බලය බෙදීම හා කොරෝනා පාලනය

 

සුගිය සතියේ මෙරට වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ කොරෝනා රෝගී තත්ත්වයයි. 2019 දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් පළාත කේන්ද්‍රගතව ආරම්භ වූ මෙම වසංගත රෝගී තත්ත්වය මේ වනවිට මුළුමහත් ලෝකය පුරාම ව්‍යාප්තව ඇත. අප රටේ ද මුල් ශ්‍රී ලාංකික රෝගියා හඳුනා ගනු ලැබුවේ පසුගිය සතියේදීය. ඉන් අනතුරුව මෙම ලිපිය ලියන මොහොතේදී රෝගීන් සංඛ්‍යාව 59ක් දක්වා වර්ධනය වී ඇත. කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය ලංකාවෙන් හඳුනා ගැනීමෙන් පසුව එය පාලනයට හා මර්දනය පිණිස ජනාධිපතිවරයා සෘජු ක්‍රියාමාර්ග ගත්තේය. විශේෂයෙන්ම මීට වසරකට පමණ ආසන්න කාලයකට පෙර සිදුවූ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට බලධාරීන් පියවර නොගැනීම පිළිබඳව චෝදනා එල්ල වීම හා සැලකීමේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් සෞඛ්‍ය අංශ මගින් දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් ලංකාවේ රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්හි දේශපාලනික පසුබිම මෙහිදී සාකච්ඡා කිරීම වැදගත් වේ.

ජනාධිපතිවරයා මෙහිදී යුද හමුදාපතිවරයා කැඳවා නිරෝධායන මධ්‍යස්ථාන රට පුරා ඇති කිරීමට උපදෙස් දුන්නේය. ඒවා මේ වනවිට පළාත් මට්ටමින් ක්‍රියාත්මකව පවතී. තවද රට පුරා සියලු පාසල් වසා දැමීමටත්, සමස්ත රාජ්‍ය සේවයට සහ පෞද්ගලික අංශයට අදාළව දින කිහිපයක නිවාඩුවක් දීමත්, විශේෂයෙන් ගුවන් මගින් වෛරසය තවදුරටත් ඇතුළු වීම වැළැක්වීමට සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් නතර කිරීමටත් ගුවන් මගින් මේ වනවිට පැමිණි මගීන් නිරෝධායනයට ලක් කිරීමටත් පියවර ගෙන තිබේ.

මෙහි ඇති දේශපාලනික කාරණා වනුයේ ලංකාව වැනි කුඩා රටක ජනතාවගේ විධායක බලය මධ්‍යගතව ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබීම තුළ මෙවැනි ආපදා තත්ත්වයකදී කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට හේතුවක් වනු ඇති බවයි. විශේෂයෙන් මුල් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවනු ලැබුවේ මඩකළපුවේ සහ පොළොන්නරුවේ කන්දකාඩු ප්‍රදේශයේදීය. මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයෙන් විරෝධයක් මතු වුවද එම තීරණ ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ ජනාධිපතිවරයාට සහ මධ්‍යම රජය සතුව ඇති විධායක බලතල හේතුවෙනි. එම නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව වැලිකන්ද රෝහල ද කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාදිය හැකි ආකාරයට යුහුසුළුව සියලු පහසුකම් ලබාදීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණි. ඒ අනුව යුද හමුදාවේ සහායෙන් එම රෝහල එම කාර්යයට අනුරූප වන ආකාරයට සැකසීමට හැකියාව ලැබුණි. ​මේ වනවිට ඉතාලියෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් බහුලව වෙසෙන පුත්තලම දිස්ත්‍රික්කයේද නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත.

