මිනිස්සු දේශපාලනය සමඟ දුරස්ථ ඇයි?

ලංකාවේ බොහෝ දේශපාලන පෙරළි සිදු වී ඇත. 56 පෙරළිය, 71 සිදුවීම, 89 සිදුවීම සහ 94 පෙරළිය, 2009 සිදුවීම ඉන් කිහිපයකි. නමුත් මේ කිසිදු පෙරළියකින් ලාංකේය සමාජය ගමන් කරන දිශානතිය වෙනස් වූයේ නැත.

2015 ජනවාරි 8 වනදා ද සිදු වූයේ පෙරළියකි. එය එසේ නොවුණා නම් ලංකාව ගමන් කරනු ඇත්තේ චීනයේ යටත් විජිතයක් (ආර්ථික) දිශාවටය. මහින්ද රාජපක්ෂ රෙජීමයට ඉතාම අනන්‍ය වූ රාජ්‍යයට අනුබද්ධ ආයතනයක උසස් නිලධාරියෙක් මහින්දගේ පරාජයෙන් වික්ෂිප්තව මෙසේ කීවේය. ”හැමදෙයක්ම මොහොතකින් නැති කර ගත්ත අපි බලාපොරොත්තු වුණේ පිනෝචේ වගේ කෙටි ප‍්‍රහාරයකින් රාජ්‍ය බලය ලබා ගැනීම. එහෙම වුණා නම් චිලිය වගේ ආර්ථික වශයෙන් රට ඉක්මනට දියුණු කරන්න තිබුණා. දැන් රට අරාජිකයි. රටට අනාගතයක් නැහැ.”

මහින්ද රාජපක්ෂ පිනෝචේ මෙන් කි‍්‍රයා නොකළේ ඇයි? ඒ සඳහා කිසියම් බාහිර බාධාවක් පැවැතියා ද? මහින්ද ඉන්දියාවට බිය වුණාද? නැත. අවශ්‍ය නම් මහින්දට සහ ගෝඨාට චිලියේ ඒකාධිපතියා මෙන් කි‍්‍රයා කිරීමේ නිදහස ඒ මොහොතේ තිබුණේය. ඒ සඳහා අවශ්‍ය කරන සියලූම පෙර සූදානම් ද ඔවුන් ඉටු කර තිබුණේය. එසේ නම් ශ‍්‍රී ලංකාව ආසියාවේ චිලියක් නොවුණේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කෘතහස්ත මැදිහත් වීම නිසාද? නැත.

