ශ්‍රී ලංකාවට වැරදුනේ කොතනද​?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉතිහාසයේ කොතැනක හෝ අපිට බහුත්වවාදය අමතක වූවාද?

  • නයනතාරා ජයතිලක

ඉතිහාසයේ පටන්ම ශ්‍රී ලංකාවේ ඇතිවූ මෙන්ම ඇතිවෙමින් පවතින විවිධ දේශපාලන, ආර්ථික හා සාමාජයීය ගැටුම් ගැන පසුවිපරම් කිරීමේදී පෙනී යන්නේ ජනවාර්ගික අර්බුදය එකී බොහෝ ගැටලු වල හේතු සාධයක් ලෙස පවතින බවයි. ශ්‍රී ලංකාව බහු වාර්ගික සහ බහු ආගමික කණ්ඩායම් වලින් යුතු බවත් සියලු ජාතීන් සමඟියෙන් හා සාමයෙන් තම සංස්කෘතීන් වලට ගරු කරමින් ජීවත් වන බවත් අප කුඩා කාලයේ සිටම පොත්පත් වලින් උගන්නෙමු. එසේ වූවත් අප දන්නා කාලයක පටන්ම කෙතරම් ආණ්ඩු පත් වූවත්, විවිධ පනත් සම්මත වූවත්, සමාජයේ කෙතරම් කතිකාවන් ඇති වූවත්, මෙම ගැටුම් නොනවත්වාම ඇති වෙමින් නැති වෙමින් පවතී. අපට වටහාගත යුතු යමක් ඇතිනම් මෙම ගැටුලුකාරී තත්ත්ව වලට හේතූන් කුමක්ද යන්නත් ඒවාට යම් පිළියමක් යෙදිය හැකි නම් බොහෝ දෙනා බලාපොරොත්තු වන සාමකාමී සහජීවනය අගයන ප්‍රජාතාන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් ලැබෙනු ඇතැයිද යන්නයි. මේ සඳහා බහුත්වවාදය නම් සංකල්පය ශ්‍රී ලංකාවේ ජීවත් වන විවිධ ජන කොටස් වලට තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතය තුළ භාවිතයේ යෙදිය හැකි නම්, අනාගතයේ දිනෙක අප බලාපොරොත්තු වන ප්‍රජාතාන්ත්‍රවාදය අගයන ශ්‍රී ලංකාවක් වෙත ගමන් කිරීමට හැකිවේද යන්න වග බහුත්වවාදයේ ඉතිහාසය අධ්‍යනයෙන් අපට අදහසක් ගැනීමට හැකිවනු ඇත.

බහුත්වවාදය යනු කුමක්ද යන්න ගැන විවිධ නිර්වචන ඇති අතර, කිර්ති ආරියදාස පවසන පරිදි, “බහුත්වවාදය ලිබරල් දේශපාලන දර්ශනයක් තුළින් ගොඩ නැගුණු සංකල්පයකි. ජෝන් ලොග් ඔහුගේ ‘සිවිල් ආණ්ඩුවේ සම්මුති දෙක නම් කෘතියෙන් පරම, සංගත, පාලන ක්‍රමයක් ප්‍රතික්ෂේප කිරීම බහුත්වාදයේ මූලික අර්ථය වෙයි.”   (ආරියදාස,2004:356,357)

මේ නිර්වචන අධ්‍යයනයේදීදී පෙනෙන පරිදි බහුත්වවාදයට දේශපාලන මුහුණුවරක් තිබුණා හෝ නැතත් මේ සංකල්පය ඉතිහාසය තුළ මැකී ගිය දෙයක් ලෙස හැඳින්වීම සාධාරණ නැත. එය වර්තමාන සමාජ සන්ධර්භය තුළ සැබවින්ම පවතින්නකි. ‍යම් ගැටුමක්, ස්වභාවික ව්‍යවසනයක් වැනි තත්ත්වයකදී සහකම්පනය තුළින් මිනිසුන්ට එය නිරායාසයෙන්ම පැන නැගෙන හැඟීමකි. උදාහරණ ලෙස 2004 සුනාමි ව්‍යවසනයේදී සියලු මිනිස්සු ජාති ආගම් භේදයකින් තොරව එකිනෙකාට උපකාර කර ගත්හ. අවාසනාවන්ත තත්ත්වය නම් මිනිසුන්ට එය ශ්‍රී ලංකාව තුළ ඇතිවන විශාල පරිමාණයේ හානි පමුණුවන ගැටුම් හා ව්‍යවසනකාරී අවස්ථාවන් වලට යොදා ගැනීමට ඇති නොහැකියාවයි. එසේ කල හැකි නම්, ශ්‍රී ලංකාවේ වරින් වර ඇතිවන මහා පරිමාණ වාර්ගික හෝ ආගමික ගැටුම් සිදු නොවන්නටත් තිබුණා යැයි අනුමාන කිරීමේ වරදක්ද නැත. මන්ද එතරම් බලයක් මේ බහුත්වවාදය එනම් බහුවිධතාවය තුළ පැවතීමයි.

ඉතිහාසය තුළ බහුත්වවාදයේ යෙදුම් 

යටත්විජිතකරණයට පෙර ශ්‍රී ලංකාවේ ඉතිහාසය සැලකීමේදී, ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් ජීවත් වූ අතර ප්‍රධාන වශයෙන්ම ඔවුන් බෞද්ධ හා හින්දු ආගම් වලට අයත් ජන කොටස් විය. ඒ ඒ යුග වල සිංහල මෙන්ම දමිළ පාලකයින් රටේ විවිධ ප්‍රදේශ පාලනය කර ඇති බවට ඉතිහාසයෙන් අපට ඕනෑ තරම් සාක්ෂි සොයා ගත හැකි අතර විශේෂයෙන්ම විවිධ ආගමික ස්ථාන වලට ඒ ඒ ජන කොටස් කිහිපයක්ම වන්දනාමාන කිරීමට පැමිණීම හා ඒවාට රාජ්‍ය අනුග්‍රහයන් දැක්වීම සඳහන් කල හැක. උදාහරණ ලෙස බෞද්ධයන්ගේ ආගමික ස්ථානයක් වන මහනුවර ශ්‍රී දළදා මාලිගය සඳහන් කල හැකි අතර බෞද්ධ ජනතාව එහි බුදුරජාණන්වහන්සේට වන්දනාමාන කරන අතරතුරම හින්දු ජනතාවගේ දෙවිවරුන්ටද වන්දනාමාන කරනු ලබයි.

මහනුවර වාර්ෂික පෙරහැර මඟින් දන්ත දාතූන් වහන්සේට පූජා ගෞරව කරන අතරම, කවරාකාර පුද්ගලයෙකුදැයි යන්න පිළිබඳ තැකීමකින් තොරව සියලුම ප්‍රාණීන්ගේ සෞභාග්‍ය උදෙසා වන සාමූහික ප්‍රයත්නයක් ලෙස ආරක්ෂක දෙවිවරුන් සඳහා ගෞරව සිදු කර එම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලබා ගනු ලැබේ. (සිල්වා සහ පිරිස 2016)

තවදුරටත් මෙවැනි උදාහරණ ගැන සඳහන් කරන්නේ නම් ශ්‍රී පාද අඩවිය, කතරගම විහාරය, නල්ලූර් කෝවිල, නාගදීපය හා මඩු දේවස්ථානය, කොළඹ කොටුව රතු පල්ලිය හැඳින්විය හැක. ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් මෙම ආගමික ස්ථාන වලට යාමට ප්‍රිය කරති. අතීතයේ පටන්ම අද දක්වාම පවතින මේ පුරුදු මෙසේ තිබියදීත් මේ වටිනා සබඳතා කෙසේ නම් යුද්ධය හා ප්‍රචණ්ඩත්වය දරුණු ලෙස ජීවිත හානි වීම් පවා සිදුවන අන්දමට ක්‍රියාත්මක වන තරම් පළුදු වූයේ කෙලෙසදැයි යන්න අප අපගෙන්ම විමසිය යුතු නොවෙද? ඉතිහාසය අධ්‍යයනයේදී පෙනෙනුයේ බ්‍රිතාන්‍යන් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් පසු ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වල, 1910 මැකලම් ව්‍යවස්ථාවට අනුව එහි නිල නොලත් සාමාජිකයින් ලෙස පත් කර ගැනීම දෙමළ, මුස්ලිම්, පහත රට සිංහල හා උඩරට සිංහල ලෙස බෙදාවෙන් කර ඇත. එලෙස ආරම්භ වූ මෙම බෙදීම් නිදහස ලැබීමෙන් පසුද යම් යම් සිදුවීම් වල අධ්‍යයනය කල හැක. 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විවිධ වාර්ගික හා ආගමික කණ්ඩායම් වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා සකසා තිබූ ප්‍රති විධාන, 1972 ජනරජ ව්‍යවස්ථාවේදී බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුත්තේ යැයි වෙනස් විය. 1978 දීද සුළුතර ආගම් වල අයිතිය ආරක්ෂා කිරීමට විදිවිධාන යොදා ඇතිමුත් නැවතත් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුත්තේ යැයි සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ජාතීන් වෙන් වෙන් වීමට ප්‍රධානම හේතුවක් වූයේ 1956 දී ඇති වූ භාෂා ප්‍රශ්නය අතර ඉන් පසුව සිවිල් යුද්ධය ආරම්භ වීම වැනි හේතු වලට මූලිකවම බලපා ඇත්තේ විවිධ දේශපාලනමය හේතු සාධකයි. ඉතිහාසය දෙස නැවත හැරී බලන්නේ නම් ආගමික නායකයින්ට ඉහත ගැටුම් වලට මැදිහත් වූයේ නම් ඒවා වළක්වා ගැනීමට හැකියාව තිබෙන බව සඳහන් කිරීමේ වරදක් නැත. එයට හේතුවක් ලෙස සඳහන් කරන්නේ නම්, පස්චාත් සිංහල ජාතිකවාදී ගැටුම් වල නායකත්වය ගෙන ඇත්තේ ආගමික නායකයින් වීමයි. (උදාහරණ- බොදුබල සේනාව) මෑතක සිදු වූ පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා ගිය අයිතිවාසිකම් ඉල්ලීම වෙනුවෙන් සිදුකල පා ගමනේ පවා හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගමික නායකයින් පෙරමුණ ගෙන සිටීම දකින්නට ලැබිණ.

