රුපියල් කෝටි 800ක පොදු දේපළ වංචාවක්!

අධිරාජ්‍යවාදී පාලනය නිමා වූ පසුව සුද්දා රට දමා ගියේය. බ්‍රිතානය ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සිංහලයාගෙන් කොල්ලකාගත් වතු අක්කර දහස් ගණන් එහිදී හැකි පමණින් මෙරට ධනපතියන්ට විකුණා දැමිණි. ඒ අනුව වැවිලි වතුවල වූ බංගලා , ඉස්ටෝරු ස්වදේශිකයන්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වන්නට විය. කෙසේ නමුත් නිෂ්පාදන නතර වූ ඉස්ටෝරු වැසී යන්නට විය. බොහොමයක් ඉස්ටෝරු වැසී යාම වඩාත් වේගයෙන් සිදු වූයේ මෑත භාගයේදීය.

මේ මොහොත වන විටත් සුද්දා ගෙඩිය පිටින් ඉතිරි කර ගිය බොහොමයක් ඉස්ටෝරුවල කුස්තුර ගැලවෙමින් තිබේ. ඒ අතරින් ගැලවූ සහ ගලවමින් තිබෙන ඒ, ඉස්ටෝරු කිහිපයක් පිළිබඳව තතු හෙළිවන්නේ සබරගමුවෙනි.

දෙහිඕවිටෙන් හැරී දැරණියගල පාරේ යන විට හමුවන ඩෙන්ස්වර්ත් වත්ත, මහඔය වත්ත, නාහෙල්ම වත්ත, රූකාසල් වත්ත, සහ උඩබාගේ වත්ත මේ ඉරණමට මෑතකදී මුහුණ දුන්න ඉස්ටෝරුවේ. මීට අමතරව දෙහිඕවිටෙන් ඇහැලියගොඩ පාරේ කිලෝමීටර් 5ක් පමණ යන විට හමුවන වුඩන් වත්තද මෙකී ඉරණමට මුහුණදී තිබේ.

මීට අමතරව ගලවා අවුරුදු 10 ක් ද 12ක්ද යනුවෙන් නිශ්චිත කාලවකවානුවක් කිව නොහැකිව ඇති ඒ ප්‍රදේශයේම පිහිටි නහල්මා වත්ත රබර් කර්මාන්තශාලාව සහ මල්දෙණිය වත්තේ පිහිටි තේ කර්මාන්ත ශාලාවල අද එවැන්නක් පිහිටි බවට සළකුණක්ද නොමැති තරම්ය.

ගලවා ඉවත් කිරීම් සම්බන්ධව මෑතකාලීනව වඩාත් කතාබහට ලක්වූ ඩෙන්ස්වර්ත් වත්ත, රූකාසල් වත්ත,වුඩ්න් වත්ත, සහ මහඔය යන වතුවලට අදාළ ශිර්ෂගත රබර් කර්මාන්ත ශාලා වරින් වර සංශෝධිත 1972 අංක 01 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 66 සහ 42 (ඕ) වගන්ති සමඟ කියවෙන 3(2) සහ 42(අ) වගන්තිය ප්‍රකාරව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වූ දේපලක් වන අතර. එහි පරම අයිතිකරු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වේ. ඒවායේ පාලනය ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු වන්නේය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් තම ආයතනයේ පාලනයට යටත් වූ මෙම වතු බොගවන්තලාව වැවිලි සමාගමට බදුදෙන්නේ 1996 දීය. මෙකී වතු අතරින් ඩෙන්සවර්ත් වත්ත 1996 අගොස්තු මස පස්වැනි දින බොගවන්තලාව වැවිලි සමාගමට ලැබෙන්නේ වසර අවරුදු 53කට යටත්වය. මෙකී කාලසීමාව තුළදී වැවිලි සමාගම විසින් වාර්ෂිකව ගෙවිය යුතු බදු මුදල රුපියල් 500 ක් බවද අදාළ ගිවිසුමේ සඳහන් වේ.

එනම් අක්කර 3000කට වැඩි ප්‍රමාණයකට මෙම සමාගම බදු ලෙස ගෙවන්නේ රුපියල් 3000කට ආසන්න ප්‍රමාණයකි. එනම් අක්කරයකට වසරක බද්ද රුපියලකට අඩුය.

