පුරාණ ලංකාවේ දණ්‌ඩ නීති සංග්‍රහය



ආදි යුගයේදී පෙරදිග රාජ්‍ය අතුරින් ලංකාව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කප්ගසා සිටි බවට තොරතුරු හෙළිවන්නේ පරම්පරාගත ඉතිහාස තොරතුරු වලින් හා වංස කතාවල එන නොයෙකුත් විස්‌තර ආදියෙනි. සත්ත්ව හිංසාව දුරින්ම දුරු කළ පැරණි රජවරු ජනයා උදෙසා නීතිය ක්‍රියාත්මක කළේ රාජ්‍ය සුරක්‍ෂිතභාවය සඳහාය.

පැරණි රජවරු දසරාජධර්මයට උචිත අයුරින් තම පාලනය ගෙන ගිය බව සඳහන් කරන පැරණි පොතපත යුක්‌තිය පසිඳලූ ආකාරය පිළිබඳවද අදහස්‌ ඉදිරිපත් කරයි. සිංහල රජවරුන් තරම් නීතිගරුක වූත් නීතිය ක්‍රියාත්මක කළාවූත් රජවරු වෙනත් රටවලින් සොයාගත නොහැකි බවට කියමනක්‌ ඇත.

අපේ රට පාලනය කළ පණ්‌ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 405) රාජ නීති සංග්‍රහයක්‌ ප්‍රකාශයට පත්කළ අතර ජනතාවට මහත් කරුණාවෙන් හා ආදරයෙන් සැළකියයුතු බවටද ඉන් නිර්දේශ කර තිබූ බව කියෑවේ. එසේම දේවානම්පියතිස්‌ස රජු දවසද මෙරට නීතිය ජනතා හිතවාදීව ක්‍රියාත්මක වූ බව කියෑවේ.

රජු රටේ නායකයා වූවත් සියලුම ජන කොටස්‌ වලට සමාන ලෙස සැළකීම කළ යුතු බව එදා තිබූ රජ නියමයයි. අග්‍රබෝධි රජුගේ අවධියේදී බොරු නඩු කියන්නන්ට විරුද්ධව කටයුතු කළ බැව් කියෑවෙන අතර අනුරාධපුරයේ රජකළ එළාර රජු තිරිසන් සතුන්ට පවා නීතියෙන් පිළිසරණ ලබා දුන් බවට තොරතුරු ඇත.

පුරාණ යුගවලදී ඇතැම් චූදිතයන්ට තම වරද වෙනුවෙන් ලබාදුන් දඬුවම වූයේ මාර්ග ඉදිකිරීම් පූජනීය ස්‌ථාන වැඩිදියුණු කිරීම්, ආහාර වගා කටයුතු ආදී දේය. එසේම යම් යම් වැරදි වලට හසුවූ පිරිස්‌ විහාර දේවාල ආදියේ නඩත්තු කටයුතු සඳහාද යොදවා ඇත. නිකරුනේ ඔවුන් නඩත්තු කිරීම නොකළ අතර, ඔවුන්ගෙන් යම් සේවාවක්‌ ලබාගැනීම සිදුකරන ලදී.

අපේ පුරාණ ලංකාවේ රාජ්‍යය පිළිගත් දණ්‌ඩනීති සංග්‍රහයක්‌ තිබිණි. එහි සයවැදැරුම් රාජාපරාධයන් කොටසක්‌ ද විය. ඊට ලැබෙන දඬුවම අතිශය දරුණු වූ අතර සිවිල් අපරාධ සඳහා වූ දඬුවම් “දහම් පසක්‌නා” නිලධාරීන් විසින් තීන්දු කරන ලදී. මීට අමතරව රජුගේ උපදෙස්‌ මත අධිකරණ ක්‍රියාවලිය සිදු විය. ඊට රජුගේ අනුමැතිය ලබාදීම අනිවාර්යයෙන් සිදු විය.

රජාපරාධ ලෙසින් රජු නිවේදනය කළ අපරාධ:

1. මහරජුගේ බිසවකගේ හෝ රාජකීය කුමරුවකුගේ මරණය සඳහා කුමන්ත්‍රණ කිරීම.

2. රාජ බිසවක්‌ අනාචාරයට පෙළඹවීම හෝ ඇගේ හිරිඔතප් බිඳීමට කටයුතු කිරීම.

3. රජුගේ අන්තඃ පුර ස්‌ත්‍රීන්ගේ හිරි ඔතප් බිඳීම හෝ අනාචාරයට පෙළඹවීම.

4. රජුට විරුද්ධව යුදගිනි ඇවිළවීම හෝ ඊට සහාය වීම.

5. රාජ ද්‍රෝහී ක්‍රියා සඳහා කුමන්ත්‍රණය කිරීම.

6. මහ රජුට විනදොස්‌ කිරීම (හදි හූනියම්)

මහ රජතුමාගේ දේවීන් හා අනාචාරයේ හැසිරීමට දඬුවම මරණය බව වංශකතාවන්හිද සඳහන් ව ඇත. අග්‍රබෝධි රජුගේ දේවිය සමඟ සහවාසයේ යෙදුණ යුවරජ එසේ මරණ වධයට පත්කළ අයෙක්‌ ලෙස සඳහන්ව ඇත. මහනුවර දෙවන රාජසිංහ රජුද දස්‌කොන් අධිකාරමට මරණ වධය ලබාදුන්නේ දේවිය හා අනාචාරයේ යෙදුණ බවට තොරතුරු ලැබුණ නිසාය. අග්‍රබෝධි රජතුමා යුක්‌තිය පසිඳලීම සඳහා ක්‍රමවත් ලෙස කටයුතු කර ඇති බව පෙනීයන්නේ ඒ පිළිබඳ තොරතුරු විමසා බලන විටය. වරදට දඬුවම නිසිලෙස ලබා දීම එදා සිදු විය.