මෙම තීන්දු තීරණ සෘජුව ගැනීමට හා ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ ඉඩම් බලතල මධ්‍යම රජය යටතේ පැවතීම නිසයි. විශේෂයෙන්ම පළාත් සභා ක්‍රමය යටතේ ඉඩම් හා පොලිස් බලතල පළාත් සභා​ වෙත ලබාදී තිබුණේ නම් මෙවැනි සෘජු තීරණ ගැනීමට පෙර පළාත් සභාවේ අනුමැතිය ගැනීමට මධ්‍යම රජයට සිදුවිය හැක. යම් ලෙසකින් යම් පළාත් සභාවක් එම බල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ඇති කිරීමට විරුද්ධ වුවහොත් නැතහොත් තම පළාතේ නොවන පුද්ගලයන් සම්බන්ධයෙන් රෝග නිරෝධායනයේ වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඇතිවන තත්ත්වය මීට වෙනස් විය හැක. විශේෂයෙන්ම අප රටේ සෞඛ්‍ය සේවය යටතේ වුවද එය පළාත් සභාවට අයත් විෂයක් වුවද මධ්‍යම රජයට ඕ නෑම අවස්ථාවකදී සෞඛ්‍ය සේවය සම්බන්ධ සෘජු තීන්දු, තීරණ ගැනීමට හැකියාව ඇත. මීට අමතරව යම් ප්‍රදේශයක් ඉලක්ක කරමින් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට අදාළව වසා දැමීමක් (Lock Down) කිරීමට අවශ්‍ය වුවහොත් හෝ ඇඳිරි නීතිය පැනවීමට අවශ්‍ය වුවහොත් පොලිස්පතිවරයා හරහා රටේ ඕනෑම ප්‍රදේශයකට එම කාර්ය කිරීමට මධ්‍යම රජයට හා ජනාධිපතිවරයාට හැකියාව ඇත. එහෙත් පොලිස් බලතල පළාත් සභා වෙත ලබාදී තිබුණේ නම් එය ක්‍රියාත්මක වනුයේ පළාත් පොලිස් ප්‍රධානියා වෙත මහ ඇමැතිවරයා දෙන නියෝගයකිනි. මධ්‍යම රජය සමග සහයෝගයෙන් කටයුතු නොකරන පළාත් සභාවක් වුවහොත් එවැනි තීරණයක් ගැනීම ලෙහෙසි පහසු නොවනු ඇත.

විශේෂයෙන්ම ජාත්‍යන්තර තත්ත්වය දෙස බැලීමේදී ඉන්දියාව, ඇමෙරිකාව, කැනඩාව වැනි විශාල රාජ්‍යයන් සහසංධීය හෝ සංධීය රාජ්‍යයන් වේවා ඒවා සංධීය වූයේම විශාලත්වය අනුව එකට කටයුතු කිරීමේ අවශ්‍යතාව මතය. ඒ රාජ්‍ය මුල් කාලයේ කුඩා ඒකක ලෙසට පාලනය වී පසුකාලීනව කුඩා රාජ්‍යයන් එක්වීමෙන් සංධීය රාජ්‍ය බිහිවී ඇත. එසේ හෙයින් එම ප්‍රාන්ත රාජ්‍ය වෙත හදිසි ආපදා තත්ත්වයකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව වගකීම පවරා ඇත. විශේෂයෙන් කැනඩාව ගතහොත් මෙම වෛරස් තත්ත්වය ඇතිවීමත් සමග මධ්‍යම රජය වශයෙන් සහ ප්‍රාන්ත රාජ්‍ය වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග වෙන් වෙන්ව බලතල පැවරී ඇත. එහිදී මධ්‍යම කැනඩා රජය ප්‍රාන්ත රාජ්‍යයන් සමග සම්බන්ධීකරණයකින් කටයුතු කරනු ලබයි. විශේෂයෙන්ම එහිදී මධ්‍යම රජය පවසා ඇත්තේ වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට යහපාලනයේදී සෞඛය සේවාවන් ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රාන්ත රාජ්‍යයන් හට ඇති බවත්ය. ඊට අදාළව මධ්‍යම රජය විසින් ෆෙඩරල් ඒකක වෙත ඩොලර් මිලියන 500ක මුදලක් දීමට තීරණය කර ඇත. එහි අරමුණ වනුයේ රෝහල් සහ සෞඛ්‍ය අංශයන්හි ක්‍රියාකාරීත්වයේ වගකීම ප්‍රාන්ත රාජ්‍යයන් වෙත දීමයි. රාජ්‍ය ගණනාවක එකතුවක් වූ කැනඩාව තුළ එවැන්නක් ක්‍රියාත්මක කිරීම පහසුවක් වුවද ලංකාව වැනි රටක බලය බෙදාහැරීමක් කර තිබුණේ නම් (Devolution of Power) විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානයේ බලය ක්‍රියාත්මක කරන උතුරු නැගෙනහිර ප්‍ර​දේශවල මධ්‍යම රජයේ පරමාර්ථයන්ට අනුරූප ක්‍රියාකාරීත්වයක් දැකීම අපහසු විය හැක.

ඇමෙරිකාව ගතහොත් එහිදී මෙම ආපදා තත්ත්වයට අදාළව ඇතැම් ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් වෙත පවරා ඇත. ෆෙඩරල් ප්‍රවාහන ඒකකයේ පාලකවරයා වශයෙන් කටයුතු කරන කේ. ජෙන් විලියම්ස් හදිසි ආපදා තත්ත්වයකදී දුම්රිය, බස් රථ වැනි අභ්‍යන්තර පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධ වගකීම් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් වෙත පවරා ඇත. විශාල රාජ්‍යයක් වූ ඇමෙරිකාවට එසේ කටයුතු කිරීම පහසුවකි. ඇතැම් ප්‍රාන්ත ගතහොත් ලංකාවේ භූමි ප්‍රමාණයටත් වඩා විශාල වේ. එවැනි පසුබිමක එසේ කටයුතු කිරීම පහසුවක් වුවද ලංකාව වැනි කුඩා රටක අභ්‍යන්තර ප්‍රවාහනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පහසුවක් වනුයේ එම බලතල මධ්‍යම රජයේ ඍජු පාලනයට යටත්ව තිබීම තුළ පමණි. අසල්වැසි ඉන්දියාව ගත්තේ වුවද ආපදා තත්ත්වයට අදාළ ඇතැම් ක්‍රියාමාර්ග ගැනීම සිදුවනුයේ ප්‍රාන්තවල මහ ඇමැතිවරුන්ගේ තීරණයන් මතය. විශේෂයෙන් දිල්ලි රජයේ මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන අරවින්ද් කෙජ්රිවාල් පසුගිය මාර්තු 12 වැනි දින දිල්ලි ප්‍රාන්තයේ සියලුම පාසල්, විශ්වවිද්‍යාල, සිනමා ශාලා මාර්තු 31 වනතෙක් වසා දැමීමට නියෝග කළේය. මීට අදාළව සිදුවන නිරෝධායන ක්‍රියාවලියද ප්‍රාන්ත රාජ්‍යයේ මෙහෙයවීම යටතේ සිදුවේ. මීට අමතරව කේරළ ප්‍රාන්තයේද හර්යානා ප්‍රාන්තයේද වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග විවිධත්වයක් දරයි. කෙසේ වෙතත් ලංකාවේ තත්ත්වය දෙස බැලීමේදී පළාත් සභාවලින් පාලනය වන සහ මධ්‍යම රජයෙන් පාලනය වන පාසල්, විද්‍යා ආයතන සියල්ල වසා දැමීමට අදාළ තීරණය ගැනීමට මධ්‍යම රජයේ අමාත්‍යවරයාට හැකියාව තිබුණි.

මේ ආකාරයට ජාත්‍යන්තර උදාහරණ සමග විමසීමේදී හදිසි ආපදා තත්ත්වයකදී ලංකාව වැනි රටක ගතයුතු හා ගත හැකි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමටත්, හානිය අවම කරගැනීමටත් සැකසී ඇති දේශපාලනික යාන්ත්‍රණය වඩාත් කාර්යක්ෂම බව පෙනේ. මෙවැනි වසංගත උවදුරකදී වේවා ස්වභාවික ආපදාවකදී වේවා රටේ අභ්‍යන්තර කැරලි කෝලාහලයකදී වේවා ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම දේශපාලනික කරුණකි. එවැනි අවස්ථාවක අප රටේ බලය මධ්‍යම රජය හරහා විමධ්‍යගත කර (De-Centralization) පමණක් තිබීම බලය බෙදාහැරීම (Devolution of Power) වඩා වාසිදායක බවත්, එහිදී විධායක ජනාධිපති ධුරය වටා කේන්ද්‍රගතව ඇති විධායක බලතලද සුවිශේෂී ලෙස වැදගත් බවත් පෙනේ.

ඇත්තටම ලංකාව වැනි පුංචි රටකට බලතල මධ්‍යගත කර තිබීම අත්‍යවශ්‍ය කරුණකි. විශේෂයෙන් ආපදා තත්ත්වයකදී, ව්‍යසන අවස්ථාවකදී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එය පහසුවකි. අපේ රටේ ස්වයං පාලනයක් ඇති කිරී‍මේ අවශ්‍යතාවක් නැති බව මෙවැනි අවස්ථාවකදී පැහැදිලි වේ. විදුලිය, ප්‍රවාහනය, සෞඛ්‍යය යන විෂයන් සම්බන්ධයෙන් පළාත් සභාව සහ මධ්‍යම රජය අතර සම්බන්ධයක් තිබිය යුතුය. තවද ආහාර බෙදාහැරීම වැනි විෂයන් පළාත් සභාවලින් පමණක් පාලනය කළහොත් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර වැනි බෙදුම්වාදය ක්‍රියාත්මක වූ ප්‍ර‍දේශවල ඒ දේශපාලන නායකයන්ගේ දේශපාලන වුවමනාවන් සපුරා ගැනීමට ඒවා අවස්ථාවක් කරගැනීමට ඉඩ තිබේ. මෙවැනි අවස්ථාවකදී ආපදා තත්ත්වයක්, වසංගතයක් මර්දනය කිරීම පහසු නැත. විශේෂයෙන් පොලිස් ඉඩම් බලතල 13 වැනි සංශෝධනයෙන් බෙදලා දී තිබුණත් එම බලතල පළාත් සභාවලට තවමත් දී නැත. එවැනි අවස්ථාවක් තිබුණේ නම් මඩකලපුවේ, කන්දකාඩුවල නිරෝධායන මධ්‍යස්ථාන ඇති කිරීමට පහසු නොවනු ඇත. මක්නිසාද යත් දෙමළ සංවිධානය බොහෝවිට මධ්‍යම රජයේ ක්‍රියාමාර්ගවලට විරුද්ධව වැඩ කරන බැවිනි.

ජාත්‍යන්තර සාධක ගතහොත් ඇමෙරිකාව හෝ ඉන්දියාව වැනි රටවල් සමග මෙය සංසන්දනය කිරීමට ​නොහැකිය. එම සන්ධීය රටවල් එම තත්ත්වයට පත්වූයේ කුඩා රටවල් වශයෙන් පාලනය වී පසුව එක රටක් වශයෙන් එකතු වීය. නමුත් අපේ රටේ කුඩා රට බෙදීම වූ කලී වෙනත් කරුණකි. එහි හානිදායක තත්ත්වය මෙවැනි ආපදා අවස්ථාවකදී හොඳින් අපට පෙනේ. මෙය හරියට තේ වත්තක අයිතිකාර තාත්තා කෙනෙක් ෆැක්ට්‍රිය එක පුතෙක්ගේ නමට සහ තේ වත්ත තව පුතෙක්ගේ නමට ලියලා දෙනවා වගේ වැඩකි. දෙදෙනා අතර විරසකයක් ඇතිවුවහොත් තේ ෆැක්ට්‍රියෙන් තේ නිෂ්පාදනය අඩාළ ​වේ. එබැවින් අපේ රටට ගැළපෙන්නේ මධ්‍යගත පාලනයක් මිසක් බලය බෙදීමක් නොවේ.

ජනාධිපති නීතීඥ  මනෝහාර ද සිල්වා

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.