පිය පුතු බැඳීම රැක ගන්න ඔබ සිතුවාද……….

පුතාලා වැඩිපුර ආදරේ අම්මලාටලු. තාත්තලාගේ ආදරේ දරුවන්ට පෙනෙන්නේ නැතිලු. දරුවන් තමන්ගේ සියලු දේ පවසන්නේ අම්මලාටලු. ඒ දරුවන්ට වඩාත් සමීප අම්මා නිසාලු.

සමාජයේ පවතින විවිධ මත අතර, මාපිය දූ දරු සබඳතා පිළිබඳව බොහෝවිට මෙලෙස විග්‍රහ වෙනවා ඔබ කොතෙකුත් අසා ඇති. නමුත් එය එසේමද? එලෙස නොවන අවස්ථා ඇත්තේම නැතිද? දරුවන්ට අම්මාට වගේම තාත්තාටත් සමීප වෙන්න බැරිද?

මගේ පුතාට දැන් වයස අවුරුදු 10ක්. කාල වකවානුව නිශ්චිතවම කියන්න බැරි වුණත් බහ තෝරන්න ගත්ත වයසෙ ඉඳලම මගේ පුතාගෙ ආදරේ වැඩිපුරම පෙන්නුවෙ පුතාගෙ තාත්තට. තාත්තත් පුතාගෙ ආදරය උපරිමයෙන් විඳිනවා.අවුරුදු 10 ක කාලයක් ගෙවිලා තිබුණත් ඒ ආදරය එහෙමමයි. පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ. සමහර වෙලාවට මටත් වඩා වැඩි ආදරයක් තාත්තගෙන් පුතා ලබනවා කියලා මට හිතෙනවා. ඒ දිහා බලන්නෙ මම හරිම ආදරයෙන්. ඒ දෙන්නගෙ බැඳීම හරිම පුදුමයි. පිය පුතු බැඳීම දැකලා මම අපරිමිත සතුටක් විඳිනවා.

දෙන්නා තරහ වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි ටික වෙලාවයි. තාත්තටවත් පුතාටවත් වැඩිවෙලා ඉන්න බැහැ තරහා වෙලා. වයස අවුරුදු හතරෙදි පහේදි පුතාගෙන් ඇහුවම වැඩිපුර ආදරේ කාටද කියලා පුතා කටපුරෝලා කියනවා “මම වැඩිපුරම ආදරේ තාත්තට” කියලා. අද වෙනකොට ඒක එහෙමම නොකිව්වත් අදටත් ඒක එහෙමමයි කියලා මම දන්නවා. අම්මා කෙනෙක් විදියට මගේ පුතාගෙ ආදරේ මම උපරිමයෙන් විඳිනවා. නමුත්, ඊටත් වඩා එහා ගිය තාත්තගෙත් පුතාගෙත් ආදරේ දැකලා, ඒ බැඳීම දැකලා මම සතුටු වෙනවා.

දෙමාපියන්ගේ ආදරය ,රැකවරණය දරුවන්ට අත්‍යාවශ්‍යයි. තාත්තගෙ ආදරය දරුවන්ට පෙන්නන්නෙ නැහැ. ඒක තියෙන්නෙ හදවතේ කියලා අපි අහල තියෙනවා. ඒත් ඒක එහෙම වෙන්න හොඳ නැහැ. දෙමව්පියො විදියට දෙන  ආදරය දරුවන්ට දැනෙන්න ඕන. දරුවො ඒක උපරිමයෙන් භුක්ති විඳින්න ඕන. දරුවන්ගේ අත්දැකීම් තමන්ගෙ තාත්තලත් එක්ක බෙදා හදා ගන්න අවස්ථාව ලැබුණම දරුවො නොමග යන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා.

පුතා නොදන්න දේවල් තාත්තා පුතාට කියලා දෙනවා, ඒ තුළින් පියෙක් ලෙස ඔබට සතුටක් මෙන්ම ආඩම්බරයක් දැනෙනවා නේද? ඔබ දුන් මඟපෙන්වීම් ඔහු අදාළ කරගනිද්දී ඔබට ඊටත් වඩා සතුටක් දැනේවි. ඔබේ පුතා ලොකුමහත් වෙනකොට ඔබ සමග තිබුණු බැදීම අඩුවෙලා කියලා ඔබට හැඟුනොත්, ඒ ඔබේම අඩුපාඩුවක් විය හැකියි. මන්ද දරුවාට සමීප වීමට ඔබ උත්සහ නොගත්තා විය හැකියි.

