විශ්වාසභංග උළෙල සහ රෙජීම පාඩම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාට්‍ය උළෙලවල් වලදී ඇතැම් විට සිදුවන අපුරු දෙයක් නම් කිසිදු අංශයකට සම්මාන නොලැබුණු එක්කෝ සම්මාන ඉතා අඩු ගණනක් ලැබුණු නාට්‍යයක් වසරේ හොඳම නිෂ්පාදනය ලෙස සම්මාන ලැබීමයි. 2014 රාජ්‍යය නාට්‍ය උළෙල ඊට කදිම නිදසුනකි. එම උළෙලේදී ප්‍රධාන සම්මාන හතක් සහ විශේෂ සම්මාන දෙකක් සහිතව වැඩිම සම්මාන ගණනක් එනම් සම්මාන නවයක් දිනාගත්තේ චාමික හත්ලහවත්ත ගේ “මකරට” නාට්‍යයයි.
නමුත් උළෙලේ හොඳම නිෂ්පාදනය ලෙස සම්මාන ලැබුවේ මට මතක ඇති ආකාරයට වෙනත් සම්මාන දෙකක් පමණක් ලබා සිටි පරාක්‍රම නිරිඇල්ල ගේ “ හුණුවටයේ කතාව” යි. නාට්‍ය රසිකයෙකු ලෙස මා අන්ද මන්ද වූ තීරණය පිලිබඳ ප්‍රවීණ නාට්‍ය විනිසකරුවන්ගෙන් විමසු විට ඔවුන් ගේ පිළිතුර වුයේ එවැනි සම්ප්‍රදායක් ලෝකයේ පවතින බවයි. ඒ පිලිබඳ මතකය අලුත් වුයේ නොබෝදා පැවති විශ්වාශ භංග ක්‍රියාවලිය ද මතු කී ආකාරයේ නාට්‍ය උළෙලක ට සමාන වී අවසන් වූනි.

2015 ජනවාරියේ සිට ම පවතින ආණ්ඩුව සහ එහි නායකයින් විශේෂයෙන් ම අගමැති ඇතුළු ප්‍රධාන පෙළේ එජාප ඇමතීන් කීප දෙනෙකු කෙරෙහි පොදු ජන විශ්වාසය කඩවීම් රාශියක් ම විය. මහ බැංකු බැඳුම්කර සිද්ධිය ඒ කෙරෙහි බලපෑ ප්‍රධානම සිදුවීම ය. මුදල් ඇමතිට ඉල්ලා අස්වීමට සිදු වූයේ එහි ප්‍රතිපලයක් ලෙසය. අගමැති සහ ආණ්ඩුවේ නායකයා වන ජනාධිපති අතර මත භේද උත්සන්න විය. අගමැති යටතේ තිබු මහ බැංකුව වැනි ආයතන සහ ඇතැම් අංශ ඉවත් කිරීමට ජනාධිපති ක්‍රියා කළේය. ආණ්ඩුවේ ඇමති මණ්ඩලය නැතහොත් කැබිනට්ටුවේ ඇමතීන් අතර මත භේදවල ද නිමක් නොවී ය. ආණ්ඩුවේ පසු පෙළ සහ ඉදිරි පෙළ මැති ඇමතීන් අතර ද මත භේද සහ ගැටුම් උත්සන්න විය.

එජාපයේ අභ්‍යන්තර අර්බුද උත්සන්න වී අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම පිලිබඳ අදහස එම පක්ෂයේ අය විසින් ම කරලියට ගෙන ආවේ ය. රංගේ බණ්ඩාර එහි ප්‍රමුඛ කාර්යභාරයක් කළ තැනැත්තාය. ඒකාබද්ධය ගෙන ආ විශ්වාසභංගය ට පක්ෂව එක පයින්ම ඡන්දය දීමට තීරණය කළ බව ශ්‍රීලනිපය සහ සංධානය ඍජුව සහ වක්‍රව ප්‍රකාශ කළේ ය. ඔවුන් අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි බල කළේය. එජාපයේ විසිගණනක් භංගයට සහය දෙන බව වාර්තා විය. ආණ්ඩුවට උදව් කරනවා යැයි ඇතැමුන්ගේ නින්දාවට ලක්වී සිටි ජවිපෙ අගමැතිට එරෙහිව භංගය ට පක්ෂව ඡන්දය දීමට තීරණය කළේ ය. අගමැතිට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා රටේ බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා පසුබිමක් ඇති විය.

