මොකක්ද මේ ‘අතුරුදහන්වුවන් පිළිබඳ පනත’ ?

බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කරනු ලැබීම් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් දීමට සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා බව පවසමින් ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති “අතුරුදහන්වූවන් පිළිබඳ නව පනත් කෙටුම්පත” සමාජ දේශපාලන සංවාදයකට මුල් වී තිබේ.

පනත් කෙටුම්පතේ නිර්මාතෘවරුන්ට සහ ඇතැම් සිවිල් සමාජ සංවිධානවලට අනුව එය අතුරුදහන් කිරීම්වලට ගොදුරුවන්නන්ට යුක්තිය ඉටු කිරීමට අදාළ මානව හිමිකම් වඩාත් ශක්තිමත් කිරීමකි.

ඒ අතරම ඒකාබද්ධ විපක්ෂය ද ඇතුළුව තවත් සංවිධාන යෝජිත නව නීතිය දකින්නේ “යුද්ධය ජයගත් හිටපු ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම රණවිරුවන් විදේශ අධිකරණ ආයතනවලට පාවාදීමේ පිඹුරුපතක්” ලෙසය.

පුද්ගල අතුරුදහන් කිරීම්, 1980 දශකයේ අග භාගයේ පටන් ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ මෙන්ම මානව හිමිකම් සංවිධාන අතර මුල්තැන හිමිකර ගන්නා ලද මාතෘකාවකි.

1988/89 කාල වකවානුවේ හැටදහසකට අධික යයි පැවසෙන (තවමත් නිවැරදිව ගණන් බලා නොමැත) අතුරුදහන් කිරීම් සහ තිස් අවුරුදු සිවිල් යුද සමයේ සිදු වූ තවත් අතුරුදහන් කිරීම් රැසක් පිළිබඳව පසුගිය කාලය තුළ නිරන්තරයෙන් සාකච්ඡාවට භාජනය විය.

සිවිල් යුද්ධය අවසානයේ විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදුව ඇති අතුරුදහන් කිරීම් විමර්ශනය සඳහා රජය විසින් කොමිසමක් (පරණගම කොමිසම) පත් කරන ලද අතර එහි නිර්දේශ තවමත් ක්‍රියාත්මක කරනු ලැබ නැත.

එවැනි පසුබිමක් යටතේ සභාගත කරන ලද නව පනත් කෙටුම්පත නම් කරනු ලැබ තිබෙන්නේ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ සම්මුතිය” යනුවෙනි.

පනත් කෙටුම්පතෙහි දැක්වෙන පරිදි මෙවැනි පනතක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව මතු වන්නේ “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට” ශ්‍රී ලංකාවත් අත්සන් තබනු ලැබීමත් සමඟයි.

2016 මැයි මස 03 දින ශ්‍රී ලංකාව එම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබන ලද අතර 2016 ජූනි මස 24 වෙනි දින පටන් එම සම්මුතිය සෙසු සාමාජික රාජ්‍යයන්ට මෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි ද බල පැවැත්වේ.

ඒ අනුව යමින් ඉහත කී “ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම් ක්‍රියාත්මක කිරීම සඳහා නෛතික විධිවිධාන සම්පාදනය කිරීමේ අවශ්‍යතාව අනුව මෙම පනත සම්පාදනය කරන බව” පනත් කෙටුම්පතේ දැක්වෙයි.

පනතේ නිල නාමයෙන් අනතුරුව එහි අරමුණ සහ මුඛ්‍යාර්ථය මෙසේ විස්තර කරනු ලැබ ඇත.

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද; බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට භාජනය වූ වින්දිතයන්ට යුක්තිය පසිඳලීමේ සහ වන්දි ලබා ගැනීමේ අයිතිවාසිකම සහතික කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.”

උධෘත කර දක්වන ලද එම පාඨය අනුව එය නීතිගත කරනු ලැබීමේ පළමු අරමුණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමය.

දෙවැන්න, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට භාජනය වූ වින්දිතයන්ට යුක්තිය පසිඳලීමේ සහ වන්දි ලබා ගැනීමේ අයිතිවාසිකම ශ්‍රී ලංකාව තුළ සහතික කිරීමය.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පතෙහි පළමු වගන්තිය අනුව “එය බලාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වගන්තිය ප්‍රකාරව සහතික කරනු ලබන දිනයේ” පටන්ය.

මේ පනත අතීතයට බලපාන්නේද නැද්ද යන්න පිළිබඳ විවාදයේ දී එම වගන්තිය දැඩිව සාකච්ඡාවට ලක් කෙරෙන කාරණයක් බවට පත්ව ඇත.

