මිනී මරා ලාභ සෙවීම …

==කොරෝනා මරණ ලක්ෂ 7 පසුකරයි==
කොරෝනා වසංගතය ඔබ මා හිස් මතට කඩාපාත්වී මේ ගෙවී යන්නේ අටවන මාසයයි… කොරෝනා වසංගතය යනු පසුගිය මාස 8 පුරා ලොව වැඩිම අවධානයකට ලක්වුණු කරුණ ලෙස මා හැඳින්වුවහොත් ඔබ එයට එකඟවනු ඇතැයි සිතමි. රජයන්, නිළධාරින්, සමාජ ක්රියාකාරිකයින්, ජනමාධ්යවේදීන්, බුකීවාසීන් (😊) වැනි මෙකී නොකී සියලුම පාර්ශ්ව කොරෝනා මර්දනයකිරීමට, පොදු මහජනතාවට එයින් වෙන හානිය වැළැක්වීමට හෝ අඩුකිරීමට වෙහෙසෙනු මා පුද්ගලිකවම දුටුවෙමි, වින්දෙමි. මහජන සෞඛ්ය ක්ෂේත්රයේ නියැලී සිටින අයෙකු ලෙස මහජන සෞඛ්ය ගැටළුවක් කෙරෙහි මෙවැනි අවධානයක්, උනන්දුවක් ප්රදර්ශනයවීම ඉතාමත් සුභදායී ප්රවණතාවක් බව මාගේ හැඟීමය. මහජන සෞඛ්ය විශේෂඥයින්ගේ තාක්ෂණික උපදෙස් ලොවපුරා බොහෝ රජයන් පිළිගත්හ. ඒ අනුව මහජන හිතවාදී ක්රියාමාර්ග ගත්හ. මහජනතාව සහා ජනමාධ්යවේදීන්ද වඩාත් උනන්දුවකින් තොරතුරු සෙවීමටත්, අවශ්ය ක්රියාමාර්ග ගැන දැනුවත්වීමටත් උත්සුක වන බවද පැහැදිළිව පෙණුනි. මාර්තු-අප්රේල් කොරෝනා උනන්දුවේ “පීක් එකෙහි”දීද, ඉන්පසුවද, කොරෝනා පිළිබඳ විවිධ පාර්ශ්වවලින් උදේ හවහා නැගෙන ප්රශ්නවලට පිළිතුරු ලබාදී අප හති වැටුණ දවස් එමටය.

අද වනවිට ප්රකාශිත දත්ත අනුව ලොව පුරා කොරෝනා නිසා මියගිය පුද්ගලයින් සංඛ්යාව හත්ලක්ෂ තිස්හතරදහස් පන්සිය විසි පහකි…මේ දත්ත දෙස බලද්දී සහා කොරෝනා මර්දනයට ඔබ බහුතරයක් දැක්වූ උනන්දුව දෙස බැලීමේදී මට තවතවත් තහවුරුවූ සත්යයක් ඇත… එනම් දුම්කොළ සහා මද්යසාර සමාගම් කොපමණ සටකපට ලෙස ඔබ සැම රවටනවාද යන්නයි… දුම්කොළ සමාගම් #වසරකට මරාදමන මිනිසුන් සංඛ්‍යාව ලක්ෂ 80කි. මද්‍යසාර සමාගම් එලෙස වසරකට මරාදමන සංඛ්‍යාව ලක්ෂ 30කි. දුම්වැටි භාවිතය නිසා මිනිසුන් මියයන බව සැකයකින් තොරව ඔප්පු කර දැනට වසර 70කි. මද්‍යසාරවල “ආරක්ෂිත ප්‍රමාණයක්” (safe limit) නැති බව ඔප්පුවී වසර 10කි. එහෙත් පසුගිය මාස 8 ඇතුළත කොරෝනාවලින් ආරක්ෂාවීමට අත්සේදීමට, මුව ආවරණ පැළඳීමට, නිවෙස්වලටමවී සිටීමට අන් අයට උපදෙස් දුන් අයගෙන් අඩක්වත් සිගරට් අරක්කු නොබී ඉන්නා ලෙස අන් අයට කියන්නට යන්නේ නැත… මුව ආවරණ නොදා ඉඳීම “choice” එකක්/තෝරාගැනීමක් නොවේ…සමාජය එලෙස එය පිළිනොගනියි. එහෙත් දුම්බීම, මද්‍යසාර භාවිතය සමහරුන්ට අනුව ඔවුන්ගේ choice එකය. එයට “බාධාකිරීමට” ඔවුන්ගේ මිතුරන් පවා මැළිකමක් දක්වති. ඔවුනුත් ලෙඩවී, අන් අයවත් ලෙඩකර රටටත් ආර්ථිකමය ලෙස පාඩුසිදුකර මියයාම ඔවුන්ගේ තෝරාගැනීමක් බවත්, ඔවුන්ට ඉඩදී අප නිහඬව බලා සිටිය යුතුබවත් කීපවරක්ම මටද උපදෙස් ලැබී තිබේ.

