ප්‍රංශයට නව විප්ලවයක්? සිරිලකට නව කම්කරුවෙක්? – (ක්‍රිෂ්මාල් වර්ණසුරිය)

මේ මැයි ගහ යට දවසක් දා …”

මැයි දින වේදිකා මතට ගොඩවීමට ලද ආරාධනා දෙකක් පසෙකලා එම කාලය මෙම වචන ස්වල්පය ගොඩනැගීමට යොදාගන්ට මා පෙළඹවූ ප්‍රධාන සාධක කිහිපයකි; මූලිකවම මා කුඩා අවදියේ මගේ මතකයන්ය. පාසලට ගොස් “මා වැනි බිලින්දා” කවි පංති පෙල කටපාඩම් කිරීමට ප්‍රථමයෙන් “සාදුකින් පෙලනුවුන් දැන් ඉතින් නැගිටියව්” යන මුලු පද පේලියම මට නිරයාසයෙන්ම ගයන්ට පුලුවන්වුයේ, ඇවිදීමට හැකියාව ලද කාලයේ සිටම මගේ පියා මාවද කැටිව සමාජවාදී රැස්වීම් වලට යාමට, පාර දිගේ එම විප්ලවවාදී සටන්පාඨ කියමින් පෙළපාලි යාමට පුරුදුවී සිටි නිසාමය. එදා වමේ එම ආකර්ශනීය වීදි චාරිකා වල “සීනි නැතිව තේ බොන්නම් මිරිස් නැතිව බත් කන්නම්” කියා කෑමොරදෙන මගේ පියාගේ වචන, කිසිම තේරුමක් නොදැන පුනරුච්චාපනය කල මා පෙරලා ගෙදර පැමිණිවිට, එවකට “ධනපති දේශපාලනයේ” පුරුකක්ව සිටි මගේ මව විසින්, මගේ පියා සමග අප නිවසට පැමිණි ඔහුගේ “වමේ සහෝදරයන්ට” සීනි නැතිව තේ සාදා දීම හේතුකොටගෙන අපේ මුළුතැන්ගෙහි හටගන්නා “පංති අරගලය” සහ “තේ කෝප්ප / පීරිසි පොළොවේ ගැසීමේ හර්තාලය” මා බලා සිටියේ මවිතවූ බිලිඳු දෑසෙනි.

ඒ හැත්තැව දශකයේ මුල් සහ මද භාගයේදීය. එදාමෙදාතුර එම “අරගලයට” කුමක් වීද? අද එම කම්කරුසේවක පංතියක් සිටිත්ද ඔවුන් සටනක නියැලෙන්නේද (“ධන බලේ නැතිකරව් කම්කරු ආණ්ඩුවක් පිහිටවව්”)? එහි ජයග්‍රහණය කොයිබද? නව ලිබරල්වාදී/ධනවාදී අර්ථක්‍රමයක් තුල එවන් “අරගලයක” හැඩතල කෙසේ වෙනස්වී ඇත්ද? එයට යතානුරුපීව “සටන” කෙසේ වෙනස්කල යුතුද? අද වැනි කම්කරු/සේවක අයිතීන් සාකච්ඡාවන දිනයකදීවත් අප පිළිතුරු සෙවිය යුත්තේ මෙවන් ප්‍රශ්න වලට නියා කාගේ වේදිකාවට ලක්ෂ කීයක්, බස්රථ කීයකින් ගෙනාවේද යන්න නොවන බව මගේ අදහසයි; එම සංවාදය ඔබ හමුවේ තැබීමට අවසර!

21වෙනි ශතවර්ශයේ පංති අරගලය විශ්ව ආදායම බෙදීයාමේ පරතරය:

දළ ගණනය කිරීමක් සඳහා මෑත වාර්තා අනුව වාර්ෂික විශ්ව ආදායම ඩොලර් ට්‍රිලියන 100ක් ලෙස ගෙන, එය ලෝකවාසී බිලියන 7ක් වූ (වැඩ කරන/නොකරන ළමයින්ද ඇතුළු මුළු එකතුව) ගණනින් බෙදුවොත්, ඒකපුරවැසි ආදායම වසරකට ඩොලර් 16,000ක් පමණ වන්නේය; එම දල ගණනය කිරීමට අනුව සැම ශ්‍රී ලාංකිකයෙකම මසකට රුපියල් දෙලක්ෂයකට වඩා ඉපයියයුතු වේ. එසේ ලෝකයේ වාර්ෂික නිෂ්පාධිතය සමසේ බෙදී නොයන බව මට වඩා හොඳට ඔබ දන්නාසේම සැමදෙනා අතර සියලු වස්තූන් එකසේ බෙදීයන්නේයයි සිතීම යුටෝපියාවක් ගැන සිහින මැවීමක් බවත් ඔබ දන්නෙහිය; නමුත් අඩු තරමින් එය සාධාරණ අකාරයකින් බෙදීයාමක් බලාපොරොත්තුවීම අසාධාරණ චේතනාවක්ද?

අද විශ්ව නිෂ්පාදිතයේ හා ආදායමේ වැඩි ප්‍රතිෂතයක් බෙදී යන්නනේ ව්‍යවසාය මාර්ග හිමි අතලොස්සක් අතර නිසාම අන්තර්ජාතික ආයතන හා බහු ජාතික සමාගම්, ස්වෛරී රාජ්‍යන් සමග සම තත්වයකට සලකන තරමට ලෝක දේශපාලනය වෙනස්වී ඇත; ජාත්‍යන්තර වාණිජ නීතිය ඉදිරියේ එවන් ඉතා බලසම්පන්න විශ්වීය සමාගම් ස්වෛරී රාජ්‍යන්ට එරෙහිව නඩුකර පවා පවත්වාගෙන යති. එසේ පරිනාමය වී ඇති විෂම අර්ථ ක්‍රමයක් සහ ධනය බෙදී යාමක් තුල අපි ලෝක කම්කරුවා හා සේවකයාගේ අයිතීන් පිලිබඳ සාකච්ඡාවද එම නව ප්‍රබේධයන් ආශ්‍රයෙන්ම ගොඩනැගිය යුතු වන්නෙමු.

මෙම තත්වය හමුවේ අපගේ සාම්ප්‍රදායික “හාම්පුතා/සේවකයා” සමීකරණය අමතක කොට, “ඇත්තන් / නැත්තන්” වශයෙන් නව පංති දෙකක් හඳුනාගනිමු. මින් පළමු ගණය වන “ඇත්තන්” සුළු ප්‍රමාණයක් අතර ඉහතකී සම්පත් වල වැඩි ප්‍රතිශතයක් ඒකරාශී වී ඇති නිසාම ඔවුන්ගෙන් යැපෙන තවත් සමාජ කොටස් රාශියක් එම සුළුතරය වටා එක්රැස්වේ; ඒ ඔවුන්ගේ “පැත්තේ” සිටීම වඩා වාසිදායක වන බැවිනි. මෙම යැපෙන්නන් අතර තම ව්‍යාපාර කටයුතු සඳහා උපකාරවන දේශපාලඥයින්, තම වෙළඳාම ජනතාව අතරට ගෙනයන ජනමාද්‍යකරුවන් පමණක් නොව, සමහරවිට නීතියට ඉහලින් ක්‍රියාත්මක වන “පාතාල ජාලයන්ද”, ඉතා ඉහල “උගත්කම්” සහිත වෘත්තීයවේදින්ද තමන් ලඟට කර තබාගැනීම වාසිදායක බව මෙම මුදල්හිමි ව්‍යවසාය “පංතිය” හොඳින් දනිති. ඉතින් අද දවසේ කම්කරු/සේවකයාට හෝ “නැත්තන්” වන බහුතරයට තම අයිතීන් සඳහා වූ අරගලය ගෙනගිය යුතු වන්නේ මෙම නව සමාජ පන්තියටම එරෙහිව බව සිහියේ තබාගත යුතුය.

පැය 8 වැඩබිම / 16 විවේකය හිමි කම්කරුසේවකයා කොයිබද?

මීට වසර සිය ගණනකට පෙර සටන් කොට ලබාගත් වැදගත්ම අයිතිය වූ පැය 8ක් වැඩ කොට ඉතිරි පැය 16, සති අන්තයද නිවාඩු ගැනීම අද දවසේ වැඩකරන “කම්කරු/සේවක පංතියට” යතාර්ථයක් වී නැත්තේ කුමන “හාම්පුතාගේ” බැලමෙහෙවරකම් ඉදිරියේද? මෙම සේවක පන්තියේ කී දෙනෙක් හට සතිඅන්තයේ තම පවුල සමග නිවාඩු ගැනීමට හෝ අඩුම තරමේ චිත්‍රපටයක් බැලීමට යාමට, තම ළමයින්ව රැගෙනගොස් සත්තුවත්ත පෙන්වීමට හෝ අවකාශයක් තිබේද? එසේ ආර්ථික ශක්තියක් තිබෙන්නේ කීයෙන් කී දෙනාටද? නැත, අද ඉහතකී නව ආර්ථික විභේදයන් හමුවේ පැය 8ක් නොව, 16ක් සහ සති අන්තයේද රැකියාව කරත් මෙම විෂමවූ ආදායම් බෙදීයාමේ පරතරය හමුවේ එම කම්කරු/සේවකයා අසරණ වී ඇති හෙයිනි; “ඇත්තන්” හමුවේ “නැත්තන්” දනගැස්වීමට එම නව පංතිභේදයට හැකිවී ඇත.

ඉදින් මෙවන් සෝචනීය තත්වයක් හමුවේ වුවද, මෙම දේශපාලන යතාර්ථය තේරුම් නොගෙන දේශපාලනඥයන් පස්සේ ගොස්, බස් රථ වලට නැගී, ඔවුන්ගේ ගුණ ගී ගයමින්, කටවුට් හා බැනර් ඔසවමින්, කෑමොර දෙමින් පාර දිගේ අවුවට වේලෙමින්, වැස්සට තෙමෙමින් මැයි දිනය සැමරීමෙන් එම පංති සටන ජයගත හැකිද? එකී ආර්තීක විෂමතාවයට පිළිතුරු සෙවිය හැකිද? ඔය පසුපස දුවන දේශපාලඥයින්ගෙන් කීයෙන් කී දෙනෙක් ඉහතකී “ඇත්තන්ගේ” ගණයට අයිතිවේද? නැතහොත් එම පන්තිය විසින් ග්‍රහණය කරගෙන ඔවුන්ගෙන්ම පෝෂණය වන්නේද?

නව ලිබරල්ධනවාදී දේශපාලනය තුල සැඟවුණු “පොහොසත්” ව්‍යවසාය හිමියා:

කොළොන්නාවේ කුනුකන්ද නායයාමේ දුර්ගන්දය ආසන්නයේම පැවැත්වෙන මෙම 2017 මැයි දිනයේදීවත් මෙම “දේශපාලන ගඳ/සුවඳ” තේරුම් ගැනීමට උත්සාහ කරමු. අපි කොතෙක් දුරට මහබැංකුවේ බැඳුම්කරය ගැන කෑගැසුවත්, හම්බන්තොට වරාය හෝ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ආරක්ෂා කරගන්ට හැදුවත්, මෙම පවතින “පක්ෂ දේශපාලන ක්‍රමය” වෙනස් නොකර කම්කරු/සේවක අයිතීන් ගැන කතාකිරීමෙන් පලක් වන්නේ නැත; ඒ මන්දයත් ඉහතකී ව්‍යවසාය හා එම මාර්ග හිමි අතලොස්ස විසින් අපගේ ස්වාධිපත්‍ය බලය ලබාදී ඇති ආයතන ඉතා සූක්ෂම ආකාරයෙන් ආක්‍රමණ කොට ඇති නිසාය. මෙම සියලු දේශපාලන පක්ෂ පිටුපස සැඟවුණු “ඇත්තන්” සිටිති; එම පංතිය විසින් එකිනෙකා ආරක්ෂා කරගනිති. ඔවුනොවුන්ට තම දේශපාලන සටන් වලදී මූල්‍යමය හෝ ක්‍රමවේදයන් තුලින් ආධාර කරන්නන්ට මිස හෙට දිනේදී ඔබට හෝ මට කැමති දේ පක්ෂ නායකත්වයක් තුලින් ඉටු වන්නේ නැත.

උදාහරණයක් වශයෙන් චන්දයකදී ඔබ සුදුසුයැයි සිතන, යම්කිසි අධ්‍යාපනීක සුදුසුකමක් සහිත, සමාජය විසින් පොදුවේ නායකත්වයට හැකියාවක් ඇත්තාසේ සලකන නියෝජිතයෙක්ව, ඔබ ඔය බස් රථයේ නැගී ගොස් රැස්වීම් වලට සහභාගීවන ඔබගේයයි කියන දේශපාලන පක්ෂ ලැයිස්තුව ඇතුලත් කරගැනීමට ඔබට අයිතියක් ඇත්දැයි සිතා බලන්න. එසේ නැත්නම් ඔබට කතිරය ගසා තෝරාගන්න වී ඇත්තේ පක්ෂ නායකත්වය විසින් ඔබ ඉදිරියේ තබන අයවලුන් නොවේද? එසේ නම් පත් වන්නේ ඔබ කැමති කෙනාද, නැතිනම් පක්ෂ නායකයාගේ “ඇත්තන්” ගේ පංතියේ කෙනාද?

2015 ජනවාරි 8න් පසු අප සැමදෙනාටම අවබෝධ වියයුතු සත්‍යයක් ඇත; එනම් අප වෙනුවෙන් තීරණ ගන්නා ආයතන වලට, එය විධායක, ව්‍යවස්ථාදායක හෝ අධිකරණ වේවා, අපට අනුමත කල හැකි, අපට ඍජුව වගකියන (එසේ වගනොකියන්නේ නම් ලෙහෙසියෙන් පන්නා දැමිය හැකි) ක්‍රමයක් ස්ථාපිත කරගන්නා තෙක්, මෙම “ඇත්තන්ගේ පංතියේ” ආණ්ඩුවක් මාරු කර තවත් එම පංතියේම හෝ එම පන්තිය විසින් පෝෂණය කරන ආණ්ඩුවක් පත්කරගැනීමෙන් පමණක් යහපත් රටක් සාදාගතහැකියි සිතීම “ඉසියම්මට කෝට්ටේ මාරු කරා” වගේ වැඩක් වන බවයි.

2017 “ප්‍රංශ විප්ලවය” තුලින් ශ්‍රී ලංකාවට උකහාගතහැකි පාඩම:

17 වන ශතවර්ෂයේ අගභාගයේ මුළු ප්‍රංශ සමාජයම වෙලාගත්, ඒ තුලින් එරට පමණක් නොව, මුළු යුරෝපයම විවිද වෙනස්කම් සහ දේශපාලන චින්තනයේ නව දිශානතියකට යොමුකෙරූ පැරිස් නුවරින්ම ඊයේ පෙරේදා සිට තවත් එවන්ම විප්ලවයක පුවත් අපට අසන්නට ලැබේ; එනම් ජනාධිපති සටනේ ඉදිරියෙන්ම සිටින මැක්‍රෝන් හා ලපෙන් යන දෙදෙනාම පක්ෂ දේශපාලනයෙන් තොරවූ සමාජ/දේශපාලන චින්තනයන් මත තම මැතිවරණ භූමිකාව කරගෙන යාමයි. ඔවුන් තම දේශපාලන අදහස හා දැක්ම තුලින් ඔවුන්ගේ සමාජ/ආර්ථික ගැටලූන්ට විකල්ප සොයන්නේ කෙසේද යන්න ප්‍රංශ ජනයා ඉදිරියේ තබමින් සිටිති; ඒ මත ජනතාවගේ කැමැත්ත උරගා බලති. මෙය අපටද සුභවාදීව සැලකිය හැකි ආදර්ශයක් බව මගේ මතයයි.

අප කොතෙක් දුරට අපගේ දේශපාලන තීරණ කොළ, නිල් හෝ රතු කන්නාඩි තුලින් බලා ගන්නේද? ඉන් පරිබාහිරව බලන්නට, “පක්ෂය සරණං ගච්චාමි” මාර්ගය හැරෙන්නට වෙනත් විකල්පයක් සෙවීමේ කාලය තවමත් එළඹි නැත්ද? වසරක් පාසා වසරක් මැයි දින පෙළපාලි ගොස්, ගිරියේ ලේ සිඳෙනකන් කෑ මොර දී, කාගේ වේදිකාවට වැඩි ලක්ෂ ගණනක් පැමිණියේදැයි පෙන්වා, දේශපාලන ප්‍රතිරුප පිම්බීමෙන් ඔබට සෙතක්, ශාන්තියක් වී ඇත්ද?

එය එසේ වී ඇත්නම් දිගටම එසේ කරගෙන යාමට ඔබට ජයෙන් ජයම වේවා! එසේ වී නැතිනම් නව මාවතකට එළඹිමට, පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය නව චින්තනයක් හා විකල්පයක් සෙවීමටත්, ඒ තුලින් ඔබට සහ මේ රත්‍රන් පොළොවේ උපනුපන් ජාති ජාතීන්ටම සෙතක්, වෙනසක් හා සුභ සිද්දියක්ම වී ශ්‍රේෂ්ට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ගොඩනැගීමට පුළුවන්කම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඔබට ජයෙන් ජය පතමි!!!

ක්‍රිෂ්මාල් වර්ණසුරිය

BA (Colombo), P Dip. (Hons), LLM (Hons) (London)

CW/Colombo – 01මැයි’17

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.