ලිංගික අධ්‍යාපනය රටකට අවශ්‍යද?

 

අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත‍්‍රයේ සෙක්ස් යන වචනය වැඩියෙන්ම සෙවූ පිරිස සිටින රට ලෙස අප රට පළමුතැනට පත්වීම මෙකී සාධකයයි. මේ දත්තය පිළිබඳව අනාවරණය වූයේ ගූගල් සමාගම කළ සමීක්ෂණයකදී වූ අතර එහි දෙවැනි තැනට පත්ව සිටිනේනේ ඉන්දියාවය.

එකී වාර්තාව තහවුරු කර ඇති අන්දමට 2012 අපේ‍්‍රල් 15-21 යන කාලයේදී සහ දෙසෑම්බර් 23×29 යන කාලයේදී සෙක්ස් යන වචනය වැඩි වශයෙන් සෙවුම් යන්ත‍්‍රවලට ඇතුළත් කර ඇත. ඒ දත්තයෙන් අනාවරණය වෙන්නේ එසේ වැඩි වශයෙන් ”සෙක්ස්” යන වචනය සෙවුම් යන්ත‍්‍රවලට ඇතුළත් කර ඇත්තේ වැඩි නිවාඩු ප‍්‍රමාණයක් ඇති මාස දෙකකදී බවය. විශේෂයෙන්ම දරුවන්ට පාසල් නිවාඩු ලැබෙන කාල සීමා දෙකකදී බවය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පැපුවා නිව්ගිිනියා, ඉතියෝපියාව, පාකිස්ථානය, බංගලාදේශය, වියට්නාමය, නේපාලය, සෝමාලියාව, කාම්බෝජය ”සෙක්ස්” යන වචනය වැඩියෙන්ම සෙවූ රටවල් අනුපිළිවෙළේ ඇති අතර මේ වචනය වැඩි වශයෙන්ම සෙවූ නගරවැසියන් සිටින නගරය ලෙස ඉන්දියාවේ බැංගලෝරය වාර්තා වෙයි.

ලිංගිකත්වය පිළිබඳව කුතුහලය පිරුණු මනසින් තොරතුරු සහ දර්ශන සොයා යන බහුතරයක් අපි සමාජය තුළ දකින්නෙමු. මේ බහුතරයෙන් වැඩි පිරිස නව යොවුන්විය සහ යොවුන්විය ගතකරන පිරිසයි. පාසල් අධ්‍යාපනය තුළ විධිමත් ලෙස දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබානොදීම, ලිංගකත්වය යන මාතෘකාව පිළිබඳව විවෘත සංවාදයක් ගොඩනැගීම සහ ඒ පිළිබඳව අධ්‍යාපනයක් ලබාදීම තහනම් මාතෘකාවක් බවට පත්කර ගත් කුහක සුචරිතවාදීන්ගේ ප‍්‍රතිපත්ති හා ආකල්ප මත නිර්මාණය වූ සමාජ වටපිටාව මත තම මනදොළ සංසිඳුවාගනු වස් ලිංගිකත්වය පිළිබඳව සොයා යාමට බහුතරයක් තරුණ පිරිස පෙළඹී සිටින බව සඳහන් කිරීම සාධාරණය.
සෞඛ්‍ය අධ්‍යාපනය පාසල් විෂය ධාරාවේ විෂයයක් ලෙස ඇතුළත්කර තිබුණත් එය දරුවන්ට වැදගත් සහ අත්‍යවශ්‍ය විෂයක් ලෙස ඇතැම් ගුරුවරු පවා නොසැලකීිම, එම විෂය සඳහා වූ කාලපරිච්ඡේදය වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා යොදාගැනීම, විභාගයේදී සෞඛ්‍ය අධ්‍යාපනයට අදාළ ප‍්‍රශ්න මූලිකව නොතිබීම ප‍්‍රධාන වෙයි.

