මහ බැංකු බැඳුම්කරය, දේශපාලනය සහ කොප් වාර්තා

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධුරය සඳහා තමා පත් වූ පසු සිදු වූ එකම වෙනස නම් වැරදි හෙළිදරව් කළ හැකි යාන්ත්‍රණයක් පාර්ලිමේන්තුව තුළ තිබෙන බව රටවැසියන් දැන ගැනීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“වෙච්ච එකම වෙනස දූෂිතයන්ට දඬුවම් ලැබුණු එක නොවෙයි. රාජ්‍යය ආයතනවල කාටවත් දඬුවම් ලැබුණු දේ නෙමෙයි සිදු වුනේ. එවැනි වරදවල් හෙළි කළ හැකි යාන්ත්‍රණයක් පාර්ලිමේන්තු ක්‍රමය තුළ තිබෙන බව රට දැන ගත්ත එකයි සිදු වුනේ”

බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහ බැංකු අධිපතිවරයා සහ ඔහුගේ බෑණනුවන් සම්බන්ධ නොවී නම් අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ දී ප්‍රශ්නයක් පැන නොනගිනු ඇති බව ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් ඔස්සේ සජීවී සංවාදයකට එක් වෙමිනි.

දේශපාලන සම්බන්ධතාවක් නොමැති මහ බැංකුවේ සාමාන්‍ය නිලධාරියෙකු අතින් මෙවැනි වරදක් සිදු වූවා නම් මහ බැංකුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇත්තේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරය

“මහ බැංකුවේ තිබෙන මූල්‍ය නීතිරීති, රෙගුලාසි අනුව දඬුවම් දෙන්නේ නැද්ද?”

මහ බැංකුව විසින් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගනු නොලැබුවේ “ළබැඳියාවන් අතර පවතින ගැටුමක්” හේතුවෙන් යැයි ඔහු සඳහන් කළේය.

“සාමාන්‍ය නිලධාරියෙක් හෝ සාමාන්‍ය ආයතනයක් මේ වරද කරා නම් ගන්න ක්‍රියාමාර්ග, අධිපතිවරයා සහ ඔහුගේ බෑණනුවන් සම්බන්ධයෙන් අරගත්තද?”

එමෙන්ම සාමාන්‍ය නිලධාරියෙකු හෝ වෙනත් ආයතනයක් විසින් එවැනි “වරදක්” සිදු කළේ නම් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගත්තේ දැයි ඔහු ආණ්ඩුවෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් ද ප්‍රශ්න කරයි.

“ගත්තේ නැහැ. ඒ නිසා තමයි මේක පාර්ලිමේන්තුවට ආවේ. පාර්ලිමේන්තු ක්‍රමය තුළ තිබෙන කෝප් කමිටුවේ කාර්ය භාරය වශයෙන් පරීක්ෂණයක් සිදු කිරීම පමණයි මම කළේ”

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හා සම්බන්ධ පුද්ගලයන්ගේ තිබෙන “දේශපාලන බර” හේතුවෙන් එය මහා හෙළිදරව්වක් වශයෙන් මාධ්‍ය විසින් විග්‍රහ කරනු ලැබූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“ඕක විපක්ෂයේ කවුරු හරි සම්බන්ධ වූ ගනුදෙනුවක් නම් මේ වෙන කොට හිරේ ගිහිනුත් ඉවරයි”

“බැඳුම්කර වංචාව පමණක් නොවෙයි, වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ ගනුදෙනුව, ගල් අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුව, ජාතික ලොතරැයි මණ්ඩලයේ සිදුව ඇති ගනුදෙනු, විදුලිබල මණ්ඩලයේ සිදුව ඇති වංචා, තෙල් සංස්ථාවේ හෙජින් ගනුදෙනුව, මේ ගොඩක් දේවල් මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා

මේ වනවිට කෝප් වාර්තා හතරක් පාර්ලිමේන්තුව වෙත නිකුත් කරනු ලැබ ඇති බව කී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තවත් වාර්තාවක් ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

“වංචා සිදු වූ ආයතන වශයෙන් ගත්තොත් හැටක් විතර, මුදල් අතින් ගත්තොත් රටේ ජාතික ආදායමට වැඩි ප්‍රමාණයක් මේ වනවිට අප අනාවරණය කර තිබෙනවා. ඇයි මේවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ?”

ඊට හේතුව වශයෙන් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ නිසි ක්‍රියාමාර්ග ගෙන දඬුවම් ලබා දෙන්නේ නම් පළමුව ඊට වරදකරුවන් වන්නේ “ලොකු පුද්ගලයන්” බවය.

“ලොකුම කට්ටියට තිබෙනවා දේශපාලන රැකවරණ. ඒකයි ප්‍රශ්නය”

පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වය දරන ආණ්ඩුවේ නියෝජිතයන් පවා එම කාරක සභාව තුළ විවෘතව කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ද නිර්දේශ කර ඇත්තේ කොප් කමිටුවේ නිර්දේශම බවත් ඔහු පෙන්වා දෙයි.

“කොප් කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා ඇරෙන්න ආණ්ඩුවට වෙන විකල්පයකුත් නැහැ. ඒ නිර්දේශ ක්‍රියාත්මක නොකළොත් ආණ්ඩුවට කියන්න තියෙන්නේ මොකක්ද?”

“මහ බැංකු අධිපතිවරයා වරදක් කර නැත. ඔහුගේ බෑණනුවන්ගේ සමාගමෙන් කිසිඳු වරදක් වී නැත”

පවතින ආණ්ඩුවක චෝදනා ලත් යම් කිසි ඇමතිවරයෙක් සිටී නම් ඔහු මීළඟට බලයට පැමිණෙන ආණ්ඩුවට ගොස් ඒවායින් ආරක්ෂා වී සිටීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

“අපේ රටේ දේශපාලන සංස්කෘතිය හැදිලා තියෙන්නෙම හොරකම් ආරක්ෂා කරන පදනමකින්. දූෂිතයන්ට දඬුවම් නොලැබෙන්නේ ඇයි?”

එම දේශපාලන සංස්කෘතිය වෙනස් නොකරන තෙක් දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ” ජනතාව ඡන්දය දෙන්නේ නැවත නැවතත් එවැනි චෝදනා තිබෙන අයටමයි”යනුවෙන් වැඩිදුරටත් කියා සිටියේය.

බැඳුම්කර ගනුදෙනු ප්‍රශ්නය ඉක්මණින් නිරාකරණය කරගත යුතුව ඇති බව පසුගිය වසරේ නොවැම්බර් 21 වෙනිදා පාර්ලිමේන්තුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මහ බැංකු බැඳුම්කර ගැටලුව විමර්ශනය සඳහා තමන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනවාරි 22 වෙනිදා නිවේදනය කළේය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.