පාර්ලිමේන්තුව ඇතුලේ , කළුවරේ ජරමරේ

අගවිනිසුරුවරයකුගෙන් මෙරට පළමුවරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආකාරය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල දිගින් දිගටම තම විරෝධය පළ කරමින් සිටී.
ඒකාබද්ධ විපක්ෂයට හිතවත් නීතිඥවරුන් රැසක් පසුගිය දිනවල මේ පිළිබඳව ඒකාබද්ධයේ දේශපාලනඥයින් සමග පුළුල්ව සාකච්ඡා කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා මෙම පනත සම්මත කරගත් ආකාරය නීතියට පටහැනි බව පවසමින් ඊයේ (28) දින සවස ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කළේය.
ඒ අනුව ලංකා ඉතිහාසය තුළ හිටපු අගවිනිසුරුවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට මෙලෙස පෙත්සමක් ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාව වන්නේද මෙයයි.

මෙම නඩුව වෙනුවෙන් තමන්ම පෙනී සිටීමටද සරත් එන්. ද සිල්වා මහතා තීරණය කර ඇත. “මම මේ පෙත්සම ගොනු කළේ හිටපු අගවිනිසුරුවරයකු ලෙස නොවේ මේ රටේ සාමාන්‍ය පුරවැසියකු ලෙසයි” සරත් නන්ද සිල්වා මහතා සඳහන් කරයි.

“මේ පනත සම්මත කළ ආකාරය රටේ ව්‍යවස්ථාවටත් පටහැනියි” මේ ගැන රටේ බුද්ධිමතුන්, උගතුන් නිශ්ශබ්දව සිටීම වරදක්” යැයිද හිටපු අගවිනිසුරුවරයා මාධ්‍යවේදීන් පිරිසක් හමුවී පසුගියදා පැවැසීය.

සුලං බලයට බදුයුදීන් විරුද්දයි 

සුළං විදුලි බලාගාර ඉදිකිරීම සම්බන්ධව රජය ගෙන ඇති තීරණයක් සම්බන්ධව පසුගියදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී උණුසුම් වාද විවාද මතුවිය.
මන්නාරම් ප්‍රදේශයේ මෙම සුළං විදුලි බලාගාර පිහිටුවීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් වූ අතර එහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දැඩිව ඊට විරෝධය පළ කළේය.
“මන්නාරම ප්‍රදේශයේ ආගමික නායකයින් පවා මේ ව්‍යාපෘතියට විරුද්ධයි. මට ඒ නිසා ඒකට එකඟ වෙන්න බැහැ” යැයි බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.
රිෂාඩ් බදියුදීන් මහතාගේ මෙම විරෝධය සම්බන්ධව අමාත්‍ය සරත් අමුණුගම මහතා තරමක් කෝපයට පත්වූ බවක් පෙනෙන්නට විය.
“ජාතික අවශ්‍යතාවන් අනුව ක්‍රියාත්මක වන ව්‍යාපෘති වළක්වන්න ඒවාට බාධා කරන්න ආගමික නායකයින් මැදිහත් නොවිය යුතුයි” යැයි මෙහිදී අමුණුගම මහතා දැඩි ස්ථාවරයකින් පැවැසිය.
මෙහිදී රිෂාඩ් බදියුදීන් මහතා නැවත වරක් ප්‍රකාශ කර සිටියේ මන්නාරම ප්‍රදේශයේ ආගමික නායකයින්ගේ සහයෝගය මෙම ව්‍යාපෘතියට නොලැබෙන බවකි.
මෙහිදී යළිත් තම හඬ අවදි කළ අමුණුගම මහතා මෙසේ පැවැසීය.
“මේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට ඒ ආගමික නායකයින් විරුද්ධ නම් රටේ බලශක්ති අවශ්‍යතාවයට විකල්ප විසඳුමක් දෙන්න ඒ අය සූදානම්ද?”
“මේකට විරුද්ධ නම් විකල්පයක් යෝජනා කිරීම වැදගත්” යැයිද අමුණුගම මහතා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී රාජිත සේනාරත්න මහතාද මෙම විවාදයට එක්විය.
“මේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට ගැළපෙනම ප්‍රදේශය මන්නාරම බව විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. මේ ව්‍යාපෘතිය රටට අවශ්‍ය ව්‍යාපෘතියක්” යැයි රාජිත සේනාරත්න මහතාද සඳහන් කළේය.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද මෙම ව්‍යාපෘතියට සහයෝගය පළ කරමින් අදහස් දක්වන්නට විය.
“මන්නාරමේ මෙම සුළං බල ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 4000ක පමණ බලශක්තියක් නිපදවන්න පුළුවන්. ඒ නිසා ආගමික නායකයින් කිහිප දෙනකු විරෝධය පළ කළ පමණින් මේ ව්‍යාපෘතිය නවත්වන්න බැහැ. එයින් රටට පාඩුවක් වෙනවා” යැයිද රණවක මහතා පැවැසීය.

