නීති දාලා සාහිත්‍ය රුචිය ඇති කරන්න බෑ

 

ග්‍රේෂන් භාරකාරය මගින් දෙවසරකට වරක් හොඳම පරිවර්තන කෘතිය සඳහා පිරිනැමෙන එච්.ඒ.අයි. ගුණතිලක සම්මානය මෙවර දිනාගත්තේ ප්‍රවීණ මාධ්‍යවේදියකු, ප්‍රවීණ පරිවර්තකයකු, කවියකු හා ලේඛකයකු වන මාලින්ද සෙනෙවිරත්න මහතායි. ඒ, ඔහු විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද ‘සෙංකොට්ටං’ නවකතාව වෙනුවෙනි.

මීට පෙර ද ඔහු ඉංග්‍රීසි බසින් ලියා පළ කළ කෘති කිහිපයක්ම ග්‍රේෂන් සම්මානය ඇතුළු විවිධ සම්මානවලින් පුද ලබා තිබේ. මෙවර සංවාදය මාලින්ද සෙනෙවිරත්න මහතා සමඟයි.

 

• එච්.ඒ.අයි. ගුණතිලක සම්මානය ග්‍රේෂන් සම්මාන උළෙලේම දිගුවක් හැටියට සලකන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛනයේ යෙදෙන ලංකාවේ ලේඛකයන්ට ලැබෙන මේ අවස්ථාව ගැන මොකද හිතන්නේ?

“මයිකල් ඔන්ඩච්චි මහතා තමන්ට බුකර් සම්මානය හිමිවුණාට පස්සේ එයින් අරමුදලක් පිහිටෙව්වා ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍යය දිරිගැන්වීම සඳහා. එතැන් සිට තමයි ග්‍රේෂන් සම්මාන ප්‍රදානය ආරම්භ වන්නේ. මට මතක හැටියට 1992 වසරේ තමයි මේ අරමුදල පිහිටෙව්වේ. ඊට පස්සෙ 2003 වසරේ සිට එම භාරකාරයෙන් තවත් සම්මාන උළෙලක් පටන්ගත්තා. මේක පටන්ගත්තේ මයිකල් ඔන්ඩච්චිගේ සමීප මිතුරකු වන ඉයන් ගුණතිලක මහතා. මෙය වසර දෙකකට වරක් පිරිනැමෙන්නේ ඉංග්‍රීසි බසින් පළ කෙරෙන හොඳම පරිවර්තන කෘතිය වෙනුවෙන්. ඇත්තටම මෙය ඉංග්‍රීසි බසින් ලේඛනයේ යෙදෙන ලංකාවේ ලේඛකයන්ට හොඳ අවස්ථාවක්.”

 

• මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං නවකතාව ඉංග්‍රීසි බසට නැගීමට විශේෂ හේතුවක් තිබුණා ද?

“ඇත්තටම සම්මානයකට ඉදිරිපත් කිරීමේ අරමුණින් නොවෙයි මම මස්ඉඹුලගේ සෙංකොට්ටං නවකතාව ඉංග්‍රීසියට නඟන්නට කල්පනා කළේ. මම නිතරම පරිවර්තන කාර්යයේ යෙදෙන කෙනෙක් නොවෙයි. නවකතාවක් හෝ කවියක් හෝ කෙටිකතාවක් හෝ මෙහෙම පරිවර්තනය කළ යුතුයි කියලා මට දැනුණොත් විතරයි මම ඒ දේ කරන්නේ.

සෙංකොට්ටං නවකතාව කියෙව්වාට පස්සේ ඇත්තටම මට ඒක දැනුණා. මගේ මිතුරියක් වන ලිලිනි ඊරියවල මගෙන් විමසුවා මේක පරිවර්තනය කරනවා නම් හොඳයි නේද කියලා. හැබැයි මට මේක පරිවර්තනය කරන්න අවස්ථාව ලැබුණේ 2020 වසරේ විතර. අනුරාධා කෝදාගොඩ මහත්මිය සමග මා කතා කළ අවස්ථාවක ප්‍රතිඵලය හැටියට සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ මේ නවකතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරලා කොටස් වශයෙන් පළකරන්න ලැබුණා. ඇත්තටම එහෙම කොටස් හැටියට පළ නොවුණා නම් මේ පරිවර්තනය සිද්ධ නොවෙන්නත් තිබුණා. එහෙම නැත්නම් බොහොම ප්‍රමාද වෙන්නත් තිබුණා. මොකද මම මේ පරිවර්තන කටයුත්ත අඛණ්ඩව කරන වෘත්තීය පරිවර්තකයකු නොවන නිසා.”

 

• සෙංකොට්ටං නවකතාව මෑත කාලයේ අතිශය ජනප්‍රිය කෘතියක් වුණා පමණක් නොව සම්මානලාභී කෘතියක් වුණා. මෑත කාලීන සිංහල නවකතා ක්ෂේත්‍රය පිළිබඳ යම් කියැවීමකට එන්නට මෙවැනි කෘතිවලින් ලැබෙන ඉඩකඩ කෙබඳු ද?

“මම සාහිත්‍ය විචාරකයෙක් නොවෙයි. සාහිත්‍යය විෂයයක් හැටියට ඉගෙන ගෙන තියෙන්නේ උසස් පෙළට සහ විශ්වවිද්‍යාලයේ පළමු වැනි වසරේදී විතරයි. මම සාහිත්‍යයට කැමැතියි. ඒත් මම පුරුද්දක් හැටියට දිගින් දිගටම පොත්පත් කියවන කෙනෙක් නොවෙයි. ඉඳලා හිටලා තමයි මට නිවී සැනසිල්ලේ පොතක් කියවන්න අවස්ථාව ලැබෙන්නේ. එවැනි පසුබිමක් තුළ සිංහල නවකතාවේ ස්වභාවය වගේ ප්‍රශ්නයකදී මට දෙන්න උත්තරයක් නැතුව යනවා. බරපතළ කියැවීමකින් තොරව එවැනි ප්‍රකාශයක් කරන එකත් සාධාරණ නැහැ.

කොහොම හරි මට සෙංකොට්ටං නවකතාව කියවන්න ලැබුණා මොකක් හරි හේතුවක් නිසා. අනිත් එක මේ නවකතාවේ පළමු වැනි වාක්‍යය කියවනකොටම පාඨකයා කියැවීමට පොළඹවන ගතියක් තියෙනවා. මටත් ඒක එහෙමම දැනුණා. සෙංකොට්ටං නවකතාව ඉතාම ජනප්‍රිය වුණ නවකතාවක්. ඊට වඩා හොඳ නවකතා තියෙන්නත් පුළුවන්. හැබැයි විවිධ සම්මාන උත්සවවලින් තේරිලා මෙහෙම ඉදිරියට එන නවකතා බොහොමයක් මට කියවන්න අවස්ථාව ලැබුණේ නෑ.

මට හිතෙන හැටියට සෙංකොට්ටං නවකතාව ජනප්‍රිය වෙන්න හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්. ඉන් ප්‍රධාන එකක් තමයි මස්ඉඹුලගෙ භාෂා හැසිරවීම. ඇත්තටම ඒක විශිෂ්ටයි. එක්තරා ඓතිහාසික යුගයක් තුළ සමාජ, ආර්ථික, දේශපාලන වටපිටාව ඔහු කදිමට මේ නවකතාවේ දිගහැර දක්වනවා. ඒක අපට දැනෙන විදිහට ඔහු කරනවා කියලයි මට හිතෙන්නේ.”

 

• නිර්මාණාත්මක කෘතියක් පරිවර්තනය කිරීමේදී මුල් කෘතියේ ජීව ගුණය එලෙසම රැකෙන පරිදි පරිවර්තනය කිරීමට නම් පරිවර්තකයකු තුළ තිබිය යුතු ගුණාංග මොනවා ද?

“කලින් කිව්වා වගේ මම වෘත්තීය පරිවර්තකයකු නොවන නිසා හරියටම අධ්‍යයනය කරලා නෑ කොහොම ද පරිවර්තනයක් කළ යුත්තේ කියලා. හැබැයි මෙන්න මේ වගේ දෙයක් මට කියන්න පුළුවන්. මුල් කෘතියේ භාෂාව සහ පරිවර්තනය කරන භාෂාව කියන භාෂා දෙක ගැනම පරිවර්තකයාට දැනුමක් අවබෝධයක් තිබිය යුතුයි. විශේෂයෙන් මේ කියන භාෂාවේ සාහිත්‍යමය ගුණය ගැන අවබෝධයක් තියෙනවා නම් පරිවර්තන කටයුත්ත පහසුයි වගේම සාර්ථකයි කියලයි මට හිතෙන්නේ.

ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලට නැඟෙන බොහෝ පරිවර්තන කෘති අපි දකිනවා මේ කාලයේ. සමහරවිට මේ කෘතිවල මුල් කෘති ලියලා තියෙන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් වෙන්න පුළුවන්, ප්‍රංශ භාෂාවෙන් වෙන්න පුළුවන්. ඒත් ඒක බොහෝ වෙලාවට පරිවර්තනය වෙන්නේ ඉංග්‍රීසි භාෂාව හරහා. මෙතැනදී මුල් භාෂාව නොදන්නාකමෙන් ඒ පොතේ යම් ප්‍රමාණයක් අපට අහිමි වෙනවා. දෙවැනි භාෂාව පිළිබඳවත් නිසි අවබෝධයක් නැති වුණොත් පරිවර්තනය වෙන්නේ මොකක් ද කියලා අපට හිතාගන්නවත් බැරි වෙනවා.

සිංහල භාෂාවට පරිවර්තනය වුණ දේවල්වල මම දකින ලොකුම දුර්වලකමක් තමයි මුල් භාෂාව පිළිබඳ ඇති අවබෝධය අඩු වීම. දැදිගම රැද්‍රිගු වැනි අය රුසියන් භාෂාවෙන් සිංහල බසට නැඟූ පොත් ගැන කතා කළොත් රුසියන් භාෂාව දන්නා අය කියන්නේ ඒවා විශිෂ්ට පරිවර්තන බවයි. හැබැයි රුසියන් භාෂාව නොදැන එහි ඉංග්‍රීසි පරිවර්තනය අරගෙන ඉංග්‍රීසිත් හරියට දන්නැති කෙනෙක් සිංහල නගද්දී එතැන ප්‍රශ්නයක් තියෙනවා. භාෂාව දැනගන්න ඕනෑ වගේම ඒ මුල් කෘතිය පිළිබඳ එහි පසුබිම ගැන යම් හැදෑරීමක් තිබීමත් අවශ්‍යයි.”

 

• වඩා හරවත් නිර්මාණ කෘති අපේ රටේ සිංහලෙන් පළ වුණත් ඒවා ජාත්‍යන්තරයට නොයන්නේ ඉංග්‍රීසියෙන් නොලියැවෙන නිසා බවට මතයක් තිබෙනවා. ඒත් ඉන්දියාවේ තත්ත්වය මීට වෙනස්. මේ තත්ත්වය ඔබ විමසන්නේ කොහොම ද?

“මෙතැනදී මට මතක් වෙනවා මීට කලකට පෙර මම සයිමන් නවගත්තේගමගේ සංසාරණ්‍යයේ දඩයක්කාරයා පොත ඉංග්‍රීසියට පරිවර්තනය කළ අවස්ථාව. ඇත්තටම මම ඒක විනෝදයට වගේ කරපු දෙයක්. ඒ පොතේ පරිච්ඡේද දෙකක් විතර පරිවර්තනය කළාට පස්සේ මම ඒක මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතාට යැව්වා පොඩ්ඩක් කියවලා බලන්න කියලා. ඔහු කිව්වේ මේක හොඳයි මේක දිගටම කරගෙන යන්න කියලා. ඒ කාලෙ අමරකීර්ති මහතා පුවත්පතකට ලිපියක් ලිව්වා පොඩි දෝෂාරෝපණයක් එක්ක. එහිදී ඔහු කිව්වේ අපේ රටේ විශ්වවිද්‍යාලවල ඉංග්‍රීසි අංශවලින් වසරක් පාසා සැලකිය යුතු උපාධිධාරීන් සංඛ්‍යාවක් පිට කළත් මොවුන් පරිවර්තන කාර්යයෙහි නොයෙදෙන බව. කොහොමත් ඉංග්‍රීසි අංශයක ඉගෙන ගත්තා කියලා කාටවත් බලකරන්න බෑ සිංහල – දෙමළ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කළ යුතුයි කියලා. ඒක වෙන්නෙ එක එක්කෙනාගේ කැමැත්ත අනුව.

හැබැයි අමරකීර්ති මහත්මා ඒ ලිපියේ සඳහන් කරලා තිබුණා මට මතකයි මාලින්ද සංසාරණ්‍යයේ දඩයක්කාරයා පරිවර්තනය කරනවා. ඒත් ඔහු ඉංග්‍රීසි අංශයක නොවෙයි ඔහු සමාජ විද්‍යාව ඉගෙන ගන්නේ කියලා.

ඉන්දියාවේ සමහරවිට ජනගහනය අධික නිසා ද දන්නේ නෑ ලංකාවට වඩා ජාත්‍යන්තර බසින් ලියැවෙන ප්‍රමාණය වැඩියි. ලංකාවේ ඉංග්‍රීසි කතා කරන පිරිස හරි අඩුයි. ඒ පිරිස අතරින් සාහිත්‍යයට නැඹුරුවක් තියෙන පිරිස ඊටත් අඩුයි. ඉතින් එහෙම තත්ත්වයක් තුළ බොහෝ දෙනා අහන්නෙ මේවා විකුණන්නේ කොහොම ද කියලා. හැබැයි ඉතින් මේවා විකුණන්න බැරි වෙන්න බෑ. මොකද ඉංග්‍රීසි කතා කරන පිරිස් ඕනෑ තරම් මේ ලෝකේ ඉන්නවනේ.

ඒත් මේ ප්‍රශ්නෙදි විවිධ හේතු තියෙන්න පුළුවන්. ඇතැම් විට අපට එහෙම සාහිත්‍යමය සංස්කෘතියක් නැතුව ඇති. ඒවා ඉබේටම ගොඩනැගෙන්නේ නෑ. අනික් පැත්තෙන් නීති පනවලා කරන්නත් බෑ. කාලය විසින් මේවා තීන්දු කරයි.

කොහොමත් එද‌ාට වඩා අද ද්වි භාෂික උගත් පිරිස වැඩියි. ඒ තරුණ පිරිසට සාහිත්‍යය පිළිබඳ උනන්දුවක් තියෙනවා නම් ඔවුන් ඒ කාර්යයේ යෙදෙයි. ඒ නිසා අනාගතය ගැන යහපත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වේවි.”

 

• මෑත භාගය තුළ ඉංග්‍රීසි බසින් ලියන ලංකාවේ ලේඛකයන්ගේ නිර්මාණ ජාත්‍යන්තරයේ යම් පිළිගැනීමකට ල්කවෙලා තියෙනවා ද?

“ඔව්. ශෙහාන් කරුණාතිලකගේ චයිනමන් කෘතියට ග්‍රේෂන් සම්මානය වගේම පොදු රාජ්‍ය මණ්ඩල සම්මානයත් හිමි වුණා. මේ ඊයේ පෙරේදා කාන්‍යා අල්මේද‌ා ලියපු කෙටි කතාවක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩල කෙටි කතා වෙනුවෙන් දෙන සම්මානය හිමි වුණා. කලින් පැවැසුවා මයිකල් ඔන්ඩච්චි ගැන. මගේ නැගණිය රූෆ් රීමන්. ඇය ඉන්නේ ඇමෙරිකාවේ. ඇයට අවුරුදු හතර පහකට කලින් ලැබුණා කාන්තා සම්මානය. මේ ආදී වශයෙන් විවධ ඇගැයීම් ලැබිලා තියෙනවා. තවත් ඒ වගේ ඇගැයීම් තියෙන්න පුළුවන්. ශ්‍යාම් සෙල්වදොරේගේ කෘති චිත්‍රපට බවට පත්වෙලා තියෙනවා. සෑම් මගේ පාසල් මිතුරෙක්. ඒ වගේම රොමේෂ් ගුණසේකර වගේ අයත් මගේ මතකයට එනවා. එහෙම ලියන අය ඉන්නවා වගේම ඔවුන්ගේ කෘති ජනප්‍රිය වෙලත් තියෙනවා. වෙනස තමයි ශෙහාන් ලංකාවේ ඉන්නෙ. කාන්‍යාත් දැන් ලංකාවේ ඉන්නේ. ඉතුරු අය නේවාසිකව ඉන්නේ වෙනත් රටවල.

එතකොට සමහර වෙලාවට එයාලට ඒ සාහිත්‍ය ලෝකය තුළ අලුත් දේවල් හොයලා බලන්න මිනිස්සු මුණගැහෙන්න ගනුදෙනු කරන්න කතාබහ කරන්න අවස්ථාව වැඩි ඇති.”

 

• ලංකාවේ සාහිත්‍ය නිර්මාණ රචනය, විචාරය සහ පාඨක සමාජය මීට වඩා ඉහළ තැනකට රැගෙන යාමට නම් ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා හඳුනා ගැනීම ඊට උදව්වක් විය හැකියි. මෙරට පරිවර්තකයන්ට ඒ වෙනුවෙන් පැවැරෙන වගකීම කෙබඳු ද? අතීතයට සාපේක්ෂව වර්තමාන පරිවර්තකයන්ගෙන් එම කාර්යභාරය ඉටු වෙනවා ද?

“සාහිත්‍යය කියන්නේ නගරයකට, ගමකට, විශ්වවිද්‍යාලයකට, කිසියම් කණ්ඩායමකට, රටකට සීමා වුණ දෙයක් නොවෙයි. වෙනත් සාහිත්‍යයන් ස්පර්ශ කරන ප්‍රමාණයට අපේ සාහිත්‍යය දියුණු වෙනවා. ප්‍රතිපෝෂණය වෙනවා. එක පැත්තකින් කියන්න පුළුවන් ඒ සඳහා අනිවාර්යයෙන්ම වෙන වෙන රටවල පළවන කෘති සිංහලට දෙමළට පරිවර්තනය විය යුතුයි කියල හිතෙනවා. එහෙම නොවෙනවා නොවෙයි. හැබැයි කොයි තරම් දුරට සාර්ථකව ඒ දේ වෙනවා ද කියන එක ප්‍රශ්නයක්. උසස් මට්ටමකින් වගකීමකින් පරිවර්තන කාර්යයේ යෙදෙන අයත් ඉන්නවා. ඒ භාෂාව, සාහිත්‍යය ඒවායේ සියුම් තැන් අවබෝධ කරගෙන මුල් කෘතියට අසාධාරණයක් නොවන විදිහට පාඨකයාව රවට්ටන්නේ නැතිව පරිවර්තනය කරන අය ඉන්නවා. එහෙම පාඨකයාව රවට්ටන්න පරිවර්තකයාට අයිතියක් නෑ. ඒවා ගැන හොයලා බලලා සෑහෙන මහන්සි වෙන අය නැතුව නෙවෙයි.

හැබැයි විශ්ව සාහිත්‍යයක් කියලා එකක් තියෙනවා නම් ඉංග්‍රීසි භාෂාව හරහා නම් කෙනකුට තමන්ගේ සාහිත්‍ය ලෝකය ප්‍රසාරණය කරගන්න ඕනෑ නම් ආලෝකවත් කරගන්න ඕනෑ නම් ඒකට අවංක උත්සාහයක් තිබිය යුතුයි. ඒ සඳහා මුල් කෘති කියවන්න වෙහෙසිය යුතුයි. දැන් මාක්ස්වාදය වගේ එකක් ගත්තාම, දැන් ජනප්‍රිය වෙලා කියන පශ්චාත් නූතනවාදය වගේ එකක් ගත්තාම ඕවා සිංහලෙන් තිබ්බේ නෑනේ. ඒවාට උනන්දුවක් දක්වපු කට්ටිය මහන්සි වෙලා ඒවා කියවලා හොයලා බලලා ඒවායින් ගම්‍ය වෙලා තියෙන න්‍යායාත්මක කාරණා අධ්‍යයනය කරලා ලංකාවට හඳුන්වා දීලා තියෙනවා. ඒක විශ්වවිද්‍යාලයෙන්ම නොවෙයි ආවේ. ඇත්තටම ඒවා විශ්වවිද්‍යාලයෙන් පිට ආවේ. ඒවා කියැවීම හරියට වුණා ද කියන එක වෙනම ප්‍රශ්නයක්.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.