කෙසේ නමුත් බොගවන්තලාව වැවිලි සමාගම විසින් පසුව ඩෙන්ස්වර්ත් වත්ත ඇතුළුව ඉහත නම් කළ වතු යළිත් සී/ස ලාලාන් සමාගමට ලබාදෙන්නේද කාලසීමාවකට යටත්වය. ඒ අනුව මෙකී වතුවල වත්මන් කළමානාකාරිත්වය දරණු ලබන්නේ ලලාන් සමාගම විසිනි.

කරුණු එසේ තිබියදී ලලාන් වතු සමාගමේ වතු අධිකාරින් සහ ඔහුගේ සේවක නියෝජිත ආදීන් නීති විරෝධී සහ සාවද්‍ය ලෙස ශිර්ෂගත කර්මාන්ත ශාලාවල වටිනා යන්ත්‍රොපකරණ සහ අනෙකුත් දෑ ඉවත් කරමින් සිටී. මෙවන විට එසේ කර්මාන්තශාලා 4කට වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම ගලවා ඉවත්කර විකුණා ඇත. අනෙක් කර්මාන්තශාලා තුනේද යන්ත්‍ර සුත්‍ර මේ වන විටත් විකුණා දමා සහ ඉවත්කරමින් සිටී. විශේෂයෙන් මේ වන විට මෙම ජාවාරමේ 8 වන බිල්ල ලෙස පඹේගම වත්තේ රබර් කර්මාන්තශාලාව ගලවා ඉවත්කරමින් සිටී.

ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ පිහිටවූ සංස්ථාපිත මණ්ඩල ආයතනයක් වන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉහත කී දේපලට එකී ලලාන් සමාගම විසින් සිදුකර ඇති අනර්ථය රජයේ පොදු දේපළ පනතින් ආවරණය වන අපරාධ ක්‍රියාවක්ද වේ. එනම් මේ වන විට නීතිය ක්‍රියාත්මක වුවා නම්, අදාළ වතු සමාගමේ වතු අධිකාරී සහ ඔහුට උපදෙස් දුන්නා යයි කියන ඉහළ කළමනාකාරීත්වය අත්අඩංගුවේ පසුවිය යුතුය.

මේ සම්බන්ධව පාර්ශවයක් කිහිපයක් විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පෞද්ගලිකවම පැමිණ පැමිණිලි කර ඇති නමුත් ඉන් එක් පැමිණිලිකාර පාර්ශ්වයක් පවසන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පාලනාධිකාරියට මේ කර්මාන්තශාලා තබා තම පාලනය යටතේ පවතින (බදු දී ඇති) වතු පිළිබඳවවත් අවබෝධයක් නොතිබූ බවය.

මුල් අවස්ථාවේ චේතනාන්විතවම අදාළ ආයතන තොරතුරු සැඟවූ බවට පැමිණිලිකරුවන පවසයි. කෙසේ නමුත් අදාළ පැමිනිලිකරුම මේ සම්බන්ධව ආරක්ෂක ලේකම්තුමාට පවා මේ වන විටත් පැමිණිලි කර ඇත. ඒ අනුව ආරක්ෂක ලේකම් තුමාගේ මැදිහත් වීම මත නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ විය. කෙසේ නමුත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ඔවුන්ගේ පියවරයන් ආරම්භ කරද්දී එකී කර්මාන්තශාලාවල යන්ත්‍ර සුත්‍ර ඇතුළු ගලවා ඉවත් කිරීම අවසානව තිබුණි. අදාළ සියලු කර්මාන්තශාලා තට්ටු 4 කින් යුතු විශාල ප්‍රමාණයේ කර්මාන්තශාලා වන අතර එවැනි කර්මාන්තශාලාවක දළ වටිනාකම ලක්ෂ 30000 කට වඩා වටිනාකමකින් යුක්තය. එහි වූ එක් යන්ත්‍රයක් ටොන් 10 ත් 15ත් අතර වන අතර ඒවා වසර 100 කට වඩා පැරණි ඉතා ශක්තිමක් සහ පෞරාණික වටිනාකමකින් යුතු වන සේම එවැනි යන්ත්‍ර 14ක් පමණ එක් කර්මාන්ත ශාලාවක ඇති බව කියවේ.