බලවත් වැරදි කළවුන්ට නිදහසේ ඉන්නට දීමක්‌ හෝ තවත් එවැනි දේට අනුබල දීමක්‌ එදා සිදු නොවුණි. යුක්‌තිය පසිඳලීම ක්‍ෂණයකින් සිදුවිය. එසේම වැරදි කළ පිරිස්‌ මහජනතාවට පෙන්වා ඔවුන්ට ලබාදෙන දඬුවම්ද මහජනයාට දැකගන්නට සැලැස්‌වීය.

රාජ්‍යයට හෝ රජුට රැහැණිව කැරලි ගැසීම මරණවධයට පත්කිරීමෙන් හෝ අංග විච්ඡේදනයෙන් කෙළවර වේ. සමහර විට අත් සිඳ දැමීම ඇඟිලි සිඳ දැමීම දෙපා සිඳ දැමීම ආදී දරුණු වධ ඊට අදාළය. මේ නිසා ඇසූ දුටු යමෙක්‌ එවැනි ක්‍රියාවන්ට පෙළඹෙන්නේ නැත, මහාවංශයේ සඳහන් පරිදි ඉලනාග මහ රජුට රැහැණිව කැරලි ගැසූ ලම්බකර්ණ වංශිකයන්ගේ නාසා හා පයේ ඇඟිලි කපා වධයට පමුණුවන ලද්දේ ඊට හිලව් පිණිසය. දේපළ රාජ සන්තකයට ගැනීම, රටින් පිටුවහල් කිරීම රොඩී රැහැට දැමීම ආදී බරපතල දඬුවම්ද ඊට අදාළ වේ. රොඩී රැහැට දැමීම බලවත් ෙ€දජනක ක්‍රියාවකි. මහනුවර යුගයේදී එවැනි දඬුවම් දුන් බවට පරම්පරාගත තොරතුරු ඇත. මෙම රාජ නීති අපේ රටේ ආණ්‌ඩු කළ සුද්දන් පවා පසුකාලීනව යොදාගත් බව පෙනේ 1818 මහ කැරැල්ල සමයේ එවැනි දැඩි දඬුවම් ලබා දුන් බවට තොරතුරු ඇත.

1812 දී පමණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රාජද්‍රෝහීන් කොට නම් කර ඇහැලේපොළ අඹුදරුවන් මරණ වධයට පමුණුවන ලද්දේ ඉහතකී අයුරින්ය.

මීට අමතරව උණුතෙල් ගැල්වීම, කබලේ බදින ලද මුං ඇට, මෑ ඇට ආදීදේ ඇඟට දැමීම, සර්පයන් ලවා දෂ්ඨකරවීමාදී තවත් දඬුවම් ක්‍රමද වීය. එසේම දඬුකඳේ ගසා නිරාහාරව තැබීම, ඇඟ කසන දැ ඇඟට දමා ගිනි අව්වේ හිටින්නට සැලැස්‌වීමද තවත් වධ ක්‍රමයකි. සොරුන්ට හා බොරු කී අයවලුන්ට ගල්පටවා තැබීමද, තවත් දඬුවමකි. මෙහි අතිශය බිහිසුණු දඬුවම නම් සියතින් වසබී මරණයට පත්වීමට ඉඩ හැරීමයි. මෙසේ නානාවිධ දඬුවම් ක්‍රම එදා භාවිතයට ගන්නා ලද්දේ රටවැසියන් නීතිය ඉදිරියේ හික්‌මවා ගැනීම පිණිසය. මේ නිසා බොහෝවිට රටවැසියන් නීතිය රැකීම සිදුකළ අතර නීතියට පිටින් කිසිවක්‌ කිරීමට බිය වූහ. සත්‍රී දූෂණයට නුවර යුගයේදී ඉතා දරුණු වධ දී ඇත. සමහරවිට අංග ඡේදනය හෝ ශරීරය පිළිස්‌සීම සිදු විය. බොරු කියන්නන්ට හෝ බොරු සාක්‌කි දෙන්නන්ට මුඛයට ගිනි අඟුරු දැමීම සිදුකරන ලද්දේ ඇත්ත එළියට ගැනීම සඳහාය. නීතිය අකුරටම ක්‍රියාත්මක වුණි. එය රජුට වුවද වෙනසක්‌ නැත.

කොට්‌ටල නිළමේ නුවර යුගයේ සිටි ගබඩා භාර නිලධාරියෙකි. ඔහුගේ පුතා වරක්‌ ගබඩාවෙන් රත්රන් මාලයක්‌ සොරකම් කළේය. මෙය දැනගත් කොට්‌ටල නිළමේ පුතාගේ හිස එක කඩුපහරින් වෙන් කළේය. ඒ එදාය. අද නම් එය කෙසේ සිදුවන්නේද යන්න විමසා බැලීම ඔබට භාර කරමි. රටේ ඉහළම උසාවියේ පිරිසක්‌ ඉන්දියාවේදී රණ්‌ඩු දබර වූ බව මාධ්‍ය මගින් දැන ගතිමි. ඒ නීතිය රැකීමට සිටින පිරිස්‌ය. මෙවැනි දෙයක්‌ අග්‍රබෝධි රජුගේ කාලයේ සිදු වී නම් කෙසේ වන්නට තිබුණිද? රටක නීතිය හෑල්ලුවට ලක්‌ නොවිය යුතුය.-

ධර්මරත්න තෙන්නකෝන්

 

http://www.divaina.com/2014/04/20/feature06.html

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.