අපේ සංස්කෘතික ආකල්ප හා හරයාත්මක පසුබිම මත අධ්‍යාපනික වශයෙන් හෝ ලිංගිකත්වය පිළිබඳව කතා කරන්නට ඇතැම් ගුරුවරුන් පැකිලීම මේ ආදී කරුණු පසුබිම්ව සෞඛ්‍ය අධ්‍යාපනය විෂයයක් ලෙස පැවැති කාල පරිච්ඡේදයේදී පවා නිසියාකාරව දරුවන්ට ඒ අධ්‍යාපන හිමිකම ලබාදීමත් සිදුනොවී ඇත.

එහි ප‍්‍රතිඵලය වූයේ දරුවන් අවිධිමත් මාර්ග ඔස්සේ ලිංගිකත්වය පිළිබඳව කරුණු සොයායාම සහ එසේ සොයායාමට තෝරාගත් මාර්ග විසින් ඒ පිළිබඳව ප‍්‍රායෝගික හැදෑරීම් කරන්නට පෙලඹවීම හේතුවෙන් තම ජීවිත විනාශ කර ගැනීමය.

අධ්‍යාපනය කඩා කප්පල් කර ගැනීමය. අවසානයේ විවිධ ලිංගික අපචාර අපයෝජන සහ අඩත්තේට්ටම්වලට ගොදුරු වීමය.
මෙවන් පසුබිමකදී අපි මේ පිළිබඳව වැඩිදුරටත් කතා කරන්නට අපේක්ෂා කළෙමු.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රනීත් අභයසුන්දර:
අප පාසල් අධ්‍යාපන හැදෑරූ 70 දශකයේ සිටම දරුවන්ට විධිමත් සැලසුමක් සහිතව ලිංගික අධ්‍යාපනය ලබා නොදීමේ ගැටලූව මත නිර්මාණයවූ තත්ත්ව ඇති වී තිබුණි. සැබැවින්ම දරුවන්ට විධිමත් ලිංගික අධ්‍යාපනය ලබාදීම දරුවන්ට ලිංගිකත්වය පිළිබඳව වන කුතුහලය තුරන් කිරීමට මෙන්ම ලිංගිකත්වය සොයා යාමට ඔවුන් භාවිත කරන මාර්ග නිසා ඔවුන් විනාශවීමේ අවදානම තුරන් කිරීමටද හේතුවක් වෙයි.

දියුණු රටවල දරුවන්ට විධිමත් සහ විවෘත ලෙස කුඩා කාලයේ සිටම ලිංගිකත්වය පිළිබඳ පූර්ණ දැනුමක් ලබාදෙයි. අධ්‍යාපනය මත මෙන්ම විවෘත සංස්කෘතික පසුබිමක් සහිත රටවල නිවෙසේදී මව්පියන් විසින්ද දරුවන්ට එකී දැනුම් ලබාදෙනු ලැබේ.
පාසල් අධ්‍යාපනය හා නිවෙසේදී දරුවන්ට ලිංගිකත්වය පිළිබඳව දැනුම ලබානොදුන්නත් සමාජයීය මාධ්‍ය දියුණු තලයක පවතින අද අන්තර්ජාලය ඔස්සේ, ජංගම දුරකථනය මෙන්ම විවිධ වෙළෙඳ ප‍්‍රකාශන ඔස්සේ ද දරුවෝ ලිංගිකත්වය පිළිබඳව සොයා යති.
දැනුම්වත් වීම අවාදනමෙන් ගැලවීමට මගකි. අද දරුවන් අපයෝජනයට දුෂණ ක‍්‍රියාවලට ලක්වීම පිටුපසද ලිංගිකත්වය පිළිබඳව දරුවන්ගේ නොදැනුවත්කම යන සාධකය ගැබ්ව පවතී.

