“ශ්‍රී ලංකාවේ විභාගවලින් මනින්නේ, දරුවන්ගේ බුද්ධිය නෙවෙයි. එයින් මනින්නේ දරුවාගේ ආවර්ජන (recall) හැකියාවයි. ඒකෙන් දරුවෙකුගේ බුද්ධිය හෝ නිර්මාණශීලීත්වය මනින්න බැහැ,” කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා මනෝ වෛද්‍ය විශේෂඥ ස්වර්ණා විජේතුංග පැවසීය.
ඇය එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදීය.
විභාගවලදී අඩු ලකුණු ලබන සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ මුවින් නිරන්තරයෙන් පිට වන වචන කිහිපයකි, ඉහත දැක්වූයේ.
බොහෝ විට එවැනි සිසු සිසුවියෝ දෙමාපියන්ගේ ඇනුම් බැනුම්වලට ලක්වෙමින් දැඩි මානසික පීඩනයන්ට ලක්වෙති.
එවැනි දරුවන් සියදිවි නසා ගැනීමේ ඛේදාන්තයන්ට මුහුණ දුන් පුවත් ප්රවෘත්ති ඔස්සේ අප ඕනෑ තරම් දැක තිබේ.
විභාග අසමත් වෙන්නේ මොළයක් නැති නිසා ද?
මොළය හෙවත් බුද්ධිය මැනීම සඳහා බොහෝ විට සිදු කරනුයේ, විභාග පැවැත්වීමයි. ලෝකයේ සෑම රටක ම විභාග පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය යන කඩඉම් විභාග සෑම වසරක ම පවත්වයි.
ශ්‍රී ලංකාවේ පළමු වසරට ඇතුළත් වන දරුවන්ගෙන් විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලබන්නේ, 14% ක් තරම් සුළු ප්රතිශතයකි.
උදාහරණයක් ලෙස ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2001 වසර සම්බන්ධයෙන් දක්වා ඇති දත්ත අනුව එම වසරේදී පළමු වසර සඳහා දරුවන් 330,385 දෙනෙකු ඇතුළත් කර ඇති අතර එම වසරේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ දරුවන් සංඛ්‍යාව 48061 කි.

එසේ නම්, විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන ඉතිරි 86% ක ප්‍රතිශතයක් නියෝජනය කරන දරුවන් බුද්ධිමත් නොවේ ද?
මෙවැනි විභාගවලින් ජය ගැනීමට අපොහොසත් වන දරුවන් මානසික අවපීඩනයන්ට ලක්ව අධ්‍යාපනයෙන් පළා යන බව අධ්‍යාපනඥයින්ගේ අදහසයි.
“සෑම දරුවෙක් ම බුද්ධිමත්”

විශේෂ ආබාධයක් නොමැති නම් බුද්ධියක් නොමැති කිසිදු දරුවෙකු ලෝකයේ හෝ ශ්‍රී ලංකාවේ නොමැති බව ළමා මනෝ වෛද්‍යවරු පෙන්වා දෙති.
“හැම දරුවෙක් ම බුද්ධිමත්. ඒත් එම බුද්ධිය ක්‍රියාත්මක වීමේදී යම් යම් වෙනස්කම් දක්නට ලැබෙනවා,” මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ළමා මනෝ වෛද්‍ය විශේෂඥ ස්වර්ණා විජේතුංග බීබීසී සිංහල සේවයට පැහැදිලි කළාය.
“සමහර දරුවන් කුඩා කල සිට ම විශේෂ දක්ෂතා දක්වනවා. ඒ දරුවන්ට දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් නිසි උත්තේජනයක් නොලැබුණොත් එම දක්ෂතා විනාශ වෙනවා.”
ඒ වගේ ම කුඩා කාලයේදී දක්ෂතා නොදක්වන දරුවන් පසුකාලීනව ඇති වන පාරිසරික උත්තේජන නිසා ශීඝ්‍රයෙන් සාර්ථකත්වයට පත් වන බවත් ළමා මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.
ඇය පැහැදිලි කළ ආකාරයට දරුවන් පළ කරන දක්ෂතා සියුම්ව හඳුනාගත හැකි ක්ෂේත්‍ර මෙසේය.
- සංවේදනය
- බුද්ධිය
- කායික කුසලතා
- භාෂා හැකියාව
- ආචාර ධර්ම
දරුවෙකුගේ නිර්මාණශීලීත්වය සහ බුද්ධිය තීරණය වන ප්‍රධාන සාධක දෙක වන්නේ, ජානමය සබඳතා සහ පාරිසරික උත්තේජනයයි.

ඇතැම් දරුවන් අධ්‍යාපනයේදී දුර්වලතා දක්වන්නේ ඇයි?
“දරුවන්ගේ දක්ෂතා එකින් එක මතු වෙන්නේ, මලක පෙති දිග හැරෙන ආකාරයටයි. සමහර ඒවා ඉක්මනට මතු වෙනවා. සමහර ඒවා මතු වෙන්නේ කාලයක් ගත වෙලා. ඒක මව්වරුන් ඉතා සියුම්ව තේරුම්ගත යුතුයි,” වෛද්‍ය ස්වර්ණා විජේතුංග පෙන්වා දුන්නාය.
දෙමාපියන් දරුවන්ට උත්තේජන සැපයිය යුත්තේ දරුවන්ට දරා ගන්න පුළුවන් ඉලක්ක වෙනුවෙන් පමණක් බව ඇය සඳහන් කළාය.
“උදාහරණයක් විදියට අවුරුදු 6,7 දරුවන්ට ප්‍රස්ථාව පිරුළු වගේ දේවල් උගන්වන්න හොඳ නෑ. ඔවුන්ට ඒවා තේරුම් ගන්න, සංවේදනය කරන්න බැහැ. දෙමාපියන් සහ ගුරුවරුන් සංවේදනය කළාට වැඩක් නෑ. දරුවාට සංවේදනය කළ හැකි දෙයක් ඉගැන්විය යුතුයි. එතකොට දරුවන් ලෝකය වටහාගෙන නිර්මාණශීලීව වැඩෙනවා.”

දෙමාපියන්ට විශේෂ පණිවුඩයක්
සිය දරුවන් හොඳින් අධ්‍යාපනය ලබා තමන්ට වඩා යහපත් ජීවිතයක් ගත කරනු දැකීම සෑම දෙමාපියෙකුගේ ම සිහිනයකි. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් අනුව දරුවන්ට උත්තේජන සැපයීම දෙමාපිය වගකීමක් බව ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරිය පවසයි.
“කිසි ම දරුවෙක් බුද්ධියෙන් අඩු නැහැ. විභාගවලින් ලකුණු ගත්තෙ නැහැ කියලා ඔවුන්ව අධ්‍යාපනයෙන් ඈත් කරන්න එපා. ඔවුන්ගේ හැකියාවන් හඳුනගෙන ඒ හැකියාවන් ඔප මට්ටම් කරගන්න උදව් කරන්න,” වෛද්‍ය ස්වර්ණා විජේතුංග දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළාය.