බරපතල දූෂණ, වංචා, පවත්නා නීතිය සහ දඬුවම් දීමේ ඉතිහාසය

කොමිෂන් වාර්තාවImage 

“දූෂණයට” වැරදිකරු කෙරුණු දේශපාලනඥයකු යළිත් කිසිදු අවස්ථාවක මහජන නියෝජිතයකු වශයෙන් පත්වීම හෝ එසේ පත්වීම සඳහා අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත්වීමට නුසුදුස්සන් බවට පත්කරමින් නීති සම්පාදනය කළ යුතු බව බරපතළ වංචා, දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරිපත් කළ නිර්දේශයක සඳහන් වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ “දූෂණය” යන වරද සිදු කර තිබෙන බව ද කොමිෂන් සභාවේ නිර්දේශයකි.

අල්ලස් පනත යටතේ රටේ ප්‍රධාන පෙළේ දේශපාලකයන් ගණනාවකට නඩු පවරන ලෙස නිර්දේශ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත භාර දෙනු ලැබූ පරීක්ෂණ 34ක අවසන් වාර්තාවත් බැඳුම්කර විමර්ශන වාර්තාවට සමගාමිව ප්‍රකාශයට පත් කෙරුණි.

එහෙත් පසුකාලයක සම්පාදනය කරන නීතියක් යොදා ගනිමින් කිසිවකු විසින් අතීතයේ සිදු කරන ලද වරදක් සම්බන්ධයෙන් දඬුවම් කළ හැකිද?

ඒ පිළිබඳව නීතිවේදීහු එකිනෙකට පරස්පර නීති තර්ක මතුකරති.

‘අතීතයේ දී සිදු කරන ලද වරදක් සම්බන්ධයෙන් අලුත් නීතියක් පණවා කිසිවෙකුටත් දඬුවම් කළ නොහැක’ යන්න ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේගේ තර්කය විය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි වගන්තියේ තියෙනවා වගන්තියක්. ඒක අනුව එහෙම නීති ගේන්න බෑ. එහෙම කළොත් අධිකරණයට ගිහිල්ල ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන්.”

මහින්ද රාජපක්ෂImage copyrightGETTY IMAGES
Image captionහිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු පැවරිය හැකිද?

එහෙත් නීතිවේදී උපුල් කුමාරප්පෙරුම පවසන්නේ, සේපාල ඒකනායක ‘අලිතාලියා’ ගුවන් සේවයේ යානයක් පැහැරගත් අවස්ථාව වැනි සිද්ධීන් වලදී ශ්‍රී ලංකාව මින්පෙර අතීතයට බලපාන ආකාරයට නීති සම්පාදනය කර වැරදිකරුවන්ට දඬුවම් දී තිබෙන බවය.

එමෙන්ම බැඳුම්කර ගනුදෙණුව මගින් ශ්‍රී ලංකාවේ ජනතාවට සිදු වූ අලාභය පියවා ගැනීම පිණිස අවශ්‍ය නම් අලුතින් නීති සම්පාදනය කරන මෙන් බැදුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසම විසින්ද නිර්දේශ කර තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

“ඒක ලංකාවට අලුත් දෙයක් නෙවෙයි. ඒ නිසා ජනාධිපති කොමිසමෙන් කරපු නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ ගැටලුවක් ඇතිවෙයි කියල හිතන්න ටිකක් අමාරුයි,” නීතිවේදී උපුල් කුමාරප්පෙරුම මාධ්‍ය වෙත  පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පසුගිය දෙවසරක කාලයක් මුළුල්ලේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණ සාක්ෂි දුන්හ.

සිරිමාවෝ බණ්ඩාරනායකImage copyrightGETTY IMAGES
Image captionජේආර් ජයවර්ධන පාලනය සමයේ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියට ප්‍රජා අයිතිය අහිමි කරනු ලැබිණ

2015 මාර්තු 3 වෙනි දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් වසරක කාලයක් සඳහා එය පත්කරනු ලැබුවේ 2010 ජනවාරි 10 සිට 2015 ජනවාරි 10 දක්වා සිදුවූ බරපතළ වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහාය. පසුව කොමිෂන් සභාවේ ඉල්ලීම ප්‍රකාර එහි කාලය තවත් මාස 18කින් දිගු කෙරිණ.

එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් කොමිසමේ මුල් සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු පසුව එයින් ඉල්ලා අස්විය.

  1. අභියාචනාධිකරනයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන – සභාපති
  2. මහාධිකරණ විනිසුරු මෙන්ඩිස් සෙනවිරත්න – සාමාජික
  3. මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග – සාමාජික
  4. මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි – සාමාජික
  5. විශ්‍රාමික විගණකාධිපති – ආරච්චිගේ පේමතිලක

යන පස් දෙනා වාර්තාව ලබාදෙන විට එහි කොමසාරිස්වරු ලෙස කටයුතු කළහ.

“දූෂණය” යටතට වැටෙන වරද යටතේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය යුතු බව එහි ප්‍රධානම නිර්දේශයකි.

 

එහෙත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු පැවරිය හැකිද?

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ චන්ද්‍රපාල කුමාරගේ සහ උපුල් කුමාරප්පෙරුම යන නීතිවේදීන් දෙදෙනාම සඳහන් කළේ ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී තිබුණු මුක්තිය අහෝසි කරනු ලැබ තිබෙන බවය.

එමෙන්ම 19 වෙනි සංශෝධනය සම්මත කිරීමට පෙරත් “වෝටර්ස් එජ්” ගනුදෙණුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට එරෙහිව පවරන ලද නඩුවකින් ඇය වැරදිකාරිය බව තීන්දු කර තිබෙන බවත් ඔවුහු පෙන්වා දුන්හ.

තවත් කියවන්න:

“කලින් නීතිය අනුව පදවියේ සිටින විට මුක්තියක් තිබුණ නමුත් ජනාධිපති පදවියෙන් ගියාට පස්සේ ඒ මුක්තිය නැතිවෙනවා. දැන් කොහොමටත් ඒ මුක්තිය නැතිවෙලා තියෙන්නේ,” නීතිවේදී

එබැවින් කොමිසමේ නිර්දේශ ප්‍රකාර පවත්නා අල්ලස් නීතිය යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නඩු පැවරිය හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ පවසන අතර, නීතිවේදී උපුල් කුමාරප්පෙරුමගේ තර්කය වී තිබෙන්නේ නව නීති සම්පාදනය කිරීමෙන් පසුව පවා ඔහුට එරෙහිව නඩු පැවරීමේ හැකියාව පවතින බවය.

කොමිෂන් සභාවට ලැබුණු පැමිණිලි 1599ක් අතරින් පැමිණිලි 1198ක් කොමිෂන් සභාවට අනුකුල නොවීම් හේතුව මත ප්‍රතික්ෂේප කර තිබේ. ඉන් අනතුරුව කොමිෂන් සභාවේ විමර්ශන ඒකකය විසින් පැමිණිලි 401 මූලිකව විමර්ශනය කර එයින් පැමිණිලි 34ක් කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

කොමිසම විසින් නඩු පැවරීමට නිර්දේශ කළ ප්‍රධාන පෙළේ දේශපාලකයන් කවුද ?

