රක්‍ෂිතයේ ගස් මහණ කරයි

ශ්‍රී ලංකාවට බලපෑ ගංවතුර හා නායයාම් තත්ත්වයන් මේ වන විට කමෛන් පහව යමින් ඇත. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා රජය ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය වී ඇත්තේ එම ආපදාවන් හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල ජනජීවිතය යළි නගා සිටුවීම හා අනාගතයේ එවැනි විපත් සිදුවීම අවම කරලීමට අදාළ පියවරයන් ගැනීමය.
මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදීද වැඩි වශයෙන්ම කතාබහට ලක්වූයේ රජය ඉදිරියේ ඇති මෙම අභියෝගයන් පිළිබඳවය. කාලගුණික ආපදා හේතුවෙන් විනාශයට පත් ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතුවලට මෙන්ම විපතට පත් ජනතාවට සහන ලබාදීම සඳහා තවත් අති විශාල මුදලක් වැයවනු ඇත. ඒ අනුව එම කටයුතු සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය අරමුදල් එක්රැස් කර ගැනීමට, විශේෂ ආධාර සමුළුවක් පැවැත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අරමුණ විය.
මෙම ආධාර සමුළුව මෙරට පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක, මුදල් අමාත්‍ය මංගල සමරවීර හා විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන්ට භාරදීමටද ජනපතිවරයා මෙහිදී කටයුතු කළේය.
කෙසේ වෙතත් මේ අවස්ථාවේදී විදේශ අමාත්‍යවරයා මේ වැඩ පිළිවෙළට යම් සංශෝධනයක් යෝජනා කළේය.
“අපි මේ ආධාර සමුළුව පවත්වන්නට පෙර රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වඩාත් යෝග්‍ය නොවේද?” යැයි රවි කරුණානායක මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
කෙසේ වෙතත් කරුණානායක මහතාගේ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ. මෙවැනි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම හරහා රටේ ආර්ථිකයේ විවිධ කොටස් වෙත අහිතකර බලපෑම් එල්ලවිය හැකි බව කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනකුගේ මතය විය.
විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට මෙය අහිතකර ප්‍රතිඵල උදා කරනු ඇති බව අමාත්‍යවරු කිහිපදෙනෙක්ම මෙහිදී අවධාරණය කර සිටියහ.
ඒ අනුව මෙම ආධාර සමුළුව පැවැත්වීමට අදාළ යෝජනාව සකස් කිරීමේ කටයුත්තද අමාත්‍යවරුන් කිහිප දෙනකුට පැවැරීම ජනපතිවරයා පියවර ගත්තේය. යෝජනාවට අදාළ දළ සැලසුමක් පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට ගැනුණු අතර යෝජනාව සම්පූර්ණකොට අදාළ රටවල් වෙත යොමු කිරීමටද තීරණය කෙරිණ.
මේ පිළිබඳව මෙරට විදෙස් තානාපතිවරුන් සමග සාකච්ඡා කර ඔවුන් දැනුවත් කරන ලෙස මෙහිදී ජනපතිවරයා රවි කරුණානායක මහතාට දැනුම් දුන්නේය.
“මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සිටියේ නොසතුටකිනි. ඔහු රැස්වීමේ ආරම්භයේදීම “නෝක්කාඩුවක්” ඉදිරිපත් කළේය.
“බලන්න, මගේ කැබිනට් පේපර් එකක් හොරෙන් පිටවෙලා. මේක හරිම ප්‍රශ්නයක්. ඒක නිසා ඒ පේපර් එක මම ඉල්ලා අස්කර ගන්නවා. මම අලුතින් ඒ කැබිනට් පේපර් එක ආයෙමත් ඉදිරිපත් කරන්නම්” යැයි බදුයුදීන් මහතා ජනපතිවරයා වෙත පැවැසීය. බදුයුදීන් මහතා පවසන අන්දමට මෙසේ “හොරෙන් පිටව” ඇත්තේ ලංකා ඛනිජ වැලි සමාගම පුද්ගලීකරණය කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවයි.
“මම අලුත් එකක් අගමැතිවරයා ඉන්න ආර්ථික කළමනාකරණ කමිටුවටද ඉදිරිපත් කරන්නම්” යැයි මෙහිදී බදුයුදීන් මහතා පැවැසීය.
ලක්ෂ්මන් යාපා රාජ්‍ය අමාත්‍යවරයාගේ කාමර අර්බුදයද තවම විස¼ඳී නොමැත. මේ ගැටලුව හේතුවෙන් ඔහු තම නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමද ප්‍රමාද කරමින් සිටී. කබිර් හෂීම් අමාත්‍යවරයාගේ කාමරයේම කොටසක් භාවිතා කිරීමටද ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා කිසිසේත්ම සූදානම් නැත.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ වන විට තමාට කාර්යාලයක් නොමැතිවීම හේතුවෙන් මාතරටම වී කාලය ගත කරන්නට තීරණය කර ඇත. අබේවර්ධන මහතාගේ කාර්යාල ගැටලුව මේ වන විට සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අභ්‍යන්තරයේ දේශපාලන ගැටලුවක් දක්වා වර්ධනය වන බවක්ද දක්නට ඇත.
මේ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමා මාතරට ගොස් ලක්ෂ්මන් යාපා මහතා හමුවන බව කැබිනට් මාධ්‍ය හමුව අවසානයේ මාධ්‍යවේදීන් සමග පැවැති කතාබහකදි දයාසිරි ජයසේකර මහතාද සඳහන් කළේය.
මේ අතර මෙම මතුව ඇති ගැටලුව පිළිබඳව කබිර් හෂීම් අමාත්‍යවරයාද පසුගියදා ජනාධිපතිවරයා වෙත තම නොසතුට පළ කළේය. ඒ අනුව ඉදිරියටත් මෙම කාමර ගැටලුව සාමකාමීව විසඳා ගැනීමට නොහැකි වුවහොත්, ලක්ෂ්මන් යාපා මහතාට වෙනත් අමාත්‍ය ධුරයක් හෝ තනතුරක් ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇත.
අතුරලියේ රතන හිමියෝද පසුගිය දිනවල ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදු කළහ. තමන් ඇතුළු පිරිස විසින් සිදු කළ දේශපාලන පරිවර්තනයෙන් රටට කිසිම වැඩක් වන බවක් පෙනෙන්නට නැති බවත්, තිබූ සිහින බලා‍පොරොත්තු සියල්ලම කඩා වැටී ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළහ.
රතන හිමියන්ගේ ක්‍රියාකලාප හා පළ කරන මෙවන් අදහස් සම්බන්ධව විනය ක්‍රියාමාර්ගයන් ගැනීමට ජාතික හෙළ උරුමය පසුගිය දිනවල තීරණය කර තිබිණ. නමුත් ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේද සහයෝගය රතන හිමියන්ට මේ වන විට ලැබෙමින් පවතින බැවින් එම විනය ක්‍රියාමාර්ග යට යන බවක් දක්නට ඇත.
අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුක්තවූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වත්මන් රජය බිහිකරලීමෙහිලා විශාල කාර්ය භාරයක් ඉටු කළේය. නමුත් මේ වන විට එහි නායකයින්ද සිටිනුයේ තරමක කලකිරීමකිනි. තම සංවිධානයේ අදහස්වලට ආණ්ඩුව කන් නොදෙන බවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වත්මන් නායකයෝ මැසිවිලි නගති. මේ මස 29 දිනට සෝභිත හිමියන්ගේ උපන් දිනය යෙදී තිබුණද ඒ වෙනුවෙන් පින්කමක්, උත්සවයක් පැවැත්වීමට හෝ රජය මතෛක් කිසිදු සැලසුමක් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කනස්සල්ලෙන් පසුවේ.
මේ අතර මේ වන විට රජයේ වැඩපළිවෙළ අනුමත නොකරන තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට” සමාන නව ජාතික ව්‍යාපාරයක් ගොඩනැගීමට සැලසුම් කරමින් සිටී. මෙම නව බලවේගයේ නායකත්වයට බෙල්ලන්විල විමලරතන හිමියන් පත් කර ගැනීමටද මෙම සිවිල් සංවිධාන උත්සාහ දරමින් සිටී. බෙල්ලන්විල හිමියන්ද දැනට මෙම ඉල්ලීමට එකඟතාව පළ කර ඇති නමුත් මෙම බලවේගය දේශපාලනයෙන් තොරව ඉදිරියට යා යුතු බව උන්වහන්සේ අවධාරණය කර ඇත.
දෙමළ ජාතික සංවිධානය මේ වන විට ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වෙමින් සිටී. කෙසේ වෙතත් මෙහිදී දැඩි මතයකට එමින්, නැවත උතුරු පළාත් මහා අමාත්‍ය ධුරය සී. වී. විග්නේශ්වරන් මහතාට ලබා නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇත. පසුගිය කාලය පුරාවටම විග්නේශ්වරන් මහතා පක්ෂයේ මතයට එරෙහිව යමින් කටයුතු කිරීම මෙයට හේතුවයි.