1997-1997 කාලයේ මගේ ගොඩක්ම තරුණ වයසෙදි මම විස්වාස කලේ හැම සිංහල මනුස්සයෙක්ම නරක මනුස්සයෙක් කියල. මොකද අපි දැක්කෙ ආමි එකේ අය විතරයි. මම අත්වින්දේ යුද්ධය විතරයි. 2009 යුද්ධය ඉවර උනාම අපිට කොළඹට යන්න ලැබුණා. සිංහල මිනිසුන්ව ආශ්‍රය කරන්න ලැබුණා. එතකොට තේරුණා සිංහලයො හැමෝම නරක අය නොවේ කියල. ඔවුන්ටත් අපි තරුණ කාලෙ හිතුවා වගේ දෙමළ අය නරක අය කියල හිතාගෙන ඉඳල තිබුණා. නමුත් ඔවුනුත් අපිව ආශ්‍රය කලාම තෙරුම් අරගත්තා ඒ මතය වැරදි බව.

පුවිකරන් නගුලේෂ්වරන්, සමාජ ක්‍රියාකාරී, වින්මීන්ගල් ස්වේච්ඡා සංවිධානයේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී SBC TIMS.

1976 දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ආරම්භ වීමත් එතැන් සිට වසර 30ක කාලයක් පැවති සිවිල් යුද්ධය නිසා බොහෝ දුරකට මිනිසුන්ට, ශ්‍රී ලංකාවට ප්‍රජාතාන්ත්‍රවාදී පැවැත්මක් අවශ්‍ය නම් එයට ඇති ප්‍රධානම ශක්තිය විවිධත්වය යන්න අමතක වීම ආරම්භ වී ජාතීන් එකිනෙකාට වෛර කිරීම ආරම්භ වූවා යැයි කීම සාධාරණය, මන්ද යත් 1985 දී සිදුවූ ශ්‍රී මහා බෝධි සමූල ඝාතනයක්, 1990 දී සිදුවූ කාන්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූල ඝාතනයත් වැනි දිගින් දිගටම සිදු වූ ජීවිත හා දේපල හානි නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතීන් එකිනෙකාව විස්වාස නොකරන, එකිනෙකාට වෛර කරන මෙන්ම එකිනෙකා දෙස වපර ඇසින් බලන තත්වයකට පත් වීම වළක්වාගත නොහැකි තත්ත්වයකට පත් විය.