පනත බලාත්මක වන්නේ එය සම්මත කරන ලද දිනයේ පටන් යයි එහි අන්තර්ගත නමුත් එය ජාත්‍යන්තර සම්මුතියක් අනුව නීතිගත කෙරෙන්නක් වන හෙයින් ක්‍රියාත්මක වීමේදී එම ජාත්‍යන්තර ප්‍රඥප්තීන් වලට අනුව කටයුතු කිරීමට සිදුවෙන බව එයට එරෙහි කණ්ඩායම්වල තර්කය වී තිබේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වරදකරුවන් යයි තීන්දු කෙරෙන තැනැත්තන්ට දියහැකි දඬුවම් පිළිබඳවත් පනතෙහි දැක්වේ.

යම් තැනැත්තෙක් අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබීමේදී එම තැනැත්තා අවුරුදු විස්සකට වැඩි නොවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් දශ ලක්ෂයකට නොවැඩි දඩයකට යටත් කළ හැකි අතර වින්දිතයකුට රුපියල් ලක්ෂ පහකට අඩු නොවන වන්දි මුදලක් ගෙවන ලෙස ඔහුට නියෝග කිරීමට පනත අනුව, අධිකරණ බලය හිමිවේ.

2017 පෙබරවාරි 09 වෙනිදා ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම පනත් කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මාර්තු 07 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය විවාදයට ගැනීමට නියමිතව පවතින අතරවාරයේ පැන නැගුණ විරෝධතා හේතුවෙන් මේවනවිට එම විවාදය කල් තබනු ලැබ තිබේ.

පනතට එරෙහිව

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීම සඳහා වූ පනතට සිය විරෝධය පළ කරන බව අස්ගිරි පාර්ශ්වය ඇතුළු පළමු පෙළේ භික්ෂූන් වහන්සේ කියා සිටිත්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයත් එකී මතය සමඟ අනුගත වීමෙන් එම විරෝධය මේවනවිට සමාජ රැල්ලක් බවට පත්ව ඇත.

මෙම පනත් කෙටුම්පත බලාත්මකවීමත් සමඟ ජාත්‍යන්තර අධිකරණ ආයතනවලට ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගත හැකි අතර එම ආයතන මගින් ඉල්ලීමක් කළහොත් එම හමුදා නිලධාරීන් ඔවුන්ට භාර දීමට ශ්‍රී ලංකාවට සිදු වන්නේය යන්න ඔවුන්ගේ තේරුම් ගැනීමය.

පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත “අතුරුදහන්වූවන්ගේ නම් භාවිත කරමින් රණවිරුවන් යුධ අධිකරණයට ගෙන යාමේ වැඩ පිළිවෙළක්” වන බව කොළඹ අභයාරාම විහාරස්ථානයේ දී මාධ්‍ය ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

අතුරුදහන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳව එවැනි විග්‍රහයන් ඉදිරිපත් කරනු ලබන්නේ ජනතාව නොමග යවන “දෙබිඩි දේශපාලන අවතාර” විසින් යයි මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර පවසයි.

“ශ්‍රී ලංකාවේ උපදින ජීවත් වන සෑම මිනිසකුටම බලහත්කාරයෙන් සිදු කෙරෙන පැහැර ගැනීමකට, අතුරුදන් කිරීමකට මෙන්ම අයුතු සිරගත කිරීමකට ගොදුරු නොවී ජීවත් වීමේ නිදහස ස්ථාපිත කිරීම” මෙම පනතේ මූලික අරමුණ බව මංගල සමරවීර ඇමතිවරයා නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලා සිටින ප්‍රකාශන කීපයක්
Image captionඅතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලා සිටින ප්‍රකාශන කීපයක්

මෙය අතීතයට කිසිදු බලපෑමක් නොමැති නීතියක් බවත් මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර පෙන්වා දෙයි.

ඇත්ත කියන්නේ කවුද?

මෙම පනත් කෙටුම්පත මගින් ස්ථාපනය කෙරෙන නෛතික ක්‍රියාදාමය ඒ සමග ඇති කෙරෙන බැඳීම් මොනවාද?

මෙම පනත, ශ්‍රී ලංකාව විදේශ බලවේගවලට පාවා දීමේ සැඟවුන අරමුණක් සහිත ගිවිසුමක් ද?

එසේ නැත්නම්, ඊට ඇති විරෝධය පිටුපස “දෙබිඩි දේශපාලන අවතාර” හොල්මන් කරන්නේද?

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.