නවගත්තේගම කියවමු.

(මගේ ලෝකේ මං හිටිය ක්ෂීර පථ තුනකට විතර එහායින් සයිමන් මහත්තයා හිටියේ. ” – ජනක ජයසිංහ)

කොළඹ විශ්ව විද්‍යාලයේ පසුගිය දිනෙක ඉතා වැදගත් කටයුත්තක් සිංහල අධ්‍යයන අංශය මගින් සිදු කෙරිණි. ඒ සයිමන් නවගත්තේගම සම්බන්ධ ව ප්‍රසිද්ධ කතිකාවක් ඇති කිරීමෙනි. මාධ්‍යවේදී ජනක ජයසිංහ, නාට්‍යවේදී එඩ්වඩ් චන්ද්‍රසිරි හා සංගීත අධ්‍යක්ෂක රංජිත් යාපා ද අල්විස් යන දේශකයන්ගේ අදහස් දැක්වීම් මගින් එම කතිකාව සුපෝෂිත විය. මේ කතිකාව තුළින් අපේක්ෂිත කරුණ වූයේ සයිමන් නවගත්තේගම පෞද්ගලිකව ඇසුරු කරන ලද පුද්ගලයන් කිහිපදෙනෙකු කැඳවා එම පුද්ගලයන් ඒ ඒ යුගයන්හි නවගත්තේගම ඇසුරු කරන අවස්ථාවල ලැබූ අත්දැකීම් විද්‍යාර්ථීන් හා පැමිණි සිටි අනෙකුත් පිරිස සමඟ බෙදා හදා ගැනීමටත්, නවගත්තේගමගේ නිර්මාණ ඔවුන් හඳුනා ගන්නා ආකාරය පිළිබඳ අදහස් මතුකර ගැනීමත් ය.

නවගත්තේගම සම්බන්ධ ව මුලින්ම අදහස් දැක්වූයේ නාට්‍යවේදී එඩ්වඩ් චන්ද්‍රසිරි මහතා ය. ඔහු 1971 දි ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවෙන් නාට්‍ය පිළිබඳ හදාරා 1985 සිට 2015 තරම් මෑත අවධිය තෙක් ම නාට්‍ය නිෂ්පාදන කළමනාකරුවෙක් හැටියට වැඩකටයුතු කළේය. ඒ අතර කාලයේ නාට්‍ය නිෂ්පාදකවරයෙක්, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් හා ග්‍රන්ථ රචකයෙක් ලෙසින් ද ඔහු වැඩකටයුතු කළේ ය. මෙම කතිකාවේදී වැදගත් කරුණු ගණනාවක් ඔහු සාකච්ඡා කළේ ය. “සුභ සහ යස” නාට්‍ය හා නාට්‍ය සම්බන්ධයෙන් තමාගේ හැදෑරීම් ද භාවිතයට ගනිමින් නවගත්තේගම තමා හඳුනාගන්නේ කෙසේද? යන්න පෙන්වා දීම ඔහුගේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණු විය.
නවගත්තේගම නාට්‍යකරණයට ප්‍රවිෂ්ට වන්නේ පිටපත් රචකයෙකු හැටියට ය. ඒ 1970 බන්ධුල විතානගේ නිෂ්පාදනය කළ “ගංගාවක්, සපත්තු කබලක් සහ මරණයක්” නාට්‍යයෙනි. මෙය ‘විකාර රූපි රංග ශෛලියේ’ නාට්‍යයකි. ‘අසම්මත රංග ශෙලිය’, ‘කුරිරු අංගය’ හා ‘විමති රංගනය’ යනුවෙන් ද හදුන්වන්නේ මෙයම බව චන්දසිරි පෙන්වා දුන්නේ ය. ‘ගගන සරන කුරුල්ලනේ’ 1970 සයිමන්ගේ ප්‍රථම නාට්‍ය නිෂ්පාදනයයි. 1973 දි “පුස්ලෝඩං” නම් නාට්‍ය නිෂ්පාදනය කළේ ‘ගගන සරන කුරුල්ලනේ’ නාට්‍යයේ මූලීක අවස්ථා උපුටාගනිමිනි. එය ද එහි මුල් නාට්‍යය මෙන් ම ‘විකාර රූපී රංග ශෛලියෙන්’ නිර්මාණය වී තිබිණී.


