ශ්‍රී ලාංකික කාන්තාව හා බහුත්වවාදය

 

 

 

 

 

2009 ඔක්තෝබර් 1 වන දින කොළඹ පිහිටි යුරෝපීය සංගමයට භාණ්ඩ අපනයනය කරන බ්‍රැන්ඩික්ස් කම්හලක ඇඟලුම් කම්කරුවන්ගේ ඡායාරූපයක්. ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන රෙදිපිළි කර්මාන්තය 2008 දී රට තුළට අපනයනයෙන් ඩොලර් බිලියන 3.47 ක ආදායමක් උපයා ගන්නා ලදී.  (Picture taken October 1, 2009. REUTERS/Andrew Caballero-Reynolds/Files (SRI LANKA – Tags: POLITICS BUSINESS EMPLOYMENT) – RTR2ACWO
  • නයනතාරා ජයතිලක

 

තේ දළු නෙලීම, ගෘහ සේවයට යාම, නිවසේ ඉවුම් පිහුම් කිරීම, වැඩිම ප්‍රමාණයක් හෙද සේවයේ සහ ගුරු වෘත්තියේ යෙදීම වැනි වෘත්තීන් වල නියැලෙන්නේ කාන්තාවන් ය. ශ්‍රී ලාංකික මෙන්ම ආසියාතික සමාජ සන්දර්භයේ ද පුරුෂයා මෙන්ම වැඩි වගකීම් රාශියක් දරන්නේ කාන්තාව යැයි කීමට කිසිම විවාදයක් අවශ්‍ය නොවේ. පස්චාත් නූතනවාදයන් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ කාන්තාවට හිමි තැන, කාන්තාවට ලැබිය යුතු නිසි තැන හා ගෞරවය වැනි කාරණා කිහිපයක්ම සම්බන්ධයෙන් කාන්තාවාදීන් හඬ නැගීමත් සමඟ ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය, රැකියාව, විවාහය සම්බන්ධ අයිතීන් වැනි බොහෝ පුළුල් මාතෘකා අද වන විට සමාජයේ විවිධ ආකාරයේ ආන්දෝලනාත්කම කතිකාවත් ඇති කරනු දැකිය හැක.

මින් අදහස් වන්නේ පස්චාත් නූතන වාදයන් ඒමට පෙර මේවා ගැන කවුරුන් හෝ කතා නොකලා යැයි යන්න නොවේ. ඉතිහාසයේ පටන්ම සමාජයීය, දේශපාලන හා වෙනත් වෘත්තීන් වල කාන්තාවන්ගේ මැදිහත්වීම ඉතිහාසය අධ්‍යනයෙන් අපට දැක ගත හැක. ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් නාගරික මන්ත්‍රීවරිය වූ අයිශා රවුෆ් වසර 12ක පමණ කාලයක් දේශපාලනය නිරත වෙමින් විශාල සමාජ මෙහෙවරක් සිදු කර ඇති අතර ඇය මුස්ලිම් ස්ත්‍රීන්ගේ අධ්‍යාපනය හා ජීවිත වන පුරෝගාමී චරිතයක් ලෙස සලකන කාන්තාවකි. ඉන් පසු යුග වලත් විවිධ කාන්තාවන් ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවාහනයන් තුළ අපට දැකගත හැකි නමුත් කාන්තාවට දේශපාලනය තුළ අවස්තාවන් ලබා දීමෙන් පමණක්ම ඇයට සාධාරණයක් ඉටුවේද, හා ඒ තුළ බහුත්වවාදය තිබේද යන්න පිරික්සා බැලීම තුළින් කාන්තාවට තමන්ගේ අයිතිවාසිකම් හා අසාධාරණයන් වෙනුවෙන් හඬක් නැගීමට ඉවහල් වනු ඇත. බහුත්වවාදය යනු විවිධ ජාතීන් අතර තිබෙන වෙනස්කම් පිළිගැනීමත් ඒවා සාධනීය ලෙස භාවිතා කිරීමත් ය. තවද අප බොහෝ විට දකින්නේ ආගමික හෝ ජාතික බහුත්වවාදය පමණක් වන අතර කාන්තාවට බහුත්වවාදය අදාළ කරගන්නේ කෙසේදැයි විමසා කවුරුන් හෝ බලන්නේ නැත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

