මාධ්‍යවේදියා විනිසුරුවකු නොවිය යුතුයි

 

මාධ්‍යවේදියා විනිසුරුවකු නොවී තමා වාර්තා කරන තොරතුරු විනිශ්චය කිරීමේ අවස්තාව ජනතාවට ලබාදියයුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී ,.

සාධාරණ මැතිවරණයක් පැවැත්විම සඳහා එවැනි ගුණාත්මක මාධ්‍ය භාවිතාවක් අවශ්‍ය වන බවද මැතිවරණ සමයේ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය මැයෙන් පසුගියදා ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී පවතී සංවාදශීලී සම්මන්ත්‍රණයට එක්වෙමින් සුදර්ශන ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය .

මාධ්‍ය අචාර ධර්ම හා උපමානයන් , මැතිවරණ සමයකදී පමණක් නොව සෑම කලකදීම භාවිතා කිරීම ඉතා වැදගත් ක්‍රියාවලියක් බවත් එය මේවර මැතිවරණ ක්‍රියාවලියේ සිට ආරම්භ කිරීම යෝග්‍ය බවත් ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

සෑම පක්ෂයකටම හා සෑම අපේක්ෂකයකුටම මාධ්‍ය තුලින් සමාන අවස්ථා ලබාදීම අතිශය වැදගත් බවත් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය සංවිධාන කළ මෙම සම්මන්ත්‍රණයට එක්වෙමින් ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය .

මාධ්‍යවේදීන්ට වෘත්තීමය භාවිතාවට අදාළ දැනුම ලබාදීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවක් තිබෙනවා. මම වසර විස්සකට අධික වැඩි කාලයක් මේ ක්ෂේත්‍රයේ හිටියා. පත්‍ර කලා සංගමය මෙවැනි මෙහෙවරකට අත තැබීම ඉතාම හොඳයි. රටේ සෑම කරුණක් කෙරෙහිම වැඩි සංවේදීභාවයක් ඇති කරන්නේ මාධ්‍යටයි. අනෙක් හැමදෙනාම තොරතුරු ලබාගන්නේ මාධ්‍යවේදීන් වන ඔබ ලබාදෙන තොරතුරුයි. ඔබ තමයි නිරන්තරයෙන් ඉවසිල්ලෙන් සිටිමින් මේ කරුණු මහජනතාවට බෙදා දෙන්නේ. ඔබ දෙන තොරතුරු මත තමයි ජනතාව යම් යම් නිඟමනවලට එන්නේ. එතැනදී මහජනයාට තොරතුරු ලබාදෙන්නේ ඔබ නිසා ඔබ යම් වරප්‍රසාද ලාභි කණ්ඩායමක්ද වෙනවා. මාධ්‍යවේදීන්ට විශාල වශයෙන් බලපාන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ඒ පිළිබඳ සොයා බලමින් සිටිනවා.

විශේෂයෙන් මැතිවරණ සමය තුළ මාධ්‍ය භාවිතය පිළිබඳ සිතා බැලිය යුතුයි. අපි සෑමවිටම පුරවැසියාගේ දෘෂ්ටි කෝණයෙන් බැලිය යුතුයි. මොකද මේ මැතිවරණ නව මැතිවරණ ක්‍රමයක් නිසා. මෙහි වැදගත්කම බොහෝ දෙනකුට පැහැදිලි නැහැ.සාධාරණ මැතිවරණයක් වෙන්නනම් සෑම දෙනාට සම බිමක් විය යුතුයි. එක පක්ෂයකට එක විදිහක් තවත් පක්ෂයකට තවත් විදිහක් ලෙස ක්‍රියා කරන්න බැහැ. සාධාරණව ඡන්දය තියන්නට නම් සාධාරණව වාර්තා කරන්න ඕනෑ. මෙය ඡන්දයෙන් පසුව වුවත්ත් අනුගමනය කළ යුතු ක්‍රියාවලියක්. කිසිදු අපේක්ෂකයකුට පක්ෂයකට වැඩි වාසි වන ආකාරයට වාර්තා කරන්නත් එපා. අගතියක් වන ආකාරයට වාර්තා කරන්නත් එපා. මෙය මැතිවරණ සමයේ පමණක් නොව අනෙක් කාලයටත් වලංගු විය යුතුයි.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති නීතීඥ කොග්ගල වෙල්ලාල බන්දු මහතා

මැතිවරණ සමයේදී මාධ්‍ය හැසිරවීම මත තමයි ගමට පළාතට හා රටට වැඩකරන නායකයන් තෝරාගත හැකි වන්නේ. ඒ නිසා මාධ්‍ය නිවැරැදිව හා සාධාරණය වාර්තාකරණය කළ යුතුයි. මාධ්‍ය සාධාරණව වාර්තා නොකළහොත් රටටත් ගමටත් අවාසනාවන්ත තත්ත්වයක් උදාවෙනවා. සමහර රටවල එවැනි අවස්ථා වෙලා තිබෙනවා.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂ නීතිඥ නිමල් පුංචිහේවා, පැෆරල් සංවිධානයේ මංජුල ගජනායක යන මහත්වරු, ශ්‍රී ලංකා පත්‍ර කළා සංගමයේ සභාපති පැතුම් පැස්කුවල් , මහ ලේකම් පැතුම් වික්‍රමරත්න , ජාතික ලේකම් ප්‍රසන්න අධිකාරී , ජාතික සංවිධායක උපුල් ජයසිංහ ඇතුළු නිලධාරීන් , මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.