සංචාරක කර්මාන්තයේ හෙට දවස

එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දෙන අන්දමට සංචාරක කර්මාන්තය ලෝකයේ තිරසර සංවර්ධනය සමඟ අත්‍යන්තයෙන්ම සම්බන්ධ වන විෂය ක්ෂේත්‍රයකි. ඒ අනුව මේ වසරේ ලෝක සංචාරක දිනයේ තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ සියල්ල උපයෝගි කර ගනිමින් සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවීම හා ඒ ඔස්සේ තිරසර සංවර්ධනය සඳහා පියවර තැබීම යනුවෙනි. මෙය ගැඹුරු අර්ථයක් සහිත තේමාවකි. ඊට අනුව සමාජ සංස්කෘතික හා ආර්ථික යන සෑම ක්ෂේත්‍රයක්ම සංචාරක කර්මාන්තයේ යළි පිබිදීම සඳහා යොදා ගත යුතුව තිබේ. එය අප හොඳින් වටහා ගත යුතු අතර, ක්‍රියාකාරි වැඩසටහන් ඔස්සේ කර්මාන්තය ශක්තිමත් කළ යුතුය. මේ සඳහා සෑම රාජ්‍යයක්ම උනන්දු විය යුතු බව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය පෙන්වා දෙයි.

දෙදහස් දහ නවයේ අග කාර්තුවේ පටන් ලෝක සංචාරක කර්මාන්තය වේගවත් කඩාවැටීමකට ලක් විය. ගුවන් ගමන් නැවතුණු අතර, එකිනෙක රටවල් සංචාරක තහනම් ඇති කරන්න පටන් ගත්තේය. අදටත් රතු නිවේදන සහිත රටවල පුරවැසියන්ට සංචාරය කිරීම මුළුමනින්ම තහනම්ය. මෙය දෙයාකාරයකට සිදු වී ඇත. පළමු තහනම: විදේශීය සංචාර නවතා දැමීමය. දෙවන තහනම: දේශීය වශයෙන් පළාතකින් තවත් පළාතකට සංක්‍රමණය වීමට තහංචි පැනවීමය. මේ තත්ත්වය මත හෝටල් කර්මාන්තය හා දේශීය මෙන්ම අන්තර්ජාතික වෙළෙඳාම ද කඩා වැටීමකට ලක් විය. ලෝකය පුරා දස ලක්ෂ තිස් දෙකක් සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම මත අතරමං වී සිටිති. එය දිළිඳු රටවල පමණක් නොව ධනවත් රටවලට ද ආර්ථික වශයෙන් බලපෑම්කාරි විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශනයට අනුව කොවිඩ් සමඟ ජීවත් වෙමින් ආරක්ෂාකාරි පියවර යටතේ ආර්ථික කටයුතු හා සමාජ ජීවිතය පවත්වා ගෙන යා යුතුය. එසේ නොවුණ හොත් පවත්නා ආර්ථික අර්බුදය උග්‍ර තත්ත්වයකට පත් වී එක් දාස් නවසිය තිස් ගණන්වල පැවති ආර්ථික අවපාතයට වඩා බිහිසුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇත.

ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතය කඩා වදින්නේ අපේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට අවශ්‍ය ඇතැම් තත්ත්වයන් ඉතා හොඳින් ගොඩනැගෙමින් පැවැති අවදියකය. කොවිඩ් වසංගතය මෙන්ම පාස්කු ප්‍රහාරය ද අපේ සංචාරක කර්මාන්තයේ කඩා වැටීමට බලපෑවේය. එහෙත් වත්මන් ආණ්ඩුව ඒ ගැටලු දෙකටම පිළිගත හැකි විසඳුම් දී ඇත.

ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති අතර, කොවිඩ් පාලනයට උපරිම උත්සාහය දරා ඇත. එන්නත්කරණය සාර්ථක අතර සංචාරකයන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පසුබිමක් සකස් කර තිබේ. ජෛව බුබුළු උපායමාර්ගය ඔස්සේ සංචාරක කර්මාන්තය පවත්වා ගැනීමට ආණ්ඩුව උත්සුක වෙයි. හෝටල් කර්මාන්තය තහවුරු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහන ආණ්ඩුව දෙයි. කොවිඩ් නිසා සංචාරක කර්මාන්තය අත්හැර දැමිය නොහැකිය. ඒ බව වටහාගැනීම ඉතා වැදගත්ය.සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට සංචාරකයන් බහුලව ඇදී එන කාලයකි. මේ කාලයෙන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට අප උත්සුක විය යුතුය.

Sponsored Article

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.