  • 1. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ – ස්වාධීන රූපවාහිනියට මුදල් නොගෙවීමේ පෙත්සම
  • 2. හිටපු ඇමති බැසිල් රාජපක්ෂ – රාජ්‍ය මුදල්/සම්පත් අවභාවිතාව පිළිබඳ පෙත්සම
  • 3. හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ – නාවලපිටිය දුම්රිය ඉඩම් පෙත්සම
  • 4. හිටපු ඇමති විමල් වීරවංශ – නිවාස අමාත්‍යංශයේ අක්‍රමිකතා පෙත්සම
  • 5. හිටපු ඇමති සරත් කුමාර ගුණරත්න – ධීවර සංස්ථාවේ මුදල් අවභාවිතය පිළිබඳ පෙත්සම
  • 6. හිටපු ඇමති ජගත් පුෂ්පකුමාර – හලාවත/කුරුණෑගල වැවිලි සමාගම්වල අක්‍රමිකතා පෙත්සම
  • 7. හිටපු ඇමති මහින්ද යාපා අබේවර්ධන – අයථා ක්‍රියා පිළිබඳ පෙත්සම
  • 8. උතුරු මැද හිටපු මහ ඇමති එස්එම් රංජිත් – දුෂණ චෝදනා පෙත්සම
  • 9. හිටපු ඇමති පියංකර ජයරත්න – ශ්‍රී ලංකන් කේටරින් සහ ගුවන් සේවයේ අක්‍රමිකතා පෙත්සම
  • 10. පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ – මහියංගන ප්‍රාදේශීය සභාවේ අක්‍රමිකතා පෙත්සම
  • 11. දෙහිවල හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග – රක්නා ආරක්ෂක ලංකා පෙත්සම
  • 12. හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා – රක්නා ආරක්ෂක ලංකා පෙත්සම
  • 13. හිටපු කෝට්ටේ නගරාධිපති ජනක රණවක – රක්නා ආරක්ෂක ලංකා පෙත්සම
  • 14. පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර – රක්නා ආරක්ෂක ලංකා පෙත්සම
  • 15. නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම – රක්නා ආරක්ෂක ලංකා පෙත්සම
  • 16. හිටපු අම්පාර නගරාධිපති ඉන්දික ජයවික්‍රම – අම්පාර දැයට කිරුළ මූල්‍ය වංචා පෙත්සම
  • 17. හිටපු මන්ත්‍රී පියසිරි විජේනායක – නීත්‍යානුකූල නොවන ආකාරයට පොලිස් ආරක්ෂාව ලබාදීමේ පෙත්සම
  • 18. හිටපු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් – නීත්‍යානුකූල නොවන ආකාරයට පොලිස් ආරක්ෂාව ලබාදීමේ පෙත්සම
  • 19. පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත – නීත්‍යානුකූල නොවන ආකාරයට පොලිස් ආරක්ෂාව ලබාදීමේ පෙත්සම
  • 20. හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා – ජාතික ගමනාගමන කොමිෂන් සභාව පිළිබඳ පෙත්සම

එයට අමතරව රාජ්‍ය නිලධාරීන් රැසකට සහ හමුදා ප්‍රධානීන් පිරිසකට එරෙහිව නඩු පවරන මෙන් ද කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම වැනි නිලධාරීන්ට එරෙහිව මෙන්ම, ජයනාත් කොළඹගේ හා ජයන්ත පෙරේරා හිටපු නාවික හමුදාපතිවරු ඒ අතර සිටිති.

එමෙන්ම ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව ද නඩු පැවරිය යුතු බව කොමිසමේ තවත් නිර්දේශයකි.

කලාකරුවකු වන ජැක්සන් ඇන්තනිට එරෙහිව නඩු පැවරිය යුතු බව කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙන්නේ හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවය ආශ්‍රිතව සිදුවූ දුෂණ හා මුල්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙනි. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් හිටපු හමුදාපති දයා රත්නායකට එරෙහිව එල්ලවී ඇති චෝදනාව ගැන වැඩිදුරටත් විමර්ශනය කිරීම අවශ්‍ය බව ද වාර්තාවේ සඳහන් වේ.

මෙවැනි බරපතල දූෂණ, වංචා සම්බන්ධයෙන් විශේෂයෙන්ම දේශපාලන නායකයන්ට දඬුවම් කිරීම පිළිබඳ උදාහරණ කවරේද?

බරපතල අල්ලස්, දූෂණ චෝදනා එල්ල වූ සිය ආණ්ඩුවේම මැති, ඇමතිවරුන් පිරිසක් සම්බන්ධයෙන් තල්ගොඩපිටිය කොමිෂන් සභාව පත් කළ එවක අගමැතිවරයා වූ එස්ඩබ්ආර්ඩී බණ්ඩාරනායක, කොමිසමේ නිර්දේශ ප්‍රකාර ඔවුන්ට දඩුවම් කළ බව එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ පෙන්වා දුන්නේය.

“තල්ගොඩපිටිය කොමිෂන් සභාවටම දඬුවම් දීමේ බලතල තිබුනා. ඒ අනුව ඒගොල්ලන්ගේ සිවිල් අයිතිවාසිකම් නැති කරලා, ඒගොල්ලන්ව නිලතලවලින් ඉවත් කළා.”