දේශපාලනය තුළ කාන්තාව

2014 වසරේ එක්සත් ජාතීන්ගේ නිකුත් කරන ලද ජාතික මානව සංවර්ධන වාර්තාව පවසන පරිදි 2010 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8%ක් වූ අතර පළාත් සභා මට්ටමේදී එය 4% ක් හා ප්‍රාදේශීය මට්ටමේදී එය 1.85% ක් විය. කෙසේ නමුත් 2018 දී ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සෑම ඡන්ද ලැයිස්තුවකම කාන්තාවන් 25% නියෝජනය විය යුතුය යන නීතිය ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ ස්ථාපිත වීම දේශපාලනයේ නියැලෙන හා නියැලීමට බලාපොරොත්තු වන කාන්තාවන්ගේ ජයග්‍රහණයකි. එය එසේ වූවත්, කාන්තාවක් දේශපාලනය ප්‍රවේශ වීමට ඇති කැමැත්ත හෝ ඇයට ඇති සහයෝගය කෙතරම්දැයි යන්න පිළිබඳ සමාජයීය අධ්‍යනයක් කරනවිට ලැබෙන ප්‍රතිඵල නම් ඉතාම කණගාටුදායකය. තවමත් පුරුෂවාදය ඉහලින්ම පවතින ශ්‍රී ලංකාවේ, දේශපාලනය වෙනුවෙන් කාන්තාවන් බලගැනීම කෙසේවෙතත් අධෛර්‍යට පත් කිරීම් දැකගත හැක. සමහරවිටෙක කාන්තාවකට තමාට කැමති පුද්ගලයෙකුට හෝ පක්ෂයකට ඡන්දය ලබා දීමට පවා අයිතියක් නැති අතර, තම ස්වාමිපුරුෂයාගේ කැමැත්ත මත එය සිදු කල යුතුය. බොහෝ විට පුරුෂයින් සිතන්නේ කාන්තාවකට දේශපාලනය පිළිබඳ දැනුමක් නොමැති බවය. කාන්තාව දන්නේ සෞම්‍ය දෑ ගැන පමණක් යැයි එම බොහෝ පුරුෂයින් සිතති. කාන්තාවට දේශපාලනය තුළ නියැලීමට නම් එතුළ සිටින පුරුෂයා, කාන්තාව යන වචනයෙන් බැහැරව පුද්ගලයින් යන සර්ව නාමයක් වෙත ගොස් සියලු දෙනාටම දේශපාලනය තුළ සමානාත්මතාවය ඇති කිරීමට බහුවිධතාවයේ ලක්ෂණ භාවිත කල හැක.

රාජ්‍ය සේවය තුළ කාන්තාව

මෑතකදීම සිදුවූ උදාහරණයක් අධ්‍යනය කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් වූ බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මියගේ පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලා ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32ක් විසින් පෙත්සමක් ඉදිරිපත් කරන ලදි. මෙහි වූ ප්‍රධාන කරුණක් වූයේ මෙම තනතුරට කාන්තාවකට පත්විය නොහැකි බවයි. එසේ නොමැති නම් මෙතෙක් කල් එය වෙනස් නොකලේ මන්දැයි ප්‍රශ්නාර්ථයක් ගොඩ නැගේ.

