ශ්‍රී ලංකාවේ පිපිරීම් : නවතම තොරතුරු වාර්තාව

ප්‍රහාර පිළිබඳ සංක්ෂිප්තය:

  • මරණයට පතන් සංඛ්‍යාව 321 දක්වා ඉහළට
  • මාර්තු මස නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට එල්ල වූ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් වෙත ප්‍රහාර එල්ල වී ඇතැයි හෙළි වී ඇති බව ආණ්ඩුව පවසයි.
  • අඟහරුවාදා රාත්‍රී 09.00 සිට අලුයම 04:00 දක්වා ශ්‍රී ලංකාව පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමට තීන්දු කර ඇත.
  • ප්‍රහාර සිදු කළේ අයිඑස් සංවිධානය විසින් යැයි ඊට සම්බන්ධ පුවත් ආයතනයක් නිවේදනය කළේය.
  • පුපුරන ද්‍රව්‍ය සොයා තවදුරටත් මෙහෙයුම් දියත් කර ඇත.

විදෙස් මාධ්‍ය හමුවේ අගමැතිවරයාගේ ප්‍රකාශය

“ජාත්‍යන්තර ත්‍රස්තවාදයට” එරෙහිව කටයුතු කරන අතර, ශ්‍රී ලංකාවේ සමගිය වෙනුවෙන් කැපවන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ විදෙස් මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් මේ මොහොතේ කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ හොඳින් ප්‍රගතියක් ලබන බව ද අගමැතිවරයා පැවසීය.

ප්‍රහාරයට විදේශ සම්බන්ධයක් තිබුණේය යන්න ආණ්ඩුවේ ස්ථාවරය බව සඳහන් කළ අගමැතිවරයා, අයිඑස් සංවිධානය එහි වගකීම භාරගැනීමෙන් අනතුරුව ඒ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වන බව සඳහන් කළේය.

ප්‍රහාරය ගැන රහස් තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකළේ මන්දැයි විමසා බැලිය යුතු බව ඔහු යළිත් වරක් කියා සිටියේය.

පාර්ලිමේන්තුවත් අවදානමක – කතානායක

ශ්‍රී ලංකා පර්ලිම්ර්න්තුවImage copyrightGETTY IMAGES

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අවදානමක පවතින බව ආරක්ෂක නියෝජිතයින් දන්වා ඇතැයි කතානායක කරු ජයසුරිය පැවසීය. එමෙන්ම දේශපාලන වාසි නොතකා කටයුතු කර්ටන ලෙසත් ඔහු ඉල්ලා සිටී.

“ඉතාම කණගාටුදායක සිද්ධියක් මේක. මෙය ශ්‍රීලංකා ජනතාව බලාපොරොත්තු වූ සිද්ධියක් නොවේ. සාමකාමී රටක් වශයෙන් නැවත හිස ඔසවන්න පටන්ගත අවස්ථාවක මේක දරුණු ලෙස බලපානවා.”

“මේ සිදුවීම වූ අවස්ථාවේ මමත් විපක්ෂනායකතුමා මෙන්ම අග්‍රාමාත්‍යවරයා රැස්වී සාකච්ඡා කළා. එතැනදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් විය යුතු බැවින් පාර්ලිමේන්තුව කැඳවන්න කියා ඉල්ලීමක්. ඒ අනුව අද පාර්ලිමේන්තුව කඳවුවා. අග්‍රාමාත්‍ය තුමා මෙන්ම විපක්ෂනායක තුමා කරුණු පැහැදිලි කළා. ඒ වගේම හෙට උදේ 10.00 සිට හෙට ප.ව. 4.30 දක්වා විවාදයකටත් අවසර දෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ආරක්ෂාවට හමුදාවේ පන්දහසක්

රට තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් සමග එක්ව රාජකාරි කිරීමට යුද හමුදා නිලධාරීන් 5,000 ක් යොදවා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය බීබීසී සිංහල සේවයට පැවසීය.‍

අසත්‍ය ප්‍රචාර – සැකකරුවන් අත්අඩංගුවට

සැකකටයුතු ලොරි රථයක් සහ වෑන් රියක්

සැකකටයුතු ලොරි රථයක් සහ කුඩා වෑන් රියක් පිළිබඳ තොරතුරු ලැබීමෙන් අනතුරුව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විසින් කොළඹ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථාන දැනුවත් කර ආරක්ෂාව තර කර තිබේ යැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අත්අඩංගුවට පත් පිරිස ඉහළට

ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට පුද්ගලයන් 33 දෙනෙකු අත්අඩංගුවට ගැනේ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම්.

අයිඑස් ‘නිවේදනයක්’

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස 321 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 500 දෙනෙක් පමණ තුවාල ලබා සිටින බව බලධාරීහු පවසති.