ඒ අතර, ජේආර් ජයවර්ධන පාලනය විසින් දූෂණ චෝදනා එල්ල කළ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකට පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් මගින් ප්‍රජා අයිතිය අහිමි කළ අවස්ථාව ද ඉතිහාසයේ සටහන්ව තිබේ.

එමෙන්ම රුපියල් කෝටි හාරසියයකට ආසන්න වැට් බදු වංචාවක් සම්බන්ධයෙන් වැරදිකරු වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට වසර එකසිය දෙකක බර පතල සිර දඬුවමකට යටත් කිරීම ද මෑතදී අවධානයට ලක් වූ ප්‍රධාන පෙළේ දූෂණ නඩුවකි.

‘මුදල් අය කර ගත්තා’

සිය පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙසින් රජයට අය විය යුතුව තිබු මුදල් අය කර ගැනීමට හැකිවූ බවද බරපතල දූෂණ, වංචා කොමිෂන් සභාව පවසයි.

පුද්ගලික සමාගමකින් රජයට ලැබිය යුතුව තිබු මිලියන හයකට ආසන්න මුදල ද, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාවට ගෙවීමට තිබු රුපියල් 20,503,476.07 යන මුදල ද පරීක්ෂණයේ ප්‍රතිපලයක් ලෙස ගෙවා දමා තිබෙන බවත් වාර්තාවේ සඳහන් වේ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබ සිටි බව පැවසෙන ඉඩම නැවත අත්පත් කරගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති බවත්, කොළඹ බාන්ස් පෙදෙසේ බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටි රුපියල් මිලියන 900ක් වටිනා ඉඩමක් නැවත නගර සභාවට පවරා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් එහි දැක්වේ.

කොමිසමේ පරීක්ෂණ 34න් වාර්තා කිහිපයක් සම්බන්ධ ඉදිරි නීතිමය කටයුතු නීතිපතිවරයා දැනටමත් ආරම්භ කර තිබේ; කොමිසමේ නිර්දේශ ප්‍රකාර හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්නට එරෙහිව බ්‍රහස්පතින්දා (ජනවාරි 25) නඩු පැවරීම සිදුවිණ.

දුෂණ වැළැක්වීමට කොමිසමේ අදහස ?

කොමිසම හමුවට පැමිණි දේශපාලකයන් රැසක්ට මුදල් වියදම් කිරීම සඳහා ඇති නීති රීති පිළිබඳව අවබෝධයක් නොමැති බවත්, එහි වගකීම රජයේ නිලධාරීන් ගත යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

තමන් කරන්නේ වැරදි ක්‍රියාවක් බව අදාළ නිලධාරීන් ප්‍රකාශ කළේ නම් ඔවුන් එම ක්‍රියාවන් වහාම නැවැත්වීමට කටයුතු කරවීමට හැකියාව තිබු බව ඔවුන් කොමිසම හමුවේ පවසා තිබේ.

මේ අතර රාජ්‍ය නිලධාරීන් බහුතරයක් කොමිසම හමුවේ පවසා තිබෙන්නේ වැරදි ක්‍රියා නිත්‍යානුකුල නොවන බව දැනගෙන සිටි නමුත් දේශපාලකයන්ගේ අනිසි බලපෑම් වලට බියෙන් එම ක්‍රියාවල නිරත වූ බවය.

මෙම පරීක්ෂණ කොමිසමේ කටයුතු හේතුවෙන් දේශපාලකයන් හා නිලධාරීන් රාජ්‍ය මුදල් හා සම්පත් නිවැරදි පරිදි භාවිත කිරීමට පෙළඹී ඇති බව කොමිෂන් සභාවේ නිගමනය වී තිබේ.

දුෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ඇති ආකල්ප වෙනස්කිරීමට විශාල වැඩකොටසක් සිදුකළ යුතු බවත් එහි විශාල වැඩකොටසක් ජනමාධ්‍ය වෙත පැවරී ඇති බවත් කොමිෂන් සභාව සිය වාර්තාව අවසන් කරමින් සඳහන් කරයි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.