පියෙකු ලෙස තම පවුලේ බර කරට ගෙන හරිහම්බ කිරීමට කාලය ගත කරන නිසා දවසෙන් වැඩි හරියක් නිවසෙන් බැහැරව ගත කිරීමට සිදුවන බව සත්‍යයක්. නමුත් ඉතා සීමිත කාලයක් හෝ තම පුතු වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කරන්න. මෙය අභියෝගයක් විය හැකියි. නමුත් කළ හැකියි. දිනකට ඉතා සුළු වෙලාවක් වෙන් කළත් සතිය අවසානයේ එය ඔබේ පුතාට මහමෙරක් සේ දැනේවි.          

සමහර අයට තම පියවරුන් සමඟ කිසිම සම්බන්ධයක් තිබී නැති තරම්. අඩුම තරමින් පුතාලා එක්ක වැදගත් කාරණයක් කතාබහ කරන්නෙ කොහොමද කියලවත් සමහර පියවරුන් දන්නෙ නැහැ. දරුවන්ව හදාවඩා ගැනීමේදී පියෙකුට ලොකු වගකීමක් නැහැ කියලා ඇතැම් අය හිතනවා. ඇත්තටම දරුවන්ගේ වගකීමක් පියවරුන්ටත් තියෙනවා.

සාමාන්‍යයෙන් පුතෙක් තම පියාව අනුකරණය කිරීමට නැඹුරුවන්නේ සහජයෙන්මයි. පියාව අනුකරණය කරන්න ඔහුට තිබෙන ඒ ආශාවෙන් ඔබට හොඳින් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැකි අවස්ථාවලදී ගෙදර දොරේ වැඩ සඳහා ඔබට පුතාව හවුල් කර ගන්න පුළුවන්. ඔබේ වාහනය හෝදන විට පුතාටත් වැඩ කොටසක් වෙන්කර දෙන්න පුළුවන්. ඒ තුළින් ඔබ නොදැනුවත්වම දෙදෙනා අතර තිබෙන බැඳීම ශක්තිමත් වෙනවා. ඒ අතරතුර හොඳ අදහස් හුවමාරුවකුත් සිදු වෙනවා. ඔබේ පුතා කැමති ක්‍රීඩාවක ඔහු සමඟ නියැලෙන්නත් ඔබට පුළුවන්. එසේ කිරීමෙන් සතුටක් ලැබෙනවා වගේම දරුවන්ට අභියෝගවලින් ජයගන්න පුරුදු කරවන්න පුළුවන්. හොඳ පියෙකු තම පුතුට හොඳින් සවන් දෙන්නෙකු වීම තුළ පුතා ලොකුමහත් වූ විටත් හොඳින් සවන් දෙන තම තාත්තා සොයා පැමිණීමට පෙළඹෙනවා. එමෙන්ම තම පියා සමඟ සියල්ල පැවසීමට පුරුදු වෙනවා. ඔහු තම හොඳම මිතුරා පියා බව සිතන්නට පෙළඹෙනවා.

ඔබේ පුතාට අවශ්‍ය හික්මවීම ලබාදීමටත්, හොඳ දේ ඉගැන්වීමටත් වගකීම තිබෙන්නේ ඔබටයි. ඒ වගේම ඔහුව අගය කිරීමත් ඉතා වැදගත් වෙනවා. අගය කරන්න,ආදරය කරන්න හුරු වුණාම දරුවන්ගේ හිත් මල් වගේ පිපෙනවා.දරුවන්ගේ ආත්ම විශ්වාසය ඒ තුළින් වර්ධනය වෙනවා.

එනිසා පියෙකු ලෙස දරුවාගේ ඉලක්ක කරා ළඟා වී ඔහුගේ බලාපොරොත්තු ඉටු කරගන්න ඔහුට උපකාර කරන්න. ඔහුගේ කැමැත්ත පිළිබඳවත් හැමවිටම සිතීමට පුරුදු වන්න.

පිය පුතු සෙනෙහස දිහා බලලා අම්මා කෙනෙකුට කෙතරම් සතුටක් විඳින්න පුලුවන්ද? ඒ සතුටත් එක්ක සමාජයක් මොන තරම් අධ්‍යාත්මිකව පෝෂණය වෙන්න අවස්ථා තියෙනවා කියලා මොහොතකට හෝ ඔබට හිතිලා තියෙනවද? සැම විටම අධ්‍යාත්මික වශයෙන් දියුණු වූ සමාජයක ඔබේ දරුවාට ඇති සුරක්ෂිතතාවය කෙතරම්ද කියලා ඔබට දැනිලා තියෙනවද? දෙමව්පියන් විදියට ඒ සුරක්ෂිතතාවය දරුවන්ට උරුම කරලා දෙන්න අවශ්‍ය පියවර ගන්න පුළුවන්නම් ඔබ වඩාත් බුද්ධිමත් දෙමව්පියන් වගේම ආදරණිය දෙමව්පියන් ලෙස දරුවන් සෑම විටම ඔබව වැළඳ ගනීවි.  

 චමිලා සෙනෙවිරත්න

                                          

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.