ෂාවත් සමග අගනුවර සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර, සාමාන්‍ය වැස්සකදී පවා කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වීමත් බොහෝ විට දක්නට ලැබෙන්නක්.

හදිසියේ ඇද හැලුණු මහා වර්ෂාවත් සමඟම ප්‍රදේශ ගණනාවක ගංවතුර සහ නාය යෑම් හටගත්තේය
Image captionහදිසියේ ඇද හැලුණු මහා වර්ෂාවත් සමඟම ප්‍රදේශ ගණනාවක ගංවතුර සහ නාය යෑම් හටගත්තේය

පසුගිය දින කීපය තුළ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඒ දෙපස පිහිටි ප්‍රදේශද ජලයෙන් යට විය.

කාණු අවහිර වීම, සංවර්ධන සහ ඉදිකිරීම් කටයුතු, ගංගා පිටාර ගැලීම ආදී කරුණු හේතුවෙන් ජල ගැලීම් ඇති විය හැකි බව පෙන්වාදෙන නගර නිර්මාණ ශිල්පිනිය නදීෂා චන්ද්‍රසේන කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර උවදුරට මෙම කරුණු සියල්ල බලපා ඇති බව පෙන්වා දෙයි.

“කොළඹ මැද තිබෙන්නේ නගරයේ පිහිටීම නිසා කාණු අවහිර වීම වැනි කාරණා නිසා ඇති වන නාගරික ගංවතුරක්. කඩුවෙල සහ පිටරවුම් මාර්ගය ආශ්‍රිත ප්‍රදේශවල තිබෙන්නේ අලුත් ඉදිකිරීම් එක්ක අවහිර වූ ජල මාර්ග නිසා ඇති වූ තත්වයක්,” ඇය පවසන්නීය.

“කැලණියට තියෙන්නේ ගංගා පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරක්.”

ගංවතුරට කොටු වුනු අධි වේගී මාර්ග පිවිසුමක් (සංරක්ෂිත ඡායාරූපයක්)

“උදාහරණයක් විදිහට අපට කලින් තිබ්බේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ. නමුත් දැන් උණ, ඩෙංගු, ගලපටලය, පාචනය මේ ඔක්කොම එකට ඇවිල්ලා. දැන් අපට කියන්න බැහැ එකම තත්වයක ගංවතුරක් තියෙන්නේ කියලා.”

“කැළණි ගඟ පිටාර ගලන එකට අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඒකට අපි සුදානම් වෙලා හිටියේ නැහැ.’

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ක්‍රියාත්මක වූ මහා පරිමාණ ව්‍යාපෘති කිසිවකට නිසි පාරිසරික බලපෑම් වාර්තාවක් යොදා ගෙන ඇතැයි තමා විශ්වාස නොකරන බවත් නගර අලංකරණ ශිල්පිනී නදීෂා චන්ද්‍රසේන පවසන්නේ.

“කඩුවෙල ආශ්‍රිතව හදපු පිටරවුම් පාර හැදුවේ පහත බිමක. එහිදී අවහිර කරපු ස්වාභාවික ජල පද්ධතියට අපි ලැගුම් ස්ථානයක් දී තිබෙනවද?,” ඇය ප්‍රශ්න කරන්නීය.

නදීෂා චන්ද්‍රසේන දේශනයක් පවත්වමින්Image copyrightNADEESHA CHANDRASENA/ FACEBOOK
Image caption‘රටේ ලොකුම කුණු කන්ද මීතොටමුල්ල කිසිම පසු ව්‍යාපෘතියකට යටත් නොවී අගනගරයේ මුදුනේ තබා ගෙන අපි වසර කීයක් ජීවත් වෙනවද?’

“සංවර්ධනය සිදු විය යුතුයි. නමුත් එය සිදු විය යුත්තේ හරියාකාරවයි.”

සංවර්ධන කටයුතුවලට ස්වභාවික පරිසරය දක්වන ප්‍රතිචාරය දරා ගැනීමට නොහැකි සංවර්ධන ව්‍යාපෘති අඩක් නිම කළ සංවර්ධන ව්‍යාපෘති ලෙසයි ඇය හඳුන්වන්නේ.

‘පිට රවුම් පාර කියන්නේ රටට සම්පතක්. නමුත් එහි සියයට පනහක, අපේ පාර්ශවයේ වැඩ නිම කරලා පමණක් බලා ඉන්න බැහැ. ස්වභාවධර්මයේ සිදු කළ වෙනසට ලැබෙන ප්‍රතිචාරයට අපි සූදානම් වී සිටිය යුතුයි.”

රටේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බවයි ඇය අවධාරණය කරන්නේ.

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම නගර අලංකරණය සහ නගර සංවර්ධනය අතර වෙනස වටහා නොගෙන කටයුතු කළ බවත් නගර අලංකරණ ශිල්පිනිය පවසයි.

“රටේ ලොකුම කුණු කන්ද මීතොටමුල්ල කිසිම පසු ව්‍යාපෘතියකට යටත් නොවී අගනගරයේ මුදුනේ තබා ගෙන අපි වසර කීයක් ජීවත් වෙනවද?,” පසුගියදා නාසා ආයතනයේද කෙටි පාඨමාලාවක් හැදෑරු නදීෂා ප්‍රශ්න කරයි.

“නගර අලංකරණය කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීමට ප්‍රියජනක ආකාරයට ඒ නගරය නිර්මාණය කිරීම. නමුත් ජීවත් වෙන්න ප්‍රියජනක ආකාරයට ඒ නගරය නිර්මාණය කරනවා කියන්නේ ප්‍රධාන මංමාවත්වල මල් පෝච්චි තියලා ගස් වවන එක නෙවෙයි,” ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.