ඒ අනුව ඉදිරි මැතිවරණයකදී විග්නේශ්වරන් වෙනම සංවිධානයකින් හෝ පක්ෂයකින් හෝ තරග වදිනු ඇත. ඒ සඳහා අවශ්‍ය දේශපාලනමය සංවිධාන කටයුතු විග්නේශ්වරන් මහතා විසින් දැනටමත් ආරම්භ කර ඇත.
රටේ පවතින තත්ත්වය පිළිබඳව තානාපති නියෝජිතයන් දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය පියවර ගෙන තිබේ. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා ඒකාබද්ධයේ දිනේෂ්, ප්‍රසන්න, නාමල්, යුරෝපා සංගම් නියෝජිතයන් හමුවූයේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි යුරෝපා සංගම් කාර්යාලයේදීය. “ආණ්ඩුව දිගින් දිගටම දේශපාලන පලිගැනීම් කරනවා. දේශපාලනඥයන්ගෙන් පමණක් නොවෙයි. නිලධාරීන්ගෙනුත් පලි ගන්නවා.” දිනේෂ් කීවේය. “හමුදා බුද්ධි අංශ නිලධාරීන් හිරගත කරලා කොටි සංවිධානයේ අයව නිදහස් කරනවා. අවුරුදු ගාණක් හිරේ ඉන්න නිලධාරීන්ට තාම චෝදනාවන් ගොනු කරලා නෑ.” ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේය. මන්ත්‍රීවරුන්ගේ අදහස් සාවධානව අසා සිටි යුරෝපා සංගම් නියෝජිතයා ඔවුන්ගෙන් ඇසුවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනය. “ආණ්ඩුව හදන්නේ කොටි ඩයස් ‍පෝරාවට ඕන විදිහට මේ රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න අපි ඒකට එකඟ නෑ.” දිනේෂ් පැහැදිලි කළේය. “අපි අපේ ස්ථාවරය පැහැදිලිවම ආණ්ඩුවට කියලා තියනවා. ඒකීය භාවය කියන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්නයි ඒගොල්ලො හදන්නේ. අපි කොහොමත් ඒකට එකඟ නෑ” දිනේෂ් කීවේය, යුරෝපා සංගම් නියෝජිතයන් සාකච්ඡාව අතරතුරදී කීප විටක්ම ඇසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය පිළිබඳවය. “ව්‍යවස්ථාව වෙනස් කරන්න අපිට වඩා ඕනකමක් තියන්නේ ඔබතුමාලටනේ. රටට අහිතකර ව්‍යවස්ථා සංශෝධනයකට අපි කොහොමත් එකඟ වෙන්නේ නෑ.” දිනේෂ් බැරිම තැන දැඩි ලෙස කීවේය.
පසුගිය බ්‍රහස්පතින්දා ජපානයට ගිය මහින්දට ඉතා ඉහළ පිළිගැනීමක් ලැබුණි. ඔහු පසුගිය සිකුරාදා පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ‍ලේකම්, ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභික එරට වෙළෙඳ හා ආර්ථික අමාත්‍ය ටෙහිනීරෝ නිකායි මහතා හමු විය. හමුව සිදු වූයේ ටෝකියෝහි පිහිටි ලිබරල් පක්ෂ කාර්යාලයේදීය. මහින්ද සමග පියල් නිශාන්ත, රොෂාන් රණසිංහ, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සාකච්ඡාවට එක්ව සිටියහ. “අපි ඔබතුමාව පිළිගන්නේ හිටපු ජනාධිපතිවරයා විදිහට නොවෙයි. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ද කරලා රටට නිදහස ලබා දුන් විශිෂ්ඨතම නායකයෙකු ලෙසයි.” ඔහු කීවේය. මහින්ද කීවේ ජපානය හැම විටම ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය ප්‍රශන්සනීය බවයි. සිය පාලන කාලය තුළදී මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපානය දුන් සහය සිහිපත් කළ මහින්ද ඒ වෙනුවෙන් සිය ස්තූතියද පුද කළේය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද ජපානයේදී G7 සමුළුවේ නියෝජිතයන් සමගද සාකච්ඡා කළ අතර ටෝකියෝ ටුසුකි කුණු ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය නිරීක්ෂණයටද ගියේය. කටාර් සිද්ධිය පිළිබඳවද සිය අවධානය යොමු කළ ඔහු කටාර්හි ශ්‍රී ලාංකීය සංවිධාන කීපයක නියෝජිතයන්ට කතා කොට එහි තත්ත්වය පිළිබඳව විමසා බැලුවේය. එම තොරතුරු ලබා ගැනීමෙන් පසු මහින්ද අගමැති රනිල්ට දුරකථනයෙන් කතා කර කීවේ මේ පිළිබඳ මැදිහත් වී කටයුතු කරන්නැයි කියාය. මෙම ඉල්ලීම කළ මහින්ද රනිල්ගේ සුවදුක් විමසීමටද අමතක කළේ නැත.
ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා සහන කටයුතු අතරතුරදී පාහියන්ගල ලෙන ආශ්‍රිත ප්‍රදේශයේ විපතට පත් වූ ජනතාව හමුවීමට ගියේය. ඒ වනවිටත් පාහියන්ගල ලෙන ආශ්‍රිත ප්‍රදේශය නායයෑමේ අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබිණි. ප්‍රදේශයේ ජනතාව මේ පිළිබඳව මන්ත්‍රීවරයා හා ප්‍රකාශ කළේ මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීමට කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතු බව කියමිනි. “මන්ත්‍රීතුමා ඔබ තුමා දන්නවනේ මේ ලෙන කියන්නේ ඉතාම ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්. වසර 7000ක පමණ පැරණි නූතන මානවයාගේ ඇට සැකිලි හමුවුණූ තැනක්. නමුත් ඒ ස්ථානයත් දැන් අනතුරක තියෙන්නේ.” ප්‍රදේශවාසියෙක් කියා සිටියේය. “ඔව්, මේක ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් තියෙන භූමියක්. මේක කොහොම හරි ආරක්ෂා කරගන්න ඕනෑ. මේ ප්‍රදේශයට අක්කර දෙකහමාරක් විතර අයත් වෙනවා. පසුගිය කා‍ලේ නායයෑම් නිසා මේ ප්‍රදේශයත් දැන් අනතුරක තියෙන්නේ.” එම ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ද මේ පිළිබඳව පැහැදිලි කිරීම් කළහ. එම තොරතුරුත් සමග වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මේ පිළිබඳව පසුගිය පාර්ලිමේන්තු සභා වාරයේදී විෂය භාර ඇමැති අකිල විරාජ්ගෙන් ප්‍රශ්න කළේය. නමුත් එහිදී දැන ගන්නට ලැබුණේ තවමත් ඒ පිළිබඳව නිසි වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බවයි.
ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ ජනතා පෙරමුණේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු භික්ෂූන් වහන්සේලා, ප්‍රදේශවාසීන් සහ ආදීවාසීන් පිරිසක් පරිසර දිනයේදී මාදුරාඔය රක්ෂිතයේ ගස් කිහිපයක් සංකේතාත්මකව මහණ කිරීමට කටයුතු කළේය. එම අවස්ථාවට පරිසර සංවිධාන ඇතුළු තවත් සිවිල් සංවිධාන තිහකට අධික ප්‍රමාණයක් සහභාගි වීම විශේෂත්වයක් විය. ඔවුහු මේ කටයුත්ත සිදු කළේ වත්මන් ආණ්ඩුව විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර හැටදහසකට අධික ප්‍රමාණයක් උක් වගා කිරීම සඳහා බහු ජාතික සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමිනි. බූකටේට් නම් එම සමාගම විසින් උක් වගා ව්‍යාපෘතිය සඳහා කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු යොදා තිබූ අතර පසුගිය 05 දිනට යෙදෙන පරිසර දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම කර්මාන්ත ශාලාවට මුල්ගල තබන බවට තොරතුරක් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ සංවිධානයට වාර්තා වී තිබිණි. මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡා මගින් රැස්වීම් මගින් විශාල විරෝධයක් ගොඩනැගූ එම සංවිධානය ජනාධිපතිවරයාට අවධාරණය කර සිටියේ මුල් ගල තැබිමට නොඑන ලෙසයි. අනතුරුව එම සංවිධානයේ මැදිහත්වීමෙන් ඇකිරියන්කුඹුර, දෙහිගම, මදුරා ඔය රක්ෂිතයේදී දවස පුරා පරිසර දිනය සැමරීමට වැඩසටහනක් දියත් කෙරුණි. එහිදී භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීමෙන් රක්ෂිතයේ වටිනා ගස් ගණනාවක් කහ සිවුරු දවටා මහණ කෙරුණි. එහි අරමුණ වූයේ රක්ෂිතයේ ශාකා කපා විනාශ කිරීම වළක්වා ගැනීමය. එයට අමතරව රක්ෂිතයේ පැළ රෝපණ ව්‍යාපාරයක්ද දියත් කෙරුණි. උත්සවය අවසානයේදී සාම්ප්‍රදායානුකූලව පිළියෙළ කළ ගමේ ආහාර වේලකින් පැමිණ සිටි පිරිසට සංග්‍රහ කිරීමට සංවිධායකයින් කටයුතු කොට තිබිණි

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.