සමාජවිද්‍යාව පිළිබඳ මහාචාර්‍ය මොහොමඩ් මහීස් මහතා විසින් එම සිදුවීම සම්බන්ධයෙන් තම සමාජ මාධ්‍ය ජාලා ගිණුමේ අදහස් දක්වා තිබුනේ මෙයාකාරයෙනි,

“දේශපාලන හා පරිපාලන තුල කාන්තාවන්ට වඩා පුරුෂයින් දූෂිතයි හා ප්‍රචන්ඩයි. එම නිසා කාන්තා උසස්වීම් වලට පුරුෂාධිපත්‍ය විරුද්ධයි”

 

 

 

 

 

 

 

 

 

 

පරිසර හානීන් ගැන කතා කල දේවානි ජයතිලක මහත්මියට අද සිදුව ඇත්තේ විනය පරීක්ෂණ වලට සහභාගි වීමට ය. තව දුරටත් ඉතිහාසයට යන්නේ නම්, 2012 දී මන්ත්‍රීවරුන් 117 දෙනෙකු විසින් දූෂණ චෝදනා 14ක් ඉදිරිපත් කරමින් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට දෝෂාභියෝගයක් ගෙන ආ අතර ඇය එම තනතුරෙන් පහ කරන ලදි. මේවා අප දන්නා සිදුවීම් පමණය. අපට වටහාගත යුතු යමක් ඇතිනම්, කාන්තාව යනු අඩු හැකියා ඇති අය හෝ සුදුසුකම් අඩු අය නම් ඔවුන් කිසිදින මෙලෙස ඉහළ තනතුරු වලට එන්නේ නැත යන්නයි. රාජ්‍ය සේවයේ සිටින කාන්තාවන්ට ඇති අනෙක් ගැටලුව නම් ලිංගික හිංසනය සහ ඔවුන් වටා ගෙතෙන වෛරී සහ අසත්‍ය ප්‍රකාශයන් ය. තවද බොහෝ කාන්තාවන් රැකියා වලට යාමට පොදු ප්‍රවාහන ක්‍රම භාවිත කරද්දීද අනේක හිංසන වලට ලක් වේ. දුමිරියේ සිදුවන කාන්තා හිංසන වලින් ආරක්ෂා වීම සඳහා 2019 වර්ෂයේදී කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන් සඳහා වෙන් වූ කෝච්චි පෙට්ටි පවා හඳුන්වා දෙන ලදි.

දිනපතා දුම්රිය භාවිතයෙන් තම උසස් අධ්‍යාපන ආයතනයට යන සමාජ වැඩ ශිෂ්‍යාවක වන නවමාලිකා ද සේරම් ශිෂ්‍යාව පැවසූවේ,

“දවසක් මම සාමාන්‍ය කෝච්චි පෙට්ටියක ඉද්දි, ගැබිණි කාන්තාවක් ගොඩ උනා. කොච්චි පෙට්ටියේ අපි හිටපු හරියෙ වාඩි වෙලා හිටපු හැමෝම පිරිමි අය. කවුරුත් උනන්දු උනේ නෑ සීට් එකක් දෙන්න. ඒ වෙනුවෙට එක පිරිමි කෙනෙක් කිව්වා, ගෑනු පෙට්ටි තියෙද්දි මේකට නැග්ගෙ ඇයි කියල”

තවදුරත් සේරම් පවසන්නේ, කාන්තාවන් සඳහා පමණක් කොච්චි පෙට්ටි වෙන් කිරීමෙන් කාන්තා හිංසන අවම කළ කිරීම හෝ ඉහත සිදුවීම් අවම කිරීම කල නොහැකි බවයි. ඒ සඳහා සිදු කල යුත්තේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමයි. ශ්‍රී ලංකාවේ සමාජ වැඩ උපාධිදාරීන් බහුතරය කාන්තාවන්. ඔවුන්ට පුලුවන් පහසුවෙන් සමාජයේ කාන්තාවන්ට යම් අගතියක් වන ආකල්ප ඇතිනම් ඒවා වෙනස් කරන්න. මොකද ඔවුන්ට සමාජය පිළිබඳ හොඳ අවබෝධයක් පවතින නිසා යැයි, තව දුරටත් ඇය පවසන්නීය.

මෙපමණක් නොව ශ්‍රී ලංකාවේ භික්ෂුණීයන් හට නිසි ජාතික හැඳුනුම් පතක් තවම නැත. ශ්‍රී ලංකාවේ ලිංගික සංක්‍රාන්තික පුද්ගලයින් පවා තම අනන්‍යතාවයට ගැටලුවක්ව ජාතික හැඳුනුම් පත නිසි ලෙස සකසා ගත්තේද මෑතකදීය.

පවුල, සංස්කෘතිය හා අධ්‍යාපනය තුළ කාන්තාව

සමාජයක පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය පවුලයි. අතීතයේ සිටම බොහෝ පවුල් වල පුරුෂයා ගෘහ මූලිකයා ලෙස සලකන අතර ඔහු විසින් පවුල නඩත්තු කිරීම සඳහා රැකියාවේ යෙදීම සිදු කරන්නේ යැයි අප උගන්නෙමු. උදාහරණක් ලෙස අප බොහෝ අවස්ථාවල රටට බැත සරි කරන්නේ ගොවියා යැයි කියමු. නමුත් මේ කර්ත්වයේ කාන්තාවගේ දායකත්වය හා භූමිකාව ගැන කිසිවෙකු කතා කරන්නේ නැත. සඳහනක් කලත්, ගෙවිලිය විසින් ආහාර පාන සැපයීම් සම්බන්ධයෙන් පමණක්ම සඳහන් කරයි. නමුත් සැබෑ තත්ත්වය නම්, කාන්තාවද පුරුෂයා මෙන්ම ගොවිබිමේ මහන්සි වී වැඩ කරීමයි. ඕනෑම ග්‍රාමීය ප්‍රදේශයක සංචාරය කරන්නේ නම් මෙය ඉතා සුලබ දසුනක් බව කීමද අවශ්‍ය නොවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියවක වන ආචාර්‍ය හරිනි අමරසූරිය පෙන්වාදෙන්නේ කාන්තාව විසින් සිදු කරන මෙවැනි කාර්යභාරයන් දළ ජාතික නිෂ්පාදනය තුළ ඉලක්කම් ලෙස නිරූපණය නොකෙරෙන බවයි. ඇය තව දුරටත් ප්‍රකාශ කරන්නේ,

සෑම කාන්තාවක් ම ගෙදර තුළ විශාල කාර්යභාරයක් ඉටුකරනවා. ආහාර සකස් කිරීම,දරුවන් රැකබලා ගැනීම සහ වැඩිහිටියන්, රෝගීන් බලාගැනීම වගේම විශේෂ අවශ්‍යතා ඇති අය බලාකියා ගැනීම කාන්තාවන් අතින් සිදුවෙනවා. වැටුපක් ලබන රැකියාවක නිරතව සිටියත් නැතත්, වැටුප් නොලබා ඉහත කී වැඩ කොටසත් සිදුකළ යුතුයි. එය කිරීම කාන්තාවන්ගේ උරුමය ලෙස සමාජය සලකනවා

