රොෂේන් ශානක ඝාතන සිද්ධිය – පොලිසිය රටේ ව්‍යවස්ථාවත් කඩලා

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් පසුගිය 2011 වසරේ මැයි මස දියත් කළ උද්ඝෝෂණය මැඩලීමට කටයුතු කිරීමේදී ‍පොලීසිය දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය ,‍පොලිස් අඥාපනත මෙන්ම රටේ ව්‍යවස්ථාවද උල්ලංඝනය කර ඇති බව එම සිද්ධිය පිළිබඳ සොයා බැලූ  හිටපු මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාව අවධාරණය කර ඇත.වෙළෙඳ කලාප සේවක රොෂේන් චානක මහතාට මරු කැඳවමින් තවත් සේවක සේවිකාවන් රැසකට බරපතළ තුවාල කළ මෙම සිදුවීම් මාලාවට අදාළ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරීන්ට හා අනෙකුත් ‍පොලිස් නිලධාරීන් පිළිබඳව ඔවුනගේ තනතුරු හා අනෙකුත් කරුණු නොසලකා නීතිය මගින් කටයුතු කළ යුතු බවද මහානාම තිලකරත්න කොමිෂන් වාර්තාව නිර්දේශ කර ඇත.
මහානාම තිලකරත්න කොමිෂන් වාර්තාවේ අඩංගු තොරතුරු පිළිබඳව හෙළිදරව් කිරීම සඳහා නිදහස් වෙළෙඳ කලාප සහයෝගිතාව විසින් ඊයේ (17) සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය විය. මෙම කොමිෂන් වාර්තාව පසුගිය 13 දින රොෂේන් චානකගේ මව වන මේරි ස්වර්ණා කාන්ති මහත්මියට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී ඇත.
මෙම සිදුවීමේදී බරපතළ තුවාල ලත් සියලුදෙනා වෙත ප්‍රමාණවත් වන්දි ලබාදීමටද කොමිෂන් වාර්තාව නිර්දේශ කර ඇත.
රොෂේන් චානකගේ මරණයෙන් වසර හයකට පසුව, ඒ පිළිබඳ විමර්ශන සිදුකළ මහානාම තිලකරත්න කොමිසමේ වාර්තාව මේ වනවිට නිකුත් කර ඇති අතර එහි නිගමන හා නිර්දේශ සැකෙවින් මෙසේය.
බරපතළ තුවාල හා කැඩුම්බිඳුම් සමගින් රෝහල්ගත කරන ලද සියලුදෙනා සඳහා ප්‍රමාණවත් පරිදි වන්දි ලබාදීමටත්, ඔවුන්ට තව දුරටත් දඬුවම් ලබා නොදෙන ලෙසත් මම යෝජනා කරමි. ජලය විදීමට වැනි සුදුසු පහසුකම් සලසා තිබුණේ නම්, මෙම තත්ත්වය වළක්වා ගැනීමට තිබුණි. හුදෙක් ගල් ගැසීමෙන් ‍පොලිස් නිලධාරීන් 22 දෙනකුට පමණක් තුවාල සිදුවීම, කිසිම ආකාරයකින් බලවත් ‍පොලීසිය නීතිය සියතට ගැනීමට සහ ම්‍ලේච්ඡ ක්‍රියාකාරකම්හි නියැලීමට බලයක් නොදෙයි.
‍පොලීසිය විසින් ප්‍රධාන ගේට්ටුව වසා තැබිම නිසාවෙන් තුවාල වූ සහ කොටු වී  සිටි සේවකයන් එළියට ගැනීමට තාප්ප කඩා ඇතුළු වූ ගම්වාසීන් වඩාත් ශිෂ්ට සම්පන්න වූහ.
අවසාන සොයා ගැනීම වනූයේ සමහර සේවකයන් විසින් ප්‍රකාශ කළ පරිදි “මෙවන් ආකාරයේ සිදුවීම් නැවත සිදු නොවේවා” යන්නයි. ඉස්මතු වන්නේ සහ ගමේ හා බුද්ධිමතුන් අතර ‍පොදු කථාව වනුයේ ආණ්ඩුව සිද්ධිය පිටුපස සිටි බවයි. මා ඉදිරියේ එවන් ආකාරයේ සාක්ෂි ඉදිරිපත් වූයේ නැත.
වෘත්තීය සමිති අතර එදිරිවාදිකම් ඇත. ඇන්තනී මාකස් උද්ඝෝෂණයකට නායකත්වය දුන් අතර කිසිවක් සිදු වුණේ නැත. සේවකයන් අතර අවශ්‍ය අවබෝධය සඳහා ආයෝජන මණ්ඩලය නිසි අවස්ථාවේදී මැදිහත් වී නැත. ඇමැතිවරයාගේ කතාවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මුද්‍රණය කරන ලද අත්පත්‍රිකා බෙදා හැරීමෙන්, ඇමැති ලොකුගේ විසින් කළ ‍පොරොන්දුව පිළිබඳව සේවකයන්ගේ විශ්වාසනීයත්වය පළුදු කළේය.
මූලික අයිතිවාසිකම් පිළිබඳව ‍පොලීසිය දැනුවත් කළ යුතුය. නිදහස් වෙළෙඳ කලාපීය සේවකයන් රටට විශාල මුදල් ප්‍රමාණයක් ගෙන එති. ‍පොලීසිය විසින් දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය, ‍පොලිස් ආඥාපනත සහ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත. අවම වශයෙන් වෙඩි තැබිමෙන් පසුව හෝ, ‍පොලීසියට අශිෂ්ටසම්පන්න හැසිරීම නැවැත්වීමට තිබුණි. වාග් ප්‍රහාරයන්, හා ලී ‍පොලු, යකඩ ‍පොලු, යකඩ දම්වැල්වලින් සිදු කළ පහරදීම් මෙන්ම, ආරක්ෂක නිලධාරියෙකුට අයත් රත්තරං මාලය හා මුදල් පැහැර ගැනීම ආදිය නීතිගරුක පුරවැසියන්ට සැලකිල්ලට ගත යුතු කරුණුය.
ආණ්ඩුවේත්, ජනාධිපතිතුමන්ගේත්, රටේ හා ‍පොලිස් බලකායේත් ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට නම්, එහි සිටි සියලුම ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අනෙක් ‍පොලිස් ස්ථානයන්හි නිලධාරීන් පිළිබඳව ඔවුන්ගේ තනතුරු හා වෙනත් කරුණු නොසලකා ක්‍රියාකළ යුතු වන්නේය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.