“අද වන විට මට ලංකාව පුරාම මිතුරන් ඉන්නවා. මෑතකදි මම සිංහල,දෙමළ,මුස්ලිම් සියලු දෙනාම රංගනයෙන් දායකවන කෙටි චිත්‍රපටයක් පවා කලා. මම දැනට හඳුනාගෙන තියන්නෙ අපිට තියන එකම ගැටලුව මේ අනෙක් කෙනාගේ භාෂාව නොදැනීම විතරයි කියල. ඉතින් ඒකත් ඉගෙන ගන්න බැරිකමක් නෑ. එහෙම උනොත් අනික් කෙනාගෙ ප්‍රශ්න තේරුම් ගන්න එක එතරම් අපහසු දෙයක් වෙන්නෙ නෑ. භාෂාව නිසා ඇතිවෙච්ච ගැටුම් ගැන අපිට ඕනෑ තරම් පාඩම් ඉතිහාසෙන් ඉගෙන ගන්න පුළුවන්. ශ්‍රීඅකුරේ ප්‍රශ්නය වගේ. මම විස්වාස කරන්නෙ එක දෙයයි. විවිධත්වය කියන්නෙ හරි සුන්දර දෙයක්, අපි එයට ගරු කරන්න ඕනෙ. අපි එය ඉවසන්න ඕනෙ”. යැයි නගුලේෂ්වරන් තවදුරත් පවසයි.

වර්තමානය තුළ බහුත්වවාදය යෙදිය හැකි අවස්ථා

මෙම වර්ෂයේ ජනවාරි මාසයේදී යාපනය විශ්වවිද්‍යාලයේ තිබුණු යුද්ධයෙන් මිය ගිය අය සිහිකරන ස්මාරකය ඉවත් කිරීමේ සිදුවීම සහ පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා ගිය අයිතිවාසිකම් ඉල්ලීම වෙනුවෙන් සිදුකල පා ගමනත් 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයත්, කොවිඩ්19 නිසා මිය යන මුස්ලිම් ජනතාවගේ මළසිරුරු භූමදානය කිරීමට ඔවුන් කල ඉල්ලීම් වලට රජය ඇහුන්කම් නොදීමත් යන සිදුවීම් නිසා ශ්‍රී ලංකාවේ ජාතීන් අතර පළුදු වී තිබූ සාමය හා සමඟිය තවදුරත් පළුදු කිරීමට සමත් වූවා යැයි පැවසිය හැක. ඉහත සිදුවීම් වලදී එකී ජාතීන් අතර බහුවිධතාවය අගයන, එකිනෙකාගේ විවිධත්වය ඉවසන, එකිනෙකාගේ අයිතිවාසිකම් ගැන අවබෝධයක් ඇති ශ්‍රී ලාංකිකයන් රටේ සිටියා නම් මෙම සිදුවීම් මෙසේ නොවන්නට තිබුණා මෙන්ම, මෙවැනි සිදුවීම් නිසා ඇණහිටින රටේ සංවර්ධනය පවා නොනවත්වාම කරගෙන යාමට රජයටද හැකියාව ලැබෙන්නට හැකියාව ඇත. මෙහිදී රටේ සාමාන්‍ය ජනතාව පමණක් බහුත්වවාදය ඇගයීම ප්‍රමාණවත් නොවන අතර, රට පාලනය කරන පුද්ගලයන් තුළද රටේ බහුවිධතාවය තමන්ගේ පාලනයේ පහසුව හා තම බලය පෙන්වීම වැනි පටු අරමුණු තකා භාවිත නොකර එය රටේ ශක්තිය ලෙස සැලකීම අනිවාර්‍ය විය යුතුය.

මහාචාර්‍ය සසංක පෙරේරා මහතා සඳහන් කරන පරිදි,

මහාවංශයේ හා සිංහල ථූපවංශයේ, එළාර රජතුමා වෙනුවෙන් සාදා ඇති ස්මාරක සම්බන්ධයෙන් තොරතුරු දැක්වෙනවා. එතැනින් ගමන් කරන කෙනෙක්, තොප්පි ගලවන්න ඕනෙ, අශ්වයාගෙන්, අලින්ගෙන් හෝ දෝළාව පිටින් යනවා නම් ඒවායින් බහින්න ඕනෙ, සංගීත වාදන නතර කරන්න ඕනෙ, යැයි විශේෂයෙන්ම ථූපවංශයේ සඳහන් වෙනවා. ස්මාරක පිළිබඳව අදහස ඉතාමත් දීර්ඝ කාලීන අදහසක්. ඉතිහාසය අමතක කරල තත්කාලීන ස්මාරක පිළිබඳව අපිට තේරුම් ගන්න බෑ”. – ස්මාරකයක් යනු හුදු පිළිමයක්ම පමණද? ශ්‍රී ලංකාවේ මතකය, සාමය සහ දේශපාලනය. – (හෑෂ්ටැග් පරපුර 02/10/21;වෙබිනාර් සාකච්ඡාව)