මියගිය පුද්ගලයන් අතරින් බොහෝ පිරිසකගේ අවමංගල්‍ය උත්සව පැවැත්වෙන අතරවාරයේ, ඉස්ලාමීය සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගත් බව සඳහන් කරමින් නිවේදනයක් ද නිකුත් වී තිබේ.

“ක්‍රිස්තියානි සහ ශ්‍රී ලංකා පුරවැසියන් ඉලක්ක කරමින් පෙරේදා ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ISIS සටන්කරුවන්ය,” යනුවෙන් අයිඑස් සංවිධානයේ පුවත් ආයතනය වන අමාක් (AMAK) ඒජන්සිය විසින් නිකුත් කරන ලද බව සැලකෙන නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහත දැක්වේ.

ඕනෑම පුද්ගලයෙකුට ඉහත කී ආකාරයේ සටහනක් සහිත ඡායාරූපයක් නිර්මාණය කළ හැකි නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රහාරය අයිඑස් සංවිධානයේ ක්‍රියාවක් ලෙස සැලකිය හැකි බව බීබීසී අරාබි භාෂා සේවයේ මාධ්‍යවේදියෙක් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ශ්‍රී ලංකාවේ පිපිරීම්: ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලංකාවේ ප්‍රහාර යළිත් වරක් හෙළාදකිති

AFPImage copyrightAFP

පාප් වහන්සේගේ ඉල්ලීම

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා (අප්‍රේල් 22) දෙවැනි වරටත් හෙළා දුටුවහ.

ඉරිදා දිනයේත් උන් වහන්සේ එම ප්‍රහාර හෙළා දුටු සේක.

ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන් අමතමින් උන් වහන්සේ සඳහන් කළේ, “මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මෙම සහෝදර දේශයට අවශ්‍ය සහය දෙන්න කියලා. මම හිතනවා සියලුදෙනා මෙම ත්‍රස්ත සහ අමනුෂ්‍ය ක්‍රියා හෙළාදකියි කියලා” ලෙසිනි.

Getty ImagesImage copyrightGETTY IMAGES

සෞදි ගුවන් සේවයේ දෙදෙනෙක් ‘අතුරුදන්’

ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම්වලින් අනතුරුව තම කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක්කු අතුරුදන් බව සෞදි ගුවන් සේවය නිවේදනය කරයි.

ට්විටර් ඔස්සේ නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ පිපිරීම්වලට හසුව තවත් ගුවන් සේවිකාවක් රෝහල් ගත කළ බවය.

ඇයගේ තුවාල බරපතල නොවන බව ද පණිවුඩයේ සඳහන්ය.

සෞදි ගුවන් සේවයේ කාර්යමණ්ඩල සේවකයින් රැඳී සිට ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේය.

“තවත් පිපිරීමක්”

කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ තවත් පිපිරීමක් සිදුවී තිබේ.

එම පිපිරීම සිදුවී ඇත්තේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ආසන්නයේ ය.

විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යැමේදී එය පුපුරා ගිය බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

ඇමති රාජිත ගේ අනාවරණය:

ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරවීම් පිළිබඳව ජාත්‍යන්තර ඔත්තු සේවා දින 17 කට පෙර ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබූ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

සඳුදා (අප්‍රේල් 22) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතා දහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම ප්‍රහාර පිළිබඳව ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් මස 04 දින ආරක්ෂක අමාත්‍යංශයට දන්වා ඇති බවය.

“වගකීම් පැහැරහැරීම පිළිබද පරීක්ෂණයක් පැවැත්විය යුතුයි,” යනුවෙන් ද ඇමතිවරයා කියා සිටියේය.

පොලිස්පතිවරයා පදවියෙන් ඉල්ලා අස්විය යුතුය යන්න ආණ්ඩුවේ ස්ථාවරය බව ද ඔහු කීය.

“මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බව ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් මස 04 දින ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා. ඒ ප්‍රහාරය එල්ලවීමට දින 17 කට පෙරයි. ඉන් පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අප්‍රේල් මස 09 දින පොලිස්පතිවරයාට මේ පිළිබදව දැනුම් දී තිබෙනවා. ඒ එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයින්ගේ නම්, දුරකථන අංක සහ ජාතික හැදුනුම්පත් අංක ද සදහන් කරමින්. අප්‍රේල් මස 11 දින නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා සියලු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන්ටත් මේ පිළිබදව දැනුවත් කර තිබෙනවා. නමුත් එම දැනුවත් කිරිම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට සහ අගමැති ආරක්ෂක කොට්ඨාසයට ලබාදී නැහැ. ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන නිසා එවැනි දැනුවත් කිරීමක් නොකරන්න ඇති. මෙම ලිපියෙන් ප්‍රභුවරුන්ගේ ආරක්ෂාව දැඩි කරන ලෙස තහවුරු කර තිබෙනවා. නමුත් මෙය අනුශාංගික වැඩක්. රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග තමයි මෙහිදී වැදගත් වන්නේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයාට හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට කැඳවීමක් ලැබෙන්නේ නැහැ. මීට පෙර සිටි සෑම ජනාධිපතිවරයෙක් යටතේම ආරක්ෂක මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍යවරයා සහභාගි වුනා. 2018 වසරේ ඔක්තෝබර් 26 දින පත් කළ ඊනියා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාත් ආරක්ෂක මණ්ඩලයේ වාඩි වුනා. නමුත් ඉන් පසු බලයට පත් වූ අපේ රජයේ අග්‍රාමාත්‍යවරයාට ඊට කැඳවීමක් ලැබුනේ නැහැ. ජනාධිපතිවරයා ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයායි. එතුමා විදේශගත වන විට වැඩබලන ආරක්ෂක අමාත්‍යධූරයට කිසිවෙක් පත් කර තිබුනෙත් නැහැ. කාටවත් වගකීම් බාරදීලා තිබුනෙත් නැහැ. මෙවැනි ත්‍රස්ත කල්ලියක ප්‍රහාරයක් එල්ලවන බවට ආරක්ෂක අමාත්‍යාංශය පොලිස්පතිවරයා දැනුවත් කළ ලිපිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍යවරුන් දැනුවත් ව සිටියේ නැහැ. මෙම සිද්ධිය සිදුවීමෙන් පසු ජනාධිපතිවරයා නොසිටි නිසා අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩලය කැඳවූවත් ඔවුන් ආවේ නැහැ. නමුත් අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ට කථා කළත් ඔවුන් ආවේ නැහැ. එම නිසා අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ කාමරයට වී විනාඩි 20 ක කාලයක් ඉන්න වුනා. මේ රටේ සිටි අග්‍රාමාත්‍යවරු 1988 වසරේ සිට ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් ඉතා දීර්ඝ කාලයක් ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට සහභාගි වුනා. ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වූවා. නමුත් අමාත්‍යවරුන් යෝජනා කළා ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් හමු වී වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ යුතු බව. නමුත් ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් ඊට ද එක් වුයේ නැහැ. ආරක්ෂක මණ්ඩල රැස්වීමකට අග්‍රාමාත්‍යවරයා සහභාගි නොවූ පළමු රට ශ්‍රී ලංකාවයි. අග්‍රාමාත්‍යවරයාගේ කැදවීමකට ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් නොපැමිණි පළමු රට ද ශ්‍රී ලංකාවයි. නමුත් අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය රැස් වූ අතර, ඊට අග්‍රාමාත්‍යවරයා ද එක්ව සිටියා. සියලු තොරතුරු ලැබී තිබිය දී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව සොයා බැලිය යුතුයි. වගකීම් පැහැර හැර ඇති සියලු දෙනා පිළිබඳව සොයා බැලිය යුතුයි. අනතුරු ඇඟවීම් සිදු කර තිබිය දී ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක නොකිරීම පිළිබදව ද සොයා බැලිය යුතුයි.”

ජාතික ශෝක දිනයක්

අඟහරුවාදා (අප්‍රේල් 23) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිදුවූ ප්‍රහාර සඳහා ජාත්‍යන්තර ජාලයක සහාය ලැබී ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න පැවසු බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

“මේ ප්‍රහාර රට තුළ සිටින කණ්ඩායමක් කළා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.”

“ප්‍රහාර පිටුපස ජාත්‍යන්තර ජාලයක් තිබෙනවා. එසේ නොවී මෙවැනි දෙයක් කරන්න බැහැ”

BBCImage copyrightGETTY IMAGES

මරාගෙන මැරෙන ප්‍රහාර

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පාස්කු ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ ප්‍රහාරවලින් ප්‍රහාර හයක් මරාගෙන මැරෙන ප්‍රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

මේ බව බීබීසී සිංහල සේවයට තහවුරු කළ රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංග, ඒ අනුව ශාන්ත අන්තෝනි දේවස්ථානය කොච්චිකඩේ, ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කටාන සහ මඩකලපුව දේවස්ථානයට එල්ලවූ ප්‍රහාර තුන සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක සිදුවූ ප්‍රහාරයන් මරාගෙන මැරෙන ප්‍රහාර ලෙස හඳුනාගෙන ඇතැයි ඔහු හෙළි කළේය.

සඳුදා (අප්‍රේල් 22) රාත්‍රී 8 සිට අඟහරුවාදා (අප්‍රේල් 23) පෙරවරු 4 දක්වා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ අතර නිවේදනය කළේය.

එසේම සිදුවූ ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගොස් ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අතර විදේශිකයින් 22ක් සිටින බව හඳුනාගෙන තිබේ.

මේ වන විට සැකකරුවන් 24ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර තහවුරු කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙන බව ද බලධාරීහු පවසති.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.