දියණියට ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීමට සිටින ඇගේ හොඳම හා සමීපම මිතුරිය වියයුත්තේ ඇගේ මවය. පුතුට මේ පිළිබඳව අවශ්‍ය දැනුම ලබා දීමට සිටින හොඳම තැනැත්තා ඔහුගේ පියාය. එහෙත් ආවරණ සහිත අපේ සංස්කෘතික නැමියාවන් විසින් රෝපණය කරනුලැබ ඇති ගතානුගතික ආකල්ප වල බලපෑම මෙන්ම කාර්ය බහුලත්වය හා වෙනස්  වන ජීවන රටාව මත මව්පිය දු දරු සබඳතාවේ බැඳීම ලිහිල්වීම යන කරුණු මත දරුවන්ට මව්පියන්ගෙන් එම දැනුම්වත් වීම නොලැබෙයි.

අනෙක් අතට පාසල් අධ්‍යාපනයේදී ද විධිමත් ලෙස එම දැනුම නොදේ. මෙවන් පසුබිමකදී ද කුතුහලයෙන් පිරුණු ළමා මනස තම මිතුරු මිතුරියන්ගේ හා ඒ පිළිබඳව සොයා යන්නට ඇති වෙනත් මාර්ගවලින් ලිංගිකත්වය පිළිබඳව සොයායාම නොවැළැක්විය හැක්කකි.

ලිංගිකත්වය යනු සමාජය තුළ හෝ අධ්‍යාපනය තුළ සඟවා කතා කළ යුතු මාතෘකාවක් නොවේ.
මිනිස් ශරීරය පිළිබඳව, මිනිසා සහ ගැහැණිය අතර ඇතිවන කායික බැඳීම් පිළිබඳව විවෘතව කතාකිරීම සිදු නොවිය යුත්තක් හෝ අශිලාචාරකමක් නොවේ. අවිධිමත් ලෙස සොයා යාම අවදානම් සහගත වෙන අතර විධිමත් ලෙස අධ්‍යාපනාත්මකව එය ලබාදීම දරුවන්ගේ සුරක්ෂිතතාව පිණිස හේතුවෙයි.

මේ නොදැනුවත් බවද නිසාම හා අනවබෝධය දුෂ්කර ප‍්‍රදේශවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට කොළඹට පැමිණෙන දරුවන් අපරාධවල ගොදුරුබවට පත්වෙයි. ලිංගිකත්වය පිළිබඳව ලියැවුණු හොඳ පතපොත ඇත. ඩෙස්මන්ඞ් මොරිස් නම් කතුවරයාගේ පොතපත කියවූ මනුසත් උයන, නිරුවත් වානරයා, නිරුවත් ගැහැනිය වැනි ලිංගිකත්වය පිළිබඳව ලියැවුණු උසස් පොත් පරිශීලනය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පිරිස ඉතා අල්පය.

අද ඇතැම් මාධ්‍ය සමාජ වගකීම අමතකකර හෝ සෙක්ස් යන වචනය විකුණාගෙන කන වටපිටාවක් නිර්මාණය කර ඇත. සෙක්ස් යන්නට අද හොඳ වෙළෙඳපොළක් සහිත දෙයක් බවට පත්ව ඇත.

පාසල් ගරුවරුන්ගේ සිට විශ්ව විද්‍යාල ගුරුවරයා දක්වාම බහුතරයක් ගුරුවරු ලිංගිකත්වය පිළිබඳ කාරණාවේදී සම්ප‍්‍රදායික ආකල්ප මත සිරවී සිටිතිි. යහපත් සමාජ පාලන ක‍්‍රම සමාජයට අවශ්‍ය වේ. එහෙත් එකී සමාජ පාලන ක‍්‍රම අප ලෝකයේ වෙන්කරන කඩඉම් බවට පත් නොවිය යුතුය. ආදරයෙන් හා කරුණාවෙන් අපටද දරුවන් වෙත සියල්ල ඉගැන්විය හැකිය. ලබාදිය හැකිය. කළ යුත්තේ එයයි.