තවදුරටත් මහාචාර්‍ය පෙරේරා අදහස් දක්වා සිටියේ,

“මම විශ්වවිද්‍යාලයේ බලධාරියෙක් නම්, මේක කරන්න ඉඩ තිබ්බෙ මීට වෙනස් විදිහකට. තමන්ගේ අවට ප්‍රදේශයේ යුද්ධයෙන් නැති වෙච්ච අයගේ මරණය ස්මරණය කිරීම ඒ පළාතේ අයගේ අයිතියක්, ඒකෙ කිසි ගැටලුවක් තියෙන්න විදිහක් නෑ. එහෙම කණ්ඩායමක් ස්මරණය කරන්න විශ්වවිද්‍යාලයෙන් නිල වශයෙන්, නෛතික විදිහට ස්මාරකයක් හැදුවා නම් ඒක ඉතා සාර්ථකයි කියල මම හිතනවා.”

අනාගතයේ අප බහුත්වවාදයට ඉඩක් දෙනවා නම්,

යුද්ධයෙන් වසර තිහක කාලයක් පමණ බැටකෑ ශ්‍රී ලාංකිකයන් ලෙස අපට අවබෝධ කර ගත යුතු යමක් වේ නම් ඒ සැමරීම් වලින් ලැබෙන්නේ සැනසීමක් පමණක් බවත්, කාලයේ ඇවෑමෙන් ඒවා අපගේ සිත් වල ඇති අඳුරු මතක වල තුවාල කෙමෙන් වියැකෙන බවත් ය. බහුත්වවාදයේ අලංකාරය නම් එක් ජාතියකට අනෙක් ජාතියේ වේදනාවක් තේරුම්ගෙන එය ඉවසීමට ඇති හැකියාවක් ඒ තුළ තිබීමයි. එසේ අනෙකාගේ විවිධත්වයට ගරු කරන, අවබෝධයක් ඇති කර ගැනීමට වෙහෙසෙන පිරිසක් ලංකාවේ සිටින අතර විවිධ ආගමික, වාර්ගික ගැටුම් ඇති වීමේදී ඔවුන් ඒවා වෙනුවෙන් තම හඬ භාවිතා කරයි. මෙම බහුත්වවාදය සම්බන්ධයෙන් පැන නගින තවත් තර්කයක් නම් එක් ජාතියක් පමණක් තවත් ජාතියක බහුවිධතාවයට ගරු කිරීම සිදු කල යුතු යැයි ශ්‍රී ලාංකිකයන් තුළ පවතින මතයයි. එය සම්පූර්ණයෙන් වැරදි මතයක් වන අතර සියලු ජාතීන් තමන්ට වෙනස් ජාතියක ඇති විවිධත්වයට ගරු කල යුතු සේම,ඉවසිය යුතුය. මේ සඳහා ගත හැකි වඩාත් තිරසාරම පියවරක් නම් ශ්‍රී ලංකාවේ පාසල් විෂයන් තුළ මෙන්ම බාහිර ක්‍රියාකාරකම් තුළද තමන්ට වෙනස් ජාතියට විවිධත්වය විඳීමට දරුවාට අවස්තාව ලබා දීමයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන භාෂාවන් ඉගෙනීමට වර්තමානයේ පාසල් දරුවන් උනන්දු කරන්නේ නම් අනාගතයේ දිනෙක ඔවුන්ට තම අදහස් පහසුවෙන් හුවමාරු කර ගැනීමේ අවස්තාව හිමිවනු ඇත. සැබවින්ම අප ඉතිහාසයේ බහුත්වවාදය අමතක කර නැත. එය අපට මඟ හැරීද නැත. අප සිදුකල යුත්තේ ඉතිහාසයේ යම් තැනක අපට බහුත්වවාදයේ භාවිතයේ හෝ භාවිත නොකිරීමේ ප්‍රතිඵල දැක ගැනීමට හැකිද, ඒවා ආදර්ශයට ගනිමින් අද වන විට අද අප හමුවේ ඇති ආගමික හෝ වාර්ගික හෝ කුමන ආකාරයේ ගැටුමක් හෝ වේවා විසඳීමටත් ඒවා නැවත ඇති නොවීමටත් බහුත්වවාදීව බලමින් අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් ඉදිරියට යාමයි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.