මීට අමතරව අක්කර 700 කට වැඩි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් කිසිඳු බදු දීමකින් තොරව ලලාන් සමාගම භුක්ති විඳින අතර මල්දෙනිය වත්තේ පමණක් අක්කර 300කට වැඩි ප්‍රමාණයක් මීට අයත්වේ. මේ අක්‍රමික ලෙස භුක්ති විඳින්නේ සහ භුක්ති විඳීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම අක්‍රමික ලෙස ඉඩ හසර ලබාදී ඇත්තේ රජයට විශාල ආදායමක් ලබා ගත හැකි ඉඩම් සම්පතක් වේ.

අක්කර දස දහසකින් යුතු වතුවල ඇති ස්වභාවික දිය සීරාවන් විශාල සංඛ්‍යාවකි. ඒ දෙපස වූ බඳ අඩි විස්ස තිහ පමණ වූ රූස්ස ගස්ද මෙකී වතු සමාගම විසින් කපා දමා සල්ලි කරන්නේ කාලයක සිටය. ස්වභාවික පරිසරය පිළිබඳව තඹ දොයිතුවකට මායිම් නොකරන මෙකී වැවිලි සමාගම් වතු වල සල්ලි කළ හැකි සියල්ල ඔවුන්ගේ ග්‍රහණයට නතුකර තිබේ. එමනිසාවෙන් අදවන විට මෙම ජළ පෝෂක සිදී ගොස්, ගංගා ප්‍රේරක කලාප වැනසී වටිනා හරිත පැහැයෙන් බැබලුන වතු කාන්තාර බවට පත්වෙමින් තිබේ. එසේම මෙසේ කපා විකුණන විශාල ගස් රුපියල් 75,000 කට වැඩි වටිනාකමකට විකුණන අතර එසේ ගස් කපා විකිණීමට අවශ්‍ය කිසිඳු නිසි අවසරයක් ලබා නොගනී.

මල්දෙනිය වත්තේ පිහිටි වන රක්ෂිතය එවක අක්කර 300කට ආසන්න වූ අතර, අදවනවිට එම රක්ෂිතය කපා අක්කර 100කට වඩා අඩුකර ඇත. එවක සුද්ද ජලපෝෂක ලෙස නම්කර වෙන්කර තිබු එම භුමිය අද වන විට ලලාන් සමාගම කෘර ලෙස විනාශ කර ඇත. මේවා සියල්ල සිදුවන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සිතාමතා තම රාජකාරිය පහර හැරීම මතය. එසේ නොමැතිනම් වෙනත් වරධාන වරප්‍රසාද ඉදිරියේ නිශ්ශබ්දතාවය රකින නිසාවෙනි. එබැවින් අප පුන පුනා කියන පරිදි මෙම ආයතනය නිකම්ම සුදු අලියෙකු පමණි.

මෙම සුන්දර වතු යායවල් වැනසීමට එරෙහිව හෝ ඒවායේ දේපල විකුණා සොරකම්කිරීම ඉදිරියේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිහැඬියාව ඉතාම ප්‍රශ්නකාරීය. ඔවුන් මේ නිහඬව සිටින්නේ ජනතා දේපල කොල්ලකමින් සිටින බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් සිටින විටය.

මෙසේ ගලවන කර්මාන්තශාලාවල යන්ත්‍ර සුත්‍ර අතුළු සියල්ල ඉන්දියාවට අපනයනය කරන බවට තොරතුරු වාර්තාවේ. එම සෑම ෆැක්ටරියකටම අකුණු සන්නායක දෙකක් ඇති අතර මෙම අකුණු සන්නායකයක් ලක්ෂ 2000 ට වඩා වෙළෙඳපොළේ විකිණේ. මෙම අකුණු සන්නායකවල අඩි 10. 12 යටින් ඇති බ්‍රිතාන්‍ය ලාංචනය ඇති තඹ තැටියේ බැඳෙන එක්තරා පල්ප් එකක් ඇති අතර එය අකුණු හෝ මිසයිල වැනි යුධ උපකරණවල ආරක්ෂණ පද්ධතිවලට පාවිච්චි කරයි. එයට ඇමරිකාවෙන් සහ ජර්මනියෙන් විශාල ඉල්ලුමක් ඇති අතර ලංකාවේ ඇති වතු සියල්ලේම පාහේ තිබු මෙම අකුණු සන්නායක මෙසේ ඉඩම් ප්‍රතිසංස්කරන කොමිසමෙන් බදු දුන් සමාගම් විසින් විකුණා ඇත.