ජාතික අධ්‍යාපන ආධිතනයේ  අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර
ලිංගිකත්වය පිළිබඳව දරුවන් දැනුම්වත් කිරීම කළයුතුයි. එහෙත් එය කළ යුත්තේ ඉතා විධිමත්ව නිසි සැලසුමක් මතයි. දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී එය ලබාදිය යුතු මට්ටම හා සීමාව, එය ලබාදිය යුත්තේ කෙසේද යන්න නිවැරදිව තීරණය කළ යුතුයි. එමෙන්ම මේ ගැන සමාජයීය වශයෙන් පොදු සම්මුතියක් සමාජය තුළ තිබිය යුතුයි.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලාබදිය යුත්තේ ළමා මනසට ගැළපෙන පරිමාණයෙන්ය. සෞඛ්‍ය අධ්‍යාපනය විද්‍යාව යනවිෂය ධාරාව ඔස්සේ දරුවන්ට විධිමත් ලෙස මෙම අධ්‍යාපනය ලබාදෙනවා නම් එය දරුවන්ට ඉතා සාමාන්‍යකරණය වූ මාතෘකාවක් බවට පත්වෙයි.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවට මෙහිදී විශාල කාර්යභාරයක් හිමිවෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන විශේෂඥයන් ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබාදීම පිළිබඳව ප‍්‍රතිපත්ති නිර්මාණයේදී මූලික විය යුතුයි. දරුවන් පිළිබඳව වගකීමක් දරන සියලූ අංශ මේ පිළිබඳව පොදු මතයකට හා ස්ථීර ප‍්‍රතිපත්තියකට එළඹිය යුතුයි. ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී එය අනර්තර්ගත කළ යුතු විෂය ධාරාවේ යෝග්‍ය තැන කුමක්ද තීරණය කළ යුතුයි.

අද ලංකාවේ දිනකට ගබ්සාවීම් 1000ක් පමණ සිදුවෙන අතර ඒ පිරිසට පාසල් ශිෂ්‍යාවෝද ඇතුළත් වෙති.
දරුවන්ගේ මනසට ගැළපෙන, යෝග්‍යවෙන අයුරින් ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නේ නම් දරුවන් ලිංගිකත්වය පිළිබඳව කුතුහලය පිරුණු මනසින් ඒ පිළිබඳව සොයා යන්නේවත් එහි ගොදුරු බවට පත්වී ජීවිතය අඳුරට ඇද දමාගන්නේවත් නැත. අවදානමෙන් බේරී සිටීමටත් සමාජයීය ගොදුරු බවට පත්නොවී සිටීමටත් විධිමත් ලිංගික අධ්‍යාපනය ඉතා වැදගත් වෙයි.

අද විවිධ හේතු නිසා මව සහ දියණිය, පුතා සබඳතාව බොහෝ සෙයින් පලූදු වී ඇති අතර ඒ සබඳතාව ශක්තිමත් වීමද දියණියකගේ සුරක්ෂිතතාවට ඉතා වැදගත්ය. සැබවින්ම පාසල මගින් ලබාදෙනවාටත් වඩා විධිමත් ලිංගික අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමට මව්පියන්ට කළ හැකිය. ඒ සඳහා දරුවන් හා මවුපියන් අතර හොඳ සංවාදයක් තිබිය යුතුය.ජාතික අධ්‍යාපන ආයතනය මේ පිළිබඳව තනි තීරණයක් ගත නොහැකිය. ජාතික අධ්‍යාපන ආයතනයට කළ හැක්කේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව දෙන නිර්දේශ, උපදෙස් හා ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමය. මේ පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ප‍්‍රතිපත්ති තීන්දු ගන්නේ නම් ඒවා ක‍්‍රියාත්මක කිරීම අපට කළ හැකිය. මෙය අත්‍යවශ්‍ය බව අපි පිළිගනිමු.

සංජීවිකා සමරතුංග

http://www.lankadeepa.lk/features/%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85%E0%B7%9A-%E0%B6%87%E0%B6%BA%E0%B7%92/2-90926

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.