නව ලොවට ගැලපෙන ශ්‍රම බලකායක් ගොඩනගනවා – සුජීව සේරසිංහ

පැතුම් වික්‍රමරත්න –

කාර්මික හා තොරතුරු තාක්ෂණය අංශ පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව මේ වනවිට විශාල සංවර්ධනයකට ලක්වෙමින් ඇති අතර ඒ සඳහා අවශ්‍ය වෘත්තීය හැකියාවෙන් සපිරි ශ්‍රම බලකායක් සකස් කළ යුතුව ඇති බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
“යොවුන් සවිය – 2018” යටතේ අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කළ කොළඹ දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහසකට තොරතුරු තාක්ෂණය හා වෘත්තීය ශිෂ්‍යාධාර ලබා දීමේ ජාතික වැඩසටහනට එක් වෙමින් මේ බව අවධාරණය කළේය.
රැකියා දස ලක්ෂය යටතේ “යොවුන් සවිය – 2018” වැඩසටහනට අදාළව මෙම ශිෂ්‍යත්ව ලබා දේ. රුපියල් විසිපන්දහසක් පමණ වටිනා මෙම ශිෂ්‍යත්ව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන අතර සාර්ථකව පුහුණුව නිම කිරීමෙන් පසු පිළිගත් සහතික පත්‍රයක්ද පිරිනැමේ.
කොළඹ දිස්ත්‍රික්කයේ සමාරම්භක උත්සවය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2000කගේ පමණ සහභාගීත්වයෙන් පසුගියදා නුගේගොඩ දී පැවැත්විණි. මේ සඳහා දෙමාපියන්ද විශාල පිරිසක් සහභාගී වූහ.
පැමිණ සිටි පිරිස ඇමතූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා, අග්‍රාමාත්‍ය තුමාගේ දූරදර්ශි වැඩ පිළිවෙල යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විටත් සකසා අවසන් බවත්, ඉදිරි වසර දෙක තුළදී විශාල කර්මාන්ත ශ්‍රී ලංකාවට පැමිණෙන බව පැවසීය. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම සැලකිල්ලට ගනිමින් වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට අනාගත ශ්‍රී ලංකාව පත් වන බවද සේනසිංහ මහතා පැවසීය.
අනාගත ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ තොරතුරු තාක්ෂණය හා වෘත්තීය නිපුණතාවයෙන් සපිරි තරුණ පරපුරක් බවත් ඔවුන් සවිබල ගැන්වීම යොවුන් සවිය තුළින් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සේනසිංහ රාජ්‍ය අමාත්‍ය වරයා අපේ තරුණ තරුණියන් දැනුමෙන් හැකියාවෙන් මෙන්ම ආකල්ප හැදියාව තුළින්ද පොහොසත් කළ යුතුව ඇතැයි සඳහන් කළේය. සමාජයක මනුෂ්‍ය විඥාණය රඳා පවතින්නේ එම සමාජයේ අධ්‍යාපනය, කලාව, මාධ්‍ය හා ආගම තුළින්ය. මෙම අංශ යහපත් වීම තුළින් සමාජයේ සාමුහික විඥාණය ගමන් කරන දිශාව යහපත් වෙනවා. යහපත් සමාජයක් ඵල දැරීමට මෙම අංශ සියල්ල යහපත් විය යුතුයි.
අග්‍රාමාත්‍ය තුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “යොවුන් සවිය”තුළින් හැකියාවෙන්, ගුණයහපත් කමින් හා සමාජ වගකීමෙන් සපිරි පුරවැසියන් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍ය වරයා පැවසීය.
ශ්‍රී ලංකාව සතු ඉහළම සම්පත උගත් බුද්ධිමත් හැකියාවන් සපිරි ශ්‍රම බලකායයි. අනාගත ගෝලීය අවශ්‍යතාවයන්ට සරිලන ලෙස මෙම පිරිස සකස් කිරීම තුළින් ආර්ථික ශක්තියෙන් හා හැකියාවෙන් සපිරි ඉහළ වෘත්තිකයන් පිරිසක් අප රටම හිමි කර ගත හැකියි.
ඉහළ වැටුප් ලබන, වැඩි ඉල්ලුමක් පවතින රැකියා අවස්ථා පිළිබඳව රජයේ අවධානය මේ වන විටත් යොමු වී ඇත. ඒ සඳහා මෙරට තරුණ තරුණියන් සවිබල ගැන්වීම ඉදිරියේ කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.