 

කළුවරේ ජරමරේ 
සුළං බලයෙන් විදුලිය නිපදවීම පිළිබඳ කැබිනෙට්ටුවේ එසේ වාද විවාද මතුවෙද්දී පසුගියදා පාර්ලිමේන්තුවේදී විදුලිබලය ඇණහිටීම නිසා රසවත් මෙන්ම උණුසුම් සිදුවීම් මාලාවක්ම සිදුවිය.
පසුගිය 26 දින දහවල් 1.44ට පමණ පාර්ලිමේන්තු සභා ගැබෙහි විදුලිය විසන්ධි වූයේ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන ආඥා පනත ඉදිරිපත් කරමින් සිටින විටය.
“කළුවරේ… කළුවරේ මුකුත් පේන්නේ නැහැ. ඇමැතිතුමාව පේන්නෙත් නැහැ කාටවත්ම ඇමැතිතුමා මොනවා ඉදිරිපත් කරනවද දන්නේ නැහැ” යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෑගසන්නට වීම නිසා මැතිසබය උණුසුම්කාරී විය.
එම කෑකෝ ගැසීම් ගණනකට නොගත් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා දිගින් දිගටම තම අදහස් දැක්වීම ඉදිරියට ගෙන ගියේය.
“කළුවරේ මේවා කරන්න බැහැ’ යැයි විමල් වීරවංශ මහතා මෙහිදී කියූ විට සභාවේ සැමට සිනා පහළ විය.
“කළුවරේ අපි කළුවරේ” යැයි රංජිත් සොයිසා මහතාද දිගින් දිගටම කෑගසන්නට විය. විනාඩි දෙකකට ආසන්න කාලයක් මෙසේ සභා ගැබේ විදුලිය විසන්ධිව තිබූ අතර විදුලිය යළි පැමිණීමත් සමග සභාවේ කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවිය.

ජපන් යුවතියගේ තෑග්ග
ජපන් ජාතික සුරූපී තරුණියකගෙන් තරුණ කැබිනට් අමාත්‍යවරයකුට එදින පාර්ලිමේන්තුවේදී විශේෂ තිළිණයක්ද හිමිවිය.
පාර්ලිමේන්තුවට පැමිණි ජපන් ජාතිකයින් පිරිසක් අතර සිටි මෙම තරුණිය මෙම තිළිණය ලබාදුන්නේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටය. තිළිණය වූයේ කුඩා පිළිරුවකි. මෙම ජපන් පිරිස ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උත්සවයට සම්බන්ධ නිලධාරීහු පිරිසකි.
ජපානයේ ඔලිම්පික්වලට ආවම ලංකා නියෝජිත පිරිස ඉතාමත් ගෞරවයෙන් පිළිගන්වා කියලා මේ පිළිරුව දෙන ගමන් ඒ තරුණිය කිව්වා” යැයි ජයසේකර මහතා තම අවට සිටි හිතවතුන්ට පැවැසීය.

 

ජේ ආර් ගේ මුණුපුරා 
හිටපු ජනපති ජ්.ආර්. ජයවර්ධන මහතාගේ මුනුපුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා පසුගිය දිනෙක උදෑසන නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතාව හමුවිය.
“එන්න එන්න ප්‍රදීප් ඔයාව හමුවුණ එක සතුටක්” යැයි බැසිල් රාජපක්ෂ මහතා ඉතා උණුසුම්ව ප්‍රදීප් ජයවර්ධන මහතාව පිළිගත්තේය.
ප්‍රදීප් ජයවර්ධන මහතාව මීට ටික කලකට පෙර වත්මන් ජනපතිවරයා විසින් ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කර තිබිණි.
“කොහොමද තොරතුරු” බැසිල් මහතා ප්‍රශ්න කළේය.
“මෙන්න මේකයි ඇත්තම තත්ත්වේ. මම පසුගිය කාලයේ ගම්පහ ගමක් ගමක් ගානේ ඇවිද්ද? යන හැම තැනකදීම හැම මිනිහෙක්ම කිව්වේ ශ්‍රී ලංකාකාරයින්ගේ ඡන්ද ඕන නම් මහින්ද මහත්තයාගේ පැත්තෙන් එන්න කියලයි” ප්‍රදීප් ජයවර්ධ මහතා පැවැසීය.
මමත් කැමතියි ඔබතුමන්ලා එක්ක එකතුවෙලා වැඩ කරන්න” යැයිද ජයවර්ධන මහතා වැඩිදුරටත් මෙහිදී පැවැසීය.
“බොහොම හොඳයි අපි ඔක්කොම එකතුවෙලා ඉක්මනටම මේ ආණ්ඩුව පෙරළන්න ඕන. නැතිනම් රට ලොකු අවුලක පැටලෙනවා” යැයි බැසිල් මහතා පැවැසුවේය.
එසේ කියමින් බැසිල් රාජපක්ෂ මහතා ජයවර්ධන මහතාට සමුදුන්නේ ළඟදීම දවසක යළි මුණගැසීමේ ‍පොරොන්දුවෙනි.