මෙය ලංකාවේ බොහෝ මහා පරිමාන සොරකම් හා සමාන සොරකමකි. . අද මෙවැනි කර්මාන්තශාලා සෑදීම කිසිසේත්ම කළ නොහැක්කක් ව ඇත. කුඩා තේවතු සංවර්ධන අධිකාරියෙන් පවා සාදන කුඩා කර්මාන්තශාලාවක් සෑදීමට වියදම ලක්ෂ 25000 කට ආසන්න වැයවෙන බව කියවේ. ඒ ඉහත සඳහන් බ්‍රිතාන්‍යයන් විසින් සාදන කර්මාන්තශාලාවලින් හතරෙන් එකක් පමණ වන කර්මාන්තශාලා වේ.

වර්තමාන ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ පාලනාධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක මහතකු ඉහතකී වැවිලි සමාගමක වතු අධිකාරීවරයෙකු ලෙස කටයුතු කර ඇත්තෙකු බවට වාර්තා වන අතර, එබැවින් මෙම සුවිශාල වංචාව සම්බන්ධව කරන ලද පැමිණිලිවලට අදාලව නිසි පියවරයන් හෝ කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බවට වාර්තා වේ. එසේම මෙකී ඉඩම් සහ දේපල වල පරම අයිතිකරු වන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මෙම වංචාව ඉදිරියේ දක්වන අලස බව සහ එහි පාලනාධිකාරියේ මුල් අවස්ථාවේ තිබු උනන්දුවත් පසුකාලීනව අදාල පරීක්ෂණ මන්දගාමීවීමත් තුළ මෙම වංචාසහගත දේපළ සොරකම යටගැසීම වෙනුවෙන් එහි චුදුත පාර්ශව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ යම් යම් නිලධාරීන් මිලදී ගේන ඇත්දැයි යන සැකය මතුවේ.

අදටත් තමන්ගේ වතු නිවාස පේලියේ කෙසෙල් පැලයක් සිටුවීමට, වැසිකිලියක් සැකසීමට පවා අනුමැතීන් විශාල ප්‍රමාණයක් ගැනීමට මෙම වතු නිවැසියන්ට සිදුවේ. එසේම බට කෑල්ලක් කර්මාන්තශාලවකින් තමන්ගේ ජල අවශ්‍යතාව සපුරාගැනීමට ගත්තද රජයේ දේපලක් සොරා ගත්තැයි වතු නිවැසියන්ට පොලීසියේ තපින්නට සිදුවූ අවස්ථාද ඇති නමුත් පොදු දේපළ ගෙඩි පිටින් සොරා ගත මෙවැනි මහා පරිමාන කොල්ලකරුවන් කිසිඳු පරීක්ෂණයකට හෝ දඬුවමකට යටත් නොවී නිදහසේ තම කොල්ලය කරගෙන යාම රට මුහුණදෙන අවාසනාවන්ත තත්වයකි.

මෙම කරුණු සම්බන්ධව අවිස්සාවේල්ල පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් සිදුකරමින් පවතී නමුත්, අදාළ විමර්ශනය සිදුකළ නිලධාරීන් මාරුවී හෝ මාරුකර යැවීමත් සමග එම විමර්ශන අඩාල වී ඇති බවට වාර්තා වේ. එසේම දකුණු පළාත නියෝජනය කරන මෙම සමාගම් හා බද්ධව කටයුතු කරන ඇමැතිවරයකුගේ බලපෑම මත එකී පරීක්ෂණ යටගසා ඇති බවටද තොරතුරු ලැබෙමින් පවතී.

ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ඇරඹි ඉහත පරීක්ෂණය නැවත සක්‍රීය කළ යුතු අතර, ඉඩම් ප්‍රතිසස්කරන කොමිසම හදිසියේ වැටී ඇති තද නින්දෙන් අවධිවිය යුතුය. තවද, මෙම ජාතික සම්පත් විනාශය සහ පෞරාණික දේපල වංචාව සම්බන්ධව ජනාධිපතිතුමාගේ ඉක්මන් අවධානය යොමුවේ යයි අප බලාපොරොත්තු වෙමු !

 

ජයන්ත විජේසිංහ (0777771348)

කැඳවුම්කරු – වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.