මුව ආවරණ නැතුව පාරෙ යෑම තහනම්ය… පොලිසියෙන් අල්ලා දඩගසනු ඇත. පාරෙ සිගරට් බිබී අනිත් අයව ලෙඩ කිරීමට, පරිසරය දූෂණය කිරීමට තවමත් නීතියෙන් ඉඩ ඇත…. මහජන පීඩාව යටතේ පොලිසිය දඩගසන්නේ නැත.. අඩුමගානෙ එසේ නොකරන ලෙස අවවාදයක්වත් කරන්නේ නැත. කොරෝනා රෝගය අන් අයට පතුරවන්නට නම් රජයෙන් හෝ නීතිය ක්‍රියාත්මක කරන්නන්ගෙන් කෙලෙසකවත් ඉඩක් නැත. ඔබ නොදැනුවත්ව හෝ රෝගියෙක්ගේ ආස්‍රිතයෙකු බවට පත්වී ඇතිනම් ඔබව නිවසටම පැමිණ නිරෝධායනය කරනු ඇත. ඔබ නිරෝධායන නීති කඩකළහොත් ඔබව අත්අඩංගුවට ගනු ඇත. එහෙත් දුම්කොළ, මද්‍යසාර භාවිතය අන් අයට බෝකිරීමේ සිද්ධීන්වලදී නීතිය එලෙසම ක්‍රියාත්මක නොවේ. රජයේ රූපවාහිනී මහගෙදරම අමු අමූවේ NATA පණත කඩකරමින් නිර්ලජ්ජිතව සිගරට් අරක්කු ප්‍රචාරණය කරනවා අප ඊයෙ පෙරේදා දුටුවෙමු. ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් නැත.

මේ උහතොක්කෝටිකය කුමක්ද? #සෑම_වසරකම එක්ව ලෝකවාසීන් #කෝටියක් පමණ මරාදමන, එනම් කොරෝනා මෙන් 10 ගුණයක් සෑම වසරකම මිනීමරණ මේ සමාගම් දිගටම පවතින්නේ කෙලෙසද? ඔවුන්ගේ පැවැත්මට ඔබ කොතරම් දායකත්වයක් සපයනවාද?

ඔවුන්ගේ පැවැත්මට ලොකුම බාධාව වන්නේ ඔවුන්ගේ නිෂ්පාදන භාවිතය නැවැත්වීමයි. පාඩු ලබන බිස්නස් එකක යෙදී ඔවුන්ට පලක් නැත. ඔබ එම නිෂ්පාදන භාවිතය, භාවිතයට අනුබල දීම, ප්‍රචාරණය හෝ භාවිතය වැළැක්වීමට අනිත් අයට උදව් නොකිරීම, ඔවුන්ගේ පැවැත්මට සහා ජන සංහාරයට උදව් සැපයීමකි. ඔබ “ඇන්දෙන” අනිත් ප්‍රධානම කරුණක් ඇත. ඔවුන් නිසා පුද්ගලයින්ගේ, නිවෙස්වල සහා රටේ ආර්ථිකයට සිදුවන හානිය වසාගැනීමට “අපේ බදුවලිනුයි රට දුවන්නෙ” කියන බේගලය ගෙඩි පිටින් ගිලිනවිට, සහා එය තවතවත් ප්‍රචාරණය කරනවිට, ඔබ ඔවුන්ගේ පැවැත්මට සපයන දායකත්වය අතිමහත්ය. රටේ නීතියද කඩමින් ටෙලිනාට්‍ය, චිත්‍රපට, මියුසික් වීඩියෝ, ෆේස්බුක් පෝස්ට් මගින් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රචාරණය කරනවිට ඒවාට අනුබලදීම, ඒවා නැවත ප්‍රචාරණය සහා එලෙස ප්‍රචාරණය කරන්නන්ට විරුද්ධ නොවීම ඔවුන්ගේ පැවැත්මට පමණක් නොව ජනසංහාරයටද අත් උදව් දීමකි.

ඔබට දැන් ඔබේ කාර්‍යභාරය සහා ඔබගේ දායකත්වයේ වටිනාකම පැහැදිළි වන්නට ඇතැයි සිතමි. කොරෝනා මර්දනය කෙරෙහි මහජන දායකත්වය උපරිමයෙන් ලැබුණු ලෙසම මේ කරුණ කෙරෙහිද ඔබගේ අවධානය යොමුවුනි නම්, ඔවුන්ගේ බොරු බේගල්, සටකපටකම්වලට නොරැවටී අවදියෙන්, අවබෝධයෙන් ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නේ නම්, ඔවුන්ගේ මුදල්වලට, මිලටගත් කුලීකරුවන්ට හෝ ඉහළ පුටුවල වැජඹෙන ඔවුන්ගේ හිතමිත්‍රාදීන්ටද කරකියාගැනීමට දෙයක් නැතිවනු ඇත. ලක්ෂ ගණන් මිනීමරා ලාභ ඉපැයීමට ඔවුන්ට නොහැකිවනු ඇත. ඔවුන් පැරදී මහජනතාව දිනනු ඇත.

 

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ,  කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  හා දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රයේ ” ටෝබැකෝ අන්මාස්ක්ඩ් ”  සංස්කාරක,  මනුජා පෙරේරා 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.