මේ අනුව පාර්ලිමේන්තුවේ විශ්වාස භංග විවාදය සහ ඡන්ද විමසීම නාට්‍ය උළෙලක් නම්, අගමැති ප්‍රමුඛ ආණ්ඩුව එහි තරඟකාරී අවසාන වටයට තේරුණ නාට්‍යයක් නම්, ඒ නාට්‍යය කිසිදු සම්මානයක් නොලබා පරාජය වීමට නියමිතව තිබුණි. ඇත්තටම ඒ උළෙලේ දී ඊට කිසිදු සම්මානයක් ලැබුණේ නැත. නමුත් උළෙලේ හොඳම නිෂ්පාදනය සඳහා වූ සම්මානය දිනා ගැනීමට විශ්වාස භංගයට විරුද්ධ වූ අගමැති ප්‍රමුඛ කණ්ඩායමට හැකි විය. පොදුජන ප්‍රේක්ෂකාගාරයේ බහුතරයක් අකමැති, එසේම ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයේ බහුතරයක් අකමැති, විශ්වාසභංගයේ ප්‍රධාන චුදිතයා වසරේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. විශ්වාස භංග ක්‍රියා දාමය අපේ රටේ රාජ්‍ය නාට්‍ය උළෙලට සමාන කිරීම සාධාරණ යැයි දැන් ඔබට ද සිතෙනු ඇත.

මේ විශ්වාස භංග ක්‍රියාවලිය ගැන ‘ලංකාදීපයේ’ මේ පිටුවට ම විවාදයට දිනකට පෙර ලියු ලිපියක මා සදහන් කළේ පුද්ගල අභිමතාර්ථවලින් තොරව මෙරට මැති ඇමතීන් කටයුතු කරනවානම් කල යුත්තේ ස්ථාවර ආණ්ඩුවක් සහ විපක්ෂයක් පිහිටුවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ විසුරුවා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු බවය. ඒ හැර වෙනත් විකල්පයක් නැති බවය. අවශ්‍ය වන්නේ විශ්වාස භංග නොව පාර්ලිමේන්තුව විසුරුවා ගැනීම සඳහා මහජනයා සහ පාර්ලිමේන්තුව සංවිධානය කිරීම බව එහි අවධාරණය කෙරිණ. එසේම විකෘති ආණ්ඩුවක් විකෘති විපක්ෂයක් නඩත්තු කරන පාර්ලිමේන්තුවකින් මහජන යහපැවැත්ම සහ සුභ සාධනය ඉටු නොවෙන බව ද එහිදී අවධාරණය කෙරිණ.

ටික දිනකට පසුව එම ලිපිය ෆේස්බුක් හි පළවූ පසු එම අදහස පිලිබඳ ආචාර්ය අතුලසිරි සමරකෝන් දැක්වූ ප්‍රතිචාරයේ සඳහන් වුයේ මෙ වැන්නකි. ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු දේශපාලන ආතති සහ අස්ථාවරතා සහිත සියල්ල ය. ශක්තිමත් ආණ්ඩුවක් පවතින විට ප්‍රජාතන්ත්‍රවාදය මිය යයි, නිහඬ වෙයි. අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්වාදය සහ ආඥාදායක පාලක පංතියේ දරදඬු බලහත්කාරය රහිත ආණ්ඩුකරණය සඳහා ඉඩක් ය’. මේ ප්‍රතිචාරයෙන් ඉඟි කෙරෙන්නේ පවත්නා ආණ්ඩුව සහ පාර්ලිමේන්තු බලතුලනය ඔහේ පැවතුනාවේ යන්න නම් ඉන් කියවෙන අනිත් කාරණය වන්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහ ආණ්ඩුකරණයේ පැවැත්මට වඩාත් යෝග්‍ය මේ ආකාරයේ දඩාවතේ යන පාර්ලිමේන්තු-ජනාධිපති ක්‍රමයක් ය යන්න විය යුතුය. එය එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහ පාලනයේ නාමයෙන් හෝ ඒ වෙනුවෙන් හෝ මේ රටේ ජනයා පවත්නා සහචර, චෞර සහ දඩාවතේ යන පාලන තන්ත්‍රය ඉවසා දරා ගත යුතුය.