 20 සංශෝධනයේ අවුල
පසුගිය අඟහරුවාදා දිනයේදී ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී රැස්විය. එහිදී විශේෂයෙන් අවධානයට ගැනුණේ පළාත් සභා පනත සංශෝධනය කිරීම පිළිබඳව මතුවී ඇති තත්ත්වය සහ විගණන පනත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳවය.
පළාත් සභා ඡන්ද විමසීමේ පනත පාර්ලිමේන්තුවේ සංශෝධනය වීම ගැන කරුණු හරිහැටි ජනතාව අතරට ගියේ නැහැ. සමහරු තවමත් හිතාගෙන ඉන්නේ 20 සංශෝධනය අධිකරණ තීන්දුවට පිටුපාලා 2/3න් සම්මත කරගත්තා කියලා. ඒ වගේම තමන්ගේ දේශපාලන සිහිනය බිඳ වැටුණු ඒකාබද්ධ විපක්ෂය
අපේ පක්ෂයට මඩ ගහනවා. මේ කරුණු නිසා පනත ගැන නිවැරදි දේශපාලන සංවාදයක් ජනතාව අතරට ගියේ නෑ” ටිල්වින් සිල්වා කියා සිටියේය.
රාජපක්ෂ කණ්ඩායම මුලදී පළාත් පාලන මැතිවරණය ඕනෑ කියලා ගෑහැව්වා. දැන් පළාත් සභා ඕන කියලා කෑ ගහනවා. එක එක වෙලාවට තමන්ට වාසිවෙයි කියලා හිතෙන දේශපාලන ප්‍රකාශ සිදුකරනවා. රාජපක්ෂ කණ්ඩායම ඡන්ද ඉල්ලුවට ඇත්තටම ඡන්දවලට බයයි. කොහොමත් ශ්‍රී ල.නි.ප.ය දෙකඩ වෙනවා ඡන්දයකදී. ඒකට බයයි. ඒකයි ඇත්ත කතාව. ඒකාබද්දෙට ප්‍රාදේශීය සභා මැතිවරණය ආවම අපේක්ෂකයෝ තෝරාගන්න එක අර්බුදයක් වෙනවා. ඒකයි පළාත් සභා මැතිවරණයට බය. ඒක වහගන්න අපිට මඩ ගහනවා” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.
පළාත් සභා පනතට සංශෝධන ගෙනාපු විදියේ කැතක් තියෙනවා. මේ ආණ්ඩුවට කිසිම සැලසුමක් නැහැ කියන එකට තවත් හොඳම උදාහරණයක් තමයි මේක. නමුත් මේ පනතෙන් පළාත් සභා මැතිවරණයටත් මනාප නැති ඡන්ද ක්‍රමයක් ගෙනාපු එක රටටත් ජනතාවටත් වැදගත්. කවුරු මොනවා කිව්වත් ඒ වගේ දෙයකට ඡන්දය දෙන එක අපේ වගකීමක්. රාජපක්ෂ කණ්ඩායම දෙවැනි වර කියවන අවස්ථාවට ඡන්දය දුන්නේ නැහැ. ඒ කියන්නේ කාන්තා නියෝජනයට විරුද්ධයි. ඒ වෙලාවේ 44ක් විරුද්ධ වුණා. නමුත් සංශෝධනවලට ඡන්දය දුන්නේ 37යි. 7ක්ම ඡන්දෙට හිටියෙත් නැහැ. මහින්ද රාජපක්ෂ ආවෙත් නැහැ. තමන්ගේ මන්ත්‍රීවරු ටිකවත් එක තීරණයක තියාගන්න බැරි බංකොළොත් කණ්ඩායමක් තමයි අපිට චෝදනා කරන්නේ” අනුර දිසානායක කියා සිටියේය.
ඔව් රාජපක්ෂ කණ්ඩායම කියන තරම් මේ පනත මාරාන්තික නම් පනතට ඡන්දෙ දීලා තමන්ගේ විරෝධය පළ කරන්න ඕනෑ. රාජපක්ෂලා රනිල් එක්ක ඩීල් ගහන ගමන් තමයි අපිට චෝදනා කරන්නේ. සිරිලිය ගිණුම් ගැන රාජපක්ෂ දරුවන්ගේ අපරාධ ගැන පරීක්ෂණ නැත්තේ ඩීල් නිසයි. අපි වැඩ කරන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. රනිල්වත් මහින්දවත් සතුටු කරන්න ‍නෙවෙයි කියලා අපි රටට පැහැදිලි කළ යුතුයි” ටිල්වින් සිල්වා කීවේය.
“ඇත්තටම මේ වෙලාවේ ජනතාවට ඕනෑ අවුරුදු දෙකහමාරක් විතර පස්සට ගිය පළාත් පාලන ඡන්දේ. පළාත් සභා ආවානම් ඡන්දේ තියෙන්නේ පළාත් සභා 03ක විතරයි. පළාත් සභා 03ක ඡන්දය ආවානම් ආණ්ඩුව ජනාධිපති, අගමැති, ඇමැති මණ්ඩ‍ලේ බැහැලා බඩු බෙදලා, ආණ්ඩුවේ සම්පත් පාවිච්චි කරලා ඡන්දෙ කරයි. ඊට වඩා මුළු රටේම ඡන්දය තියෙන එක අපිටත් හොඳයි. ජනතාවටත් හොඳයි. ඒ නිසා අපි හරි දේ වෙනුවෙන් පෙනී හිටිය බව මඩවලට රැවටෙන්න නොදී ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ” ලාල්කාන්ත කියා සිටියේය.

