බදුල්ල දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටළුව විසදන්න රු.මිලියන 20000 අවශ්‍යයි.

අධිරාජ්‍යවාදීන් දැඩි ලෙස මර්දනය කළ ඌවේ ජනතාව තවමත් විවිධ දුෂ්කරතාවලින් පීඩා විදිනවා. විශේෂයෙන් බදුල්ලේ වතු සහ කඳුකර ගම්මානවල ජනයා අදටත්, පානීය ජල ප්‍රශ්නය, සනීපාරක්ෂක වැසිකිලි නොමැතිවීම,මාර්ග දුෂ්කරතා නිසා දැඩි පීඩා විදිනවා.බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත පානීය ජල ගැටළුව විසදීම සඳහා රු.මිලියන 20,000 අවශ්‍ය බව ජල සම්පාදන මංඩලය පෙන්වා දෙනවා.මේ රටේ 99% ජනතාවට විදුලිය ලබා දුන්නා වගේම ,ඉදිරි වසර තුන තුළ මේ රටේ සෑම නිවසකටම පිරිසිදු පානීය ජලය ලබාදීමට අගමැතිතුමාගේ උපදෙස් පරිදි දැනටමත් අපේ රජය කටයුතු අරඹා ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,බදුල්ල දිස්ත්‍රික්කයේ වතු හා ගම්මාන ආශ්‍රිත දුෂ්කර මාර්ග සංවර්ධන වැඩ සටහන යටතේ රුපියල් මිලියන 1500 ක වියදමින් හාලිඇල ආසනයේ ඉදි කළ මාර්ග විවෘත කිරීමේ උත්සව මාලාවේ කුරුකුදේ පැවති ජනහමුවේදීය. මෙම වැඩ සටහන යටතේ කුඩා මාර්ග 60 කට ආසන්න ප්‍රමාණයක් ඉදි කළ බව අමාත්‍යවරයා පැවසීය. හාලිඇල ආසනයේ කොස්ගහතැන්න වතු කොටස,මහතැන්න ගම්මැද මාර්ගය, පල්ලෙවෙල, පෙරහෙට්ටිය මුල්ලෙආරාව, මාලිගාතැන්න වැවකොටස, ගෙදරගොඩහින්න මාර්ගය,කුඩුමහවෙල කුරුදුගහ උල්පත මාර්ගය, කටුගහ වැලිආරාව බෝඹුගොල්ල යන මාර්ග මෙදින අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරින.

මෙහි දි තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ,බදුල්ලේ පානීය ජල ප්‍රශ්නය තැන තැන විසිරී ඇති බවත්,ඒවාට තැන තැන කොටස් වශයෙන් විසඳුම්දීම පලක් නොවන බවත්,බදුල්ල දිස්ත්‍රික්කය සඳහාම සමස්ථ විසඳුමක් වත්මන් රජය ඉදිරි වසර තුන තුළ දි ලබා දෙනු ඇති බවය.එසේම වතු සහ ගම්වල අවශ්‍ය ජනයාට සනීපාරක්ෂක වැසිකිලි පහසුකම් ආධාර ලබාදීමේ වැඩසටහනක් ඉක්මනින් අරඹන බව ද අමාත්‍යවරයා මෙහි දි ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවන්ට හාලිඇල ප්‍රාදේශීය සභාවේ අසේල දිසානායක, චමින්ද ප්‍රියදර්ශන, මහින්ද ජයවර්ධන යන මංත්‍රිවරු ද එක් වූහ.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.