1970-71 පමණ මෙම වකවානුවේ ඇත්ත පුවත්පතටත්, සිළුමිණ සති අන්ත පුවත්පතකටත් සයිමන් නාට්‍ය සම්බන්ධයෙන් ලියූ ලිපි පෙළ බොහෝ කැමැත්තෙන් චන්දසිරි කියවූයේ ය. එමෙන් ම ඒවායේ තමාට එකඟවිය නොහැකි ඇතැම් තැන් සටහන් කරගනිමින්, ඇත්ත පුවත්පතේ මුද්‍රණාලයේ දී සයිමන් හමු වෙලාවක දී අදහස් විමසන්නටද කටයුතු කළේ ය. ගැටවරයෙක් ව සිටි තමා ප්‍රවීණයෙක් වූ නවගත්තේගම වෙත ඉතා උනන්දුවෙන් කරුණු කාරණා ඉදිරිපත් කරන විට එයින් වැදගත් වෙන කරුණු සාවධානව අසා තමාට ඒ අපැහැදිලි තැන් මනාව, නිහතමානී ව සයිමන් කියා දුන් බවත් එඩ්වඩ් පැවසීය. එහිදී ඇති වූ සබඳතා මත “පුස්ලෝඩං” නාට්‍යයේ පුහුණුවීම් බලන්නට පවා තමන් කැඳවීමට සයිමන් කටයුතු කළ බව ඔහු සිහිපත් කළේය.