 

විද්‍යා ඝාතකයින්ට නිසි දඩුවම් 
පසුගිය 2015 මැයි 13 වන දින පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කොට ඝාතනය කළ විද්‍යාගේ සිදුවීමට සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව සැප්. 27 වෙනිදා යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත්කෙරිණි.
එදින ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා, යාපනය දිස්ත්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක්ද අධිකරණය වෙත ගොස් සිටියහ. මෙහිදී විශාල පිරිසක් තීන්දුව දැනගැනීම සඳහා උසාවි භූමියට පැමිණ සිටියහ. බිමල් රත්නායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස නඩු තීන්දුවට පෙර විද්‍යාගේ මව හමුවීමට අවස්ථාවක් උදාකර ගත්හ. විද්‍යාගේ සිදුවීමෙන් සතියකට පමණ පසු බිමල් රත්නායක මන්ත්‍රීවරයා විද්‍යාගේ මව හමුවූ අතර ඇයට ඔවුන් මතකයේ රැඳී තිබුණි. මව ඉතාම සංවේදීව දියණිය ගැන සිහිපත් කළාය.
නඩු තීන්දුවෙන් අනතුරුව පැමිණ සිටි නීතිඥයෝ නීති සිසුහු ඇතුළු සිවිල් සංවිධානවල ක්‍රියාකාරීහු තීන්දුව පිළිබඳව සෑහීමකින් කතාබහ කළෝය. බිමල් රත්නායක “මන්ත්‍රීවරයා සමග කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් කියා සිටියේය. මන්ත්‍රීතුමා මේ නඩු තීන්දුව ඉතාමත් ඓතිහාසික එකක්. මේ වගේම ඉලංගච්ෙලියන් විනිසුරුතුමා වෙනම නඩු තීන්දුවක් ලබාදුන්නා. එතුමා ගැනත් ලොකු ප්‍රසාදයක් තියෙනවා. නීතිඥයෙක් මන්ත්‍රීවරයාට කියා සිටියේය. “විජයකලා මන්ත්‍රීවරියත් මේකට පැටලිලා තිබුණා. යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් මාස 4ක් 5ක් ඇතුළත තමයි මේ සිදුවීම සිදුවුණේ. කොහොම නමුත් මේ සිදුවීම මුළු රටම කම්පා කළ එකක්. විනිසුරු මඩුල්‍ලේ කටයුතු ප්‍රශංසනීයයි” බිමල් රත්නායක කියා සිටියේය.
ළමා අපචාර සිදුකරන පුද්ගලයින් එකකින් නවතින්නේ නැහැ. ඔවුන්ට එක සිදුවීමකින් දඬුවම් නොලැබුණහොත් ඉදිරියටත් එවැනි දේවල්වලට යොමු වෙනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ජනාධිපතිවරයා මේ දැරියගේ ඝාතනයෙන් පස්සේ යාපනයට ආවා. ඇවිත් ‍පොරොන්දු වුණා ළමා අපචාර සිදුවීම් පිළිබඳව
විභාග කරන්න විශේෂ අධිකරණයක් පිහිටුවනවා කියලා. දැන් මාස 28ක් පමණ ගතවෙලා ඉවරයි. නමුත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ නඩු තීන්දුවවත් පාදක කරගෙන ළමා අපචාර සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවන්න කියලා. ඒකෙන් තමයි ළමයින්ට සිදුවන අපචාරවලට යම් නීතිමය ආවරණයක් ලැබෙන්නේ” බිමල් රත්නායක මන්ත්‍රීවරයා යාපනයේ සිට මාධ්‍ය මගින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

මාධ්‍යවේදී පැතුම් වික්‍රමරත්න විසින් ලක්බිම පුවත්පතට ලියු ලිපියකි .

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.