ශ්‍රී ලංකා රජය , පොරොන්දු ඉටුකර නැහැ – ජගත් සංවිධානය චෝදනා කරයි.

දීර්ඝ කාලීන සාමයක් උදා කරගැනීමට සහ වාර්ගික අර්බුදයට විසඳුමක් දීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ හා  ක්‍රියාවලිය අනෙක් අතට හැරවීමට උත්සාහ කරන ආණ්ඩුව තුළ සිටින ඇතැම් කොටස්වලට ඉඩ නොදීමට ශ්‍රී ලංකා රජය හා ජනතාව කටයුතු කළ යුතු යැයි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා පවසයි.
වසර 26ක් මුළුල්ලේ පැවැති යුද්ධය සමයේදී සහ ඉන් පසු කාලයේදී සිදු වූ දරුණු මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිවක් කර නැතැයි ද එමර්සන් මහතා එහිදී කීය.
ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මහතා පස්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි බෙන් එමර්සන් මහතා එම සංචාරය අවසන් කරමින් කොළඹ තුන්මුල්ල එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අදහස් පළ කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබා දුන් වසර දෙකක දිගුවෙන් මාස හතරක් ගෙවී ගොස් තිබුණ ද කවුන්සිලය හමුවේ ඉටු කිරීමට පොරොන්දු වූ ප්‍රධාන අරමුණු ළඟා කරගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඉතාමත් පහළ මට්ටමක පවතින බවත් ඇතැම් අවස්ථාවලදී එම ඉලක්කවලට ගමන් කරන බවක් හෝ නොපෙනෙන බව ද හෙතෙම කීය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම තීරණය වන්නේ අදාළ වසර දෙකක කාලසීමාව අවසානයේදී බව පැවැසූ බෙන් එමර්සන් මහතා සත්‍ය ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති යුක්තියක් ස්ථාපිත කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නැතැයි ද කීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යන ත්‍රස්ත විරෝධී යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ, පාර්ලිමේන්තුවේ සහ මහජන උපදෙස් ලබා නොගැනීම කනගාටුවට කරුණක් බව ද ඔහු කීවේය.
‘‘2015 වසරේදී ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දක්වමින් මානව හිමිකම් සහ සංහිඳියාව වෙනුවෙන් වැඩකටයුතු සිදුකිරීම ආරම්භ කළා. එම එකතුවෙන් අදාළ අරමුණු සාක්ෂාත් කර ගන්න දරණ උත්සාහය යටතේ ශ්‍රී ලංකා රජය පියවර කිහිපයක් අරගෙන තියෙනවා. කොහොම වුණත් වසර දෙකයි මාස 04 ක් ගතවී අවසන්. එහෙත් අදාළ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳ සෑහීමකට පත්විය නොහැකියි. ඇතැම් දේවල් වචනයට පමණක් සීමා වුණු තත්ත්වයක් දක්නට ලැබෙනවා. අප ඉදිරිපත් කළ නිර්ණායකයන් ඒ අයුරින්ම ඉටුවුණු බවක් අපට පේන්නට නැහැ. යුද වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණු ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් පියවර ගැනීමත් මන්දගාමීවයි සිදුවන්නේ.’’

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.