එහි තවත් පරස්පරතාවක් ද වෙයි. එනම් පවතින දේශපාලන ආතති, ව්‍යකුලතා, විකෘතිතා සහ අස්ථාවරතා වනාහි පොදු ජනයා විසින් ඇතිකළ ඒවා නොවීම ය. 2015 ජනවාරි 8 දා බිහි වූ නො මේරු, විකෘති සහ ජාතික වශයෙන් අවජාතක පාලන තන්ත්‍රය එදා සිට මේ ලිපිය ලියන මොහොත දක්වාම නිරත වී සිටින නොනිමි අරගලය වී ඇත්තේ තම බලය තහවුරු කරගැනීම සහ ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙස වීම පමණක් ම ය. එසේ නොමැතිව පොදු ජන යහ පැවැත්ම සහ සුබ සාධනය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය, මුලෝපායන් සැකසීම, වැඩ සටහන් සහ ව්‍යාපෘති සැකසීම සහ තීන්දු තීරණ ගැනීම සඳහා අරගලයක නිරත වීම නොවේ. ඒ අනුව මේ පවත්නා අර්බුදය, ව්‍යකුලතාව සහ අස්ථාවරතාව වනාහි තම බලය රැක ගැනීමට සහ තහවුරු කර ගැනීමට දඟලන ජනවාරි පාලක හවුලේ බල අර්බුදයකි. පාලක හවුලේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයකි. එම අර්බුදයේ මා පියන් ඔවුහු ම ය. එසේ නැතිව මේ අර්බුදය ‘පොදු ජනයා ප්‍රජාතන්ත්‍රවාදය රිසි සේ භුක්ති විඳින නිසා’ ඇතිවූ අර්බුදයක් නොවේ. මා මිත්‍ර අතුල යෝජනා කරන්නේ මෙහම ම යමු කියා ද?

ඛේදාන්තයකින් අවසන් වූ විශ්වාසභංග නාට්‍ය උළෙල දෙස ට නැවත හැරෙමු. එහි පාර්ලිමේන්තු විවාදය ඉතා රමණීය ය. විශ්වාසභංග ය ගෙනා සහ ඊට පක්ෂ අය ඉදිරිපත් කරන බැඳුම්කර වංචාවට අදාළ චෝදනාවලට අනික් පසින් එනම් අගමැති පාර්ශවයෙන් ලැබෙන්නේ තම නිර්දෝෂී භාවයට අදාළ කරුණු හෝ පැහැදිලි කිරීම් නොව භංගය ගෙනා පාර්ශවයේ හොරමැරකම් පිලිබඳ චෝදනාය.

ඒ අනුව පාර්ශව දෙකම එකිනෙකාට එරෙහිව හොරා හොරා සහ මිනීමරුවා මිනීමරුවා යනුවෙන් හඬ තැලීම නිසා විවාදය විකාරයක් ම විය. අනෙක් පාර්ශවයේ අයෙකුට හොරා මිනීමරුවා කීම සහ පෞද්ගලික තොරතුරු මුල් කරගෙන නින්දා කිරීම හැර පාර්ශව දෙකේ කවරෙකුවත් තමන් අරබයා නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කොට තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීම වෙනුවෙන් කිසිම පැහැදිළි කිරීමක යෙදුනේ නැත.

ඉන් පෙනී යන්නේ මුළු පාර්ලිමේන්තුවම හොරුන්ගෙන් සහ මිනීමරුවන්ගෙන් පිරී ඉතිරී ඇති බව නොවේ ද? රටේ මුල්‍ය විනය, මුල්‍ය ස්ථාවරත්වය, ආර්ථික අර්බුදය, සමාජ සුබසාධනය, දුෂණය, පොදු දේපොළ අවභාවිතාව සහ නීතිය සහ පර්යාය පිළිබඳව කිසිදු විධිමත් සහ පරිණත කතාවක් කළ අයෙකු මේ විවාදය තුළ දක්නට ලැබුනේ නැත.

ඉතින් අප ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් රැකිය යුත්තේ මැති ඇමතීන් ම කියන හොරුන්ගෙන් සහ මිනීමරුවන්ගෙන් යුත් මෙ වැනි පාර්ලිමේන්තුවක් ද?
නාට්‍ය උළෙල වඩාත් රසවත් වුයේ නිල විපක්ෂය එහි නායකයාගේ මඟ පෙන්වීම යටතේ අගමැති සහ ආණ්ඩුව රැකීමට අපමණ වෙහෙසක් ගත් නිසා ය. තවත් විශේෂ කරුණක් නම් සුළුතර වාර්ගික නායකයින් ප්‍රතිපත්ති හෝ මුලධර්ම රැකීම නොව ආණ්ඩු හෝ පාලකයින් රැකීමේ තීරක බලවේගය බවට පත් වීමය. රැකීම සඳහා ගිවිසගත් කොන්දේසි තවම හෙළිදරව් වී නැත. ඒ කොන්දේසි සහ ඉල්ලීම් පෞද්ගලික ඒවා නම් ගැටළුවක් නැත. එහෙත් ඒවා වාර්ගික හෝ ජාතික කොන්දේසි සහ ඉල්ලීම් නම් ඒවා ඉටු කිරීමට යාමේ දී ඇති විය හැකි අර්බුද සුළුපටු නොවෙනු ඇත.

මේ සියලු තත්ත්ව යටතේ අප සිතා බැලිය යුත්තේ හොරුන් සහ මිනීමරුවන් නැති පාර්ලිමේන්තුවක් සඳහා රෙජීම නොව ආණ්ඩුවක් පත් කර ගැනීම ට සියලු සාධක පෙළ ගැස්සවීමය. 75 ඇරඹුණු සිරිමා-ෆීලික්ස් රෙජීමයත්, 77 ඇරඹුණු ජයවර්ධන රෙජීමයත්, 94 ඇරඹුණු චන්ද්‍රිකා රෙජීමයත්, 2005 ඇරඹුණු රාජපක්ෂ රෙජීමයත්, 2015 ඇරඹුණු මෛත්‍රී-රනිල් ව්‍යාකුල රෙජීමයත් රට ට උගන්වා ඇත්තේ රෙජීම වෙනුවට ආණ්ඩු තැනීමේ වැදගත්කම පිලිබඳ පාඩම ය.

ඉන් උගත යුතු අනෙක් පාඩම නම් සමස්ථ රාජ්‍ය ව්‍යුහයම ඔවුන්ගේ අණසකට සහ පාලනයට යටත් කරන රෙජීම ඇතිවීම වළක්වාලන ප්‍රජාතාන්ත්‍රික නව ජාතික සන්ධානයක් සහ සමාජ ව්‍යුහයක් නිර්මාණය කරගත යුතුය යන්නය. ජනතාව උගත් ඒ පාඩම්වලට උචිත ලෙස කටයුතු කිරීම මහින්ද, මෛත්‍රී, බැසිල්, සම්පන්දන්, ඉමිතියාස්, අනුර ,තිස්ස, ඩිව්, වාසු සහ කුමාර් ලා ගේ වගකීමක් ව පවතින බව පමණක් දැනට සඳහන් කරමි.
ලංකාදීප/20.04.2018
ධම්ම දිසානායක

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.