කාන්තාවට ඇති ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිම් ගත් කල, ශ්‍රී ලංකාව තුළ මසකට අනාරක්ෂිත ගබ්සා 500-700 අතර ප්‍රමාණයක් සිදු වන අතර මේ ගබ්සාවන් වලට වැඩිපුර යොමු වන්නේ විවාහක කාන්තාවන් ය. උපත්පාලන ක්‍රම සඳහා පහසුකම් නොමැති වීම, හෝ ඒවාට ඇති විවිධ වූ මිත්‍යා මත හෝ උපත් පාලන ක්‍රම ගැන අවබෝධයක් නොමැති වීම වැනි කරුණු නිසා ඇතිවන මෙවැනි සිදුවීම් නිසා කාන්තාවන්ට අනාරක්ෂිත ගබ්සා වලට යොමු වීමට සිදුව ඇත. ගබ්සාව නීතිගත නොවීමත්, කුඩා කල සිටම පරිපූර්ණ ලිංගික හා ප්‍රජනන අධ්‍යාපනයක් නොලැබීමත් යන සාධක මේවාට සෘජුවම බලපානු ලබයි. විවාහය සම්බන්ධයෙන් ගත් කල තවමත් මුස්ලිම් සමාජයේ විවාහ සම්බන්ධයෙන් කාන්තාවකට තනි තීරණ ගැනීමේ ස්වාධීනත්වය අවම මට්ටමක පවතී. කෙසේ නමුත් අද වන විට මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ප්‍රතිසංසරණය කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සමාජයේ කතිකාවත් ගොඩ නැගී ඇති අතර අනාගතයේ ඒ සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිඵලයක් අපට අපේක්ෂා කලහැකි වනු ඇත. කෙසේ නමුත් මුස්ලිම් සමාජ වල ක්‍රියාත්මක වන ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය සම්බන්ධයෙන් තවමත් නිසි හඬක් නැගෙන්නේ නැත.

කාන්තාවක වීම නිසා අධ්‍යාපනයට බාධා ඇති වීම යන්න වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ එතරම් කතා බහට ලක් නොවන මාතෘකාවක් නොවේ. ශ්‍රී ලංකාවේ පුරුෂයන්ට වඩා කාන්තාවන් උගත් අතර මෙය වර්ධන ප්‍රවනතාවක් ලෙස හැඳින්වෙන අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙය කැපී පෙනෙයි. 2015 වර්ෂයේදී රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන වලට ඇතුළත් වූවන්ගෙන් 60% කාන්තාවන් වූ අතර උපාධිධාරී සිසුන්ගෙන් 68.5% ක් කාන්තාවන් ය.

මම කාන්තාවක් වීම නිසා අධ්‍යාපන හෝ වෙනත් අවස්තාවන් මට නැති වෙලා නෑ. නමුත් මගේ සමාජය විසින් මම මුස්ලිම් කාන්තාවක වීම නිසා යම් රාමුවකට කොටු කරන්න හදන අවස්තා වලට මම මුහුණ දීලා තියනවා. මගේ අධ්‍යන ක්ෂේත්‍ර වැඩ වලදී හා වෙනත් සමාජයීය කටයුතු වලදී, මම කාන්තාවක් නිසා සමහර කාර්‍යයන් කල යුතු නෑ කියල මට පවසල තියනවා” (සාරා සලීම්, සමාජ වැඩ ශිෂ්‍ය)

සමාජ වැඩ ශිෂ්‍යාවන් වන සලීම් සහ සේරම් යන දෙදෙනාම පවසන්නේ කාන්තාවක වීම නිසා අප අභියෝග වලට මුහුණ දෙනවාට වඩා සමාජය හා සංස්කෘතිය විසින් ගොඩනගා ඇති කාන්තාව සම්බන්ධ විවිධ මත හා මිත්‍යාවන් නිසා ඔවුන් යම් අසාධාරණ වලට ලක් වන බවයි. ඔවුන් තව දුරටත් පවසන්නේ කාන්තාව හෝ පුරුෂයා හෝ වේවා අප එකිනනෙකාගේ විවිධත්වයට ගරු කරනවා නම් හා එය ඉවසනවා නම් සියලු දෙනාටම සමාන අවස්තාවන් හිමි සමාජයක් බිහි වනු ඇති බවයි. එනම් කාන්තාවට බහුත්වවාදය අදාළ නැතැයි කියා දෙයක් නැත. ඇයට මෙන්ම සමාජයේ ජීවත් වන සියලු දෙනාටම බහුත්වාදය අදාළ ය. ගැටලුව ඇත්තේ අප එය ප්‍රායෝගිකව භාවිත නොකිරීමයි.

 

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.