බුදුන්ට අපහාස කරන්නවුන් හත් පොලේ ගැසිය යුතුද?

දහම් කෙරෙහි අපහාසාත්මක අයුරින් කටයුතු කිරීම පොදුවේ වර්තමාන සමාජයේ දක්නට ඇති ලක්ෂණයකි. මේ පිළිබඳ ව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් කුමක්දැ’යි විමසා බලමු.

දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙන්

 

 පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත.

“බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?

භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝපවූ අමනාපවූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.

බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහිදී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරනා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුල නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත්නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ”

ඕනෑම කෙනෙකු ට ඕනෑම ආගමිකයෙකු ට කවර වූ හෝ කාරණයක් උන්වහන්සේ පැහැදිලි කර දුන්නේ කාරුණිකත්වයෙන් හා මුදු මොලොක්භාවයෙන් යුක්තව ය. උන්වහන්සේ කිසි විටෙකත් තම දේශනයෙන් අන්‍යයන් ප්‍රකෝපය ට පත් නොකළහ. බුදුන් වහන්සේගේ ආගමික සහනශීලිතාවන් පැහැදිලි වන්නේ සියලුම ආගමික දෘෂ්ටීන් කෙරෙහි දැක්වුයේ මිත්‍රශීලී සුහද ආකල්පයක් බවයි.

බුදුන් වහන්සේ ධම්ම පදයෙහි දේශනා කර වදාළ අයුරු ක්‍රෝධය, වෛරය පැරදවීම සඳහා කළයුතු ක්‍රියා මාර්ගයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

අක්කොධෙන ජිනේ කෝධං

අසාධුං සාධුනා ජිනේ

ජිනේ කදරියං දානෙන

සච්චෙන අලිකවාදිනං

අර්ථය: ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නොකිරීමෙන් ඔහු පැරදවිය යුතුයි, හෙවත් ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතුය. තද මසුරා යම් යම් දේ දීමෙන් ජයගත යුතුය. බොරු කියන්නාව ඇත්ත කීමෙන් පැරදවිය යුතුය.

න හි වෙරෙන වේරානි

සම්මන්තීධ කුදාචනං

අවෙරෙන ව සම්මන්ති

එස ධම්මො සනන්තනො

අර්ථය: මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි.

දීර්ඝ වශයෙන් බුදු දහමේ සාමයික සහජීවනය පිළිබඳ ව කරුණු සාකච්ඡා කරන්න ට අදහස් කරනු ලැබුවේ  බුදුන් වහන්සේ හා උන්වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ දෙසු දහම විකෘති කරමින් සමාජයේ වෛරය හා ද්වේෂය වපුරන්න ට වර්තමානයේ පිරිසක් ඉදිරිපත් වී ඇති හෙයිනි. අපට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ට යුද කරන්න ට සිදු වුයේ ද්‍රවිඩ ජනයා සමග තිබු වෛරයක් නිසා නොවන බව සැවොම ඉතා හොඳින් දන්නා සත්‍යයකි. එහෙයින් මෙම කරුණු මගින් සනාථ වන්නේ බුදු දහම අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය අනුමත නොකරන බව ය.

උපුටා ගැනීම http://yayuthumaga.com/new/?p=3555

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.