ලංකාවේ අතිබහුතරයක් දෙනා දේශපාලනය කරන්නේ තමන් සහ දේශපාලනය අතර දුරස්ථභාවයක් (Distance) නඩත්තු කරගෙනය. මහින්ද යනු ද දේශපාලනය සහ මන් අතර යම් පරතරයක් නඩත්තු කරන්නෙකි. මහින්දට දේශපාලනිකව කළ යුතු දේවල් කියා දෙන්නේ එක්කෝ විමල් වීරවංශය. නැත්නම් ඩලස්ය. එසේත් නැත්නම් වෙනත් කවුරු හරිය. දේශපාලනය සහ පුද්ගලයා අතර පවතින මෙම ආත්මීය පරතරය නිසා ආසියාවේ දේශපාලන ආකස්මිකය. අලූත් බුරුම නායකයා අවුන්සාන් සුකීගේ රියැදුරාය. ධනවාදය වඩ වඩා සංකීර්ණ වීම තුළ මෙම ප‍්‍රපංචය දැන් වෙනත් මහද්වීපවලටත් ගමන් කර ඇත. බ‍්‍රසීල ජනාධිපති ඩිල්මා වෙනුවට බ‍්‍රසීලයේ දේශපාලනය කරන්නේ ලූලාය. පසුගිය දිනෙක පිටිදූවේ සිරිධම්ම තම පශ්චාත් – නූතන බණ හරහා ප‍්‍රකාශ කළේ ග‍්‍රාමසේවක සහ ජනාධිපති තනතුර අතර වෙනසය. සිරිධම්මට අනුව ගෙදරින් කෑම ගෙන ඒම රජ චාරිත‍්‍රයක් නොවේ. නමුත් මහින්ද රාජපක්ෂ ඡන්දයෙන් පැරදී පිනෝචේ මෙන් කි‍්‍රයා නොකර රාජ්‍ය බලය උකටලීව ග‍්‍රාමසේවකට බාර දී ගෙදර ගියේ ජෛන සම්ප‍්‍රදායට අනුව නොවේදැයි අසන්නට කෙනෙක් ඔහුගේ පශ්චාත් – නූතන ආරාමය තුළ නැත. ඉන්දියාවට ඉංග‍්‍රීසීන් පැමිණීමට පෙර පැවතියේ කුල – ගෝත‍්‍ර සමාජයකි. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැමිණි පසු ඉන්දියාවට ඉංග‍්‍රීසි ජාතිකයා පැමිණියාට පෙර පැවති ‘පෙරදිග – සාරය’ අවශ්‍ය විය. නමුත් මෙම ‘පෙරදිග – සාරය’ යනු අන්කිසිවක් නොව අයිතිවාසිකම් නැති රාජකාරී පමණක් ඇති පුරාණ කුල ගෝත‍්‍රවාදී බ‍්‍රාහ්මණ ඉන්දියාවයි. ජනාධිපති තනතුරට රජ කෙනෙක් ගැන සිහින දැකීම ද ඒ අනුව ශ‍්‍රී ලාංකික අදහසක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, ඉංග‍්‍රීසි, විදේශික අදහසකි. නලින් ද සිල්වා නම් වූ පිරිසිදු ජාතික චින්තනයක් ෆැන්ටසිකරණය කරන්නා පවා යුරෝපීය ආක‍්‍රමණයට පෙර පැවති ලංකාවේ නිර්මාණයක් නොව ඉංග‍්‍රීසි ජාතිකයාගේම ආගමනය නිසා උපන් චින්තකයෙකි. ඒ අර්ථයෙන් ඔහු ද ඉංග‍්‍රීසි ජාතිකයෙකි.

ලංකාවේ මැදපාන්තිකයන් මහින්ද චින්තනය තුළ සීතල ක‍්‍රමයකට හම්බ කරන්නට අවකාශ ලබා ගත්තේය. චීන ප‍්‍රාග්ධනය මං මාවත් සංවර්ධනය සඳහා යොදවන ලංකාවේ වෘත්තීය සුදුසුකම් ලද වරලත් ඉංජිනේරුවන්ට ද කරල පැහුණේය. මෙම තත්ත්වය බොහෝ මධ්‍යම පාන්තික වෘත්තීන්ට අදාළය. මේ නිසා පොල් කැඞීමට, සිමෙන්ති වැඩවලට, අතුරු රැකියාවලට ශ‍්‍රමිකයන් නැති වන තරමට මිනිසුන් ති‍්‍රරෝද රැකියාවට ඇබ්බැහි විය. ඉන්දියාව සමඟ ලංකාව ගිවිසුම් ගහනවා මිස ඉන්දියාවට ලංකාව සමඟ ගිවිසුම් ගහන්නට අවශ්‍ය නැති බව මහින්දගෙන් හම්බ කරගත් ඉංජිනේරුවන්ට සහ බොහෝ වෘත්තිකයන්ට වැටහෙන්නේ නැත. මිනිසුන්ව සංවිධානය කිරීමට සිමෙන්ති, වැලි, ගඩොල්, යකඩ කම්බිවලට බැරිය. ඒ නිසා එට්කා ගිවිසුමට එරෙහිව මහින්ද චින්තනයෙන් එන්නේ විකල්ප දෙකකි. (1) ඉන්දීය විරෝධය (2) දෙමළ විරෝධය සහ බලය බෙදීමට ඇති විරෝධය.

දේශපාලනය සහ තමන් අතර පවතින දුරස්ථභාවය හට ගන්නා තත්ත්වය අපට ඉහත නිදර්ශනය හරහා වටහාගත හැකිය. එට්කා නිසා ලංකාවේ වෘත්තිකයන්ට කෙටි කාලීනව පහර වදින්නේය. එය සත්‍යයකි. නමුත් දිගුකාලීනව කොන්ත‍්‍රාත් සමාගම් පන්සල්වල දමා ගත් ඉංජිනේරුවන්ට පවා යහපත්ය. ඔවුන්ට පවා ලාභ ඉන්දීය ශ‍්‍රමය විවෘතය. ඔවුන් සමාජවාදීන්දැයි අපි නොදන්නෙමු. ඔවුන් ප‍්‍රාග්ධන හිමියන්ට අමතරව සිංහල – බෞද්ධයන්ය. සිංහල බෞද්ධයා යනු ධනවාදය සහ තමන් අතර දුරස්ථ සම්බන්ධයක් පවත්වාගෙන යන්නාවුන්ය. සමහරුන් භාවනා කරන්නේ දහවල් කාලයේ ධනවාදී සමාජයේ භීතියෙන් ගැලවීමටය. දහවල් ධනවාදයට සහභාගී වන ඔවුන් රාති‍්‍රයට අසූ පන්දහසේ පහන් පින්කමට සහභාගී වෙයි. ඩලස් අලහප්පෙරුම සහෝදරයා වෘත්තීය සමිති සංවිධානය කරන විට ඔහුගේ සටන් පාඨය සරලය. දහවල් ධනපතියෙක් වන ඔබ රාති‍්‍රයට බෞද්ධයෙකි. මේ දෙක අතර ඇත්තේ පරතරයකි. එම පරතරයේ දී ඔබ මහින්ද චින්තනය සමඟ අත්වැල් බැඳ ගන්න! එවිට රට එක්සත් කර ගැනීමේ චින්තනය මෙලෙස රටට ඉදිරිපත් කළ හැකිය. ”ඉන්දියාවට එරෙහිව එක්සත් කි‍්‍රයාමාර්ගයකට එළඹීමට මහින්දට බලය දෙමු. එතුමා එට්කා අහෝසි කරනු ඇත. ඉන්පසු ඔබලාට යළිත් බිස්නස් කිරීමේ වරය හිමිවෙනු ඇත.” වෙනත් රටක කම්කරුවන්ට එරෙහි වන වෘත්තීය සමිති ප‍්‍රථම වතාවට අපට පෙනෙන්නට පටන් ගෙන ඇත. අනෙක් අතට ලාභ ශ‍්‍රමය ප‍්‍රතික්ෂේප කරන ධනපතියන් ද පෙනෙන්ට පටන් ගෙන ඇත. මෙම තත්ත්වය නිසා වෘත්තීය සමිති නායකයන්ගේ මොළය කොලොප්පන් වීමට ද පටන් ගෙන ඇත. ‘සකලදේශ වාසී නිර්ධනයනි! එක්වව් !’ යන සටන් පාඨය මෙසේ වෙනස් කළ යුතුය. ‘ඉන්දියාවට එරෙහිව එක්වව්!’ යළිත් ඔබට අවශ්‍ය 87 කරා යන්නද? දහවල් බිස්නස් කරන ඔබ රාත‍්‍රියට සැදැහැවත් බෞද්ධයෙකි. මේ දෙක අතර පවතින පරතරය පශ්චාත්තාපයකි. එය ඉන්දියාව විස්ථාපනයට කර ඉන්දියාව බාහිර සතුරකු කර ඉන් විනෝද වන්න! ඔබ විඳින ශ‍්‍රී ලාංකික අභිමානය පැහැර ගන්නේ ඉන්දියාවය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.