ලයනල් වෙන්ඩ්ට් රඟහලේ “ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව” නමින් ධම්ම ජාගොඩ පැවැත්වූ නාට්‍ය පාඨමාලාවකට 1971 වසරේ බඳවාගත් දෙවන කණ්ඩායමට ඇතුළත් වන්නට චන්දසිරිට හැකිවිණි. එම නාට්‍ය පාඨමාලාවේ බඳවා ගැනීම් දින පසුවී තිබියදීත් ජාගොඩ සමඟ කතාබහකොට ඒ පාඨමාලාවට චන්දසිරි ඇතුලු කරන්නට කටයුතු කළේ නවගත්තේගම ය. එබැවින් තමාට නාට්‍යය ලෝකයට දොරටු විවර කර දුන්නේ නවගත්තේගම බව එඩ්වඩ් ගෞරවයෙන් සිහිපත් කළේ ය. මීලගට ඔහු නවගත්තේගමගේ ප්‍රධාන නාට්‍යය වූ 1974 දී කරන ලද “සුබ සහ යස” නාට්‍ය ගැන වටිනා අදහස් කිහිපයක් මතුකළේ ය.
“1974 “සුභ සහ යස” නාට්‍යයේ ඇත්තටම මම මංගල දර්ශන නැරඹුවා. මංගල දර්ශන නරඹලා මට මතක නෑ මං ගෙදර ගියේ කොහොමද කියලා. ඒ තරම්ම ඒ නාට්‍ය ඉහළ නාට්‍යයක් හා නාට්‍ය පිටපතක්. ඔහු උපාධියට කළේ ඉතිහාසය. ඉතිහාසය ගැන ලොකු දැනුමක් ඇති කෙනෙක්. ඉතින් ඔහු මේ නාට්‍ය ලිව්වේ ඒ ඉතිහාස කතාවක් ඇසුරෙන්. උපාලි අත්තනායක ඒ දවස්වල මට කියනවා මේ නාට්‍ය පිටපත ටෙලිෆෝන් ඩිරෙක්ටරියක් විතර ඇති කියල. මේ නාට්‍යයේ ලයිට් රිහසල් එක කලහම පැය හයක්. පැය හයේ නාට්‍යය පැය තුනකට අඩුකළේ උපාලි හා සැන්ටින් දෙන්නා.* ඉතින් උපාලි මට කියනවා ‘එඩ්වඩ් මේ පිටපත අපි කැපුවේ තිරස් අතට නෙමේ සිරස් අතට’ කියලා”
ඉතාමත් හොඳ නාට්‍ය කෘතියක් බිහි වූයේ එය එවැනි සංස්කරණය කිරීමකින් අනතුරුව බව එඩ්වඩ් ගේ අදහසයි. එමෙන් ම “සුබ සහ යස” නාට්‍ය එක රැයකින් ජනප්‍රිය වීමට ද එය හේතුවක් වන්නට ඇත. 74/75 ඒ යුගයේ එම නාට්‍යයේ දර්ශන වාර ගණනාවක් තමන්ට සංවිධානය කරන්නට ද හැකි වූ බව චන්දසිරි ප්‍රකාශ කළේ ය.“සුබ සහ යස” නාට්‍යයෙන් පමණක් නොව විකාර රූපී රංග ශෛලිය ස්වතන්ත්‍ර රචනා හරහා රැගෙන ආ නාට්‍යකරුවෙක් හැටියට ද නවගත්තේගම හදුනාගන්නට හැකි බව ඔහුගේ අදහසයි. නවගත්තේගම සම්මත යැයි සැලකූ රීති බිඳ දැමීමට සියලු සාහිත්‍යය කලා නිර්මාණවලදි උත්සාහ ගත්තා සේ ම නාට්‍ය කලාවේ දි ද එම සම්මතයෙන් මෙපිට ලෝකය ස්පර්ශ කරන්නට ගත් උත්සාහයක් දැකිය හැකිය. 1950 අග භාගයේ දි පමණ යුරෝපයේ ප්‍රචලිත වූ මෙරටට ආගන්තුක විකාර රූපී රංග ශෛලිය වැනි න්‍යාය විරෝධි ශෛලීන් පවා ලාංකික ප්‍රේක්ෂකයන්ට සමීප කරන්නට ඔහු ගත් උත්සාහයන් මෙයින් පෙනේ. “සුබ සහ යස” ඉතිහාස පුවතක් රැගත් නාට්‍යයක් වුවද එහි සංවාද කට වහරට හුරු, එදිනෙදා ජනයා තුළ කතාබහවෙන වදන් යෙදීමට නවගත්තේගම උත්සාහ ගත්තේ ‘සම්භාව්‍ය නාට්‍යයක සම්භාව්‍ය රීතියෙන් පමණක් දෙබස් තිබිය යුතු ය’ යන සම්මතයට විරුද්ධ ව කැරළි ගැසීමක් ලෙස ය. ඒ පෙරළියේ සාර්ථකත්වය අද වනවිට දර්ශන වාර 5,000 ක්** ඉක්මවාත් තවමත් සිංහාසනය රැකගන්නට “සුබ සහ යස” ට හැකිවීම තුළින් තහවුරු කරගත හැකිය.
ජනක ජයසිංහ දෙවනු ව අදහස් දැක්වීමේදී තමා සයිමන් හා එක්ව ගෙවූ අවුරුදු පහලොවක පමණ කාලය තුළදි ලැබූ පෞද්ගලික අත්දැකීම් ගණනාවක් බෙදාගත්තේ ය.

නවගත්තේගම 80 දශකයේ යුනිසෙෆ් ආයතනයට අනුබද්ධ ජන උදාව සන්නිවේදන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කරන ලද අතර කාලයේදි ජයසිංහට ඔහු හා ඇසුරු කරන්නට ඉඩ ලැබිණි. ඒ එම ව්‍යාපෘතියෙහි සහායකයෙක් වශයෙන් සේවය කරන්නට අවස්ථාවක් ලැබීමෙනි. එම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ අඩු ආදායම් ලාභී පැල්පත්වාසී දරුවන්ට කලාව සහ සාහිත්‍යය මාධ්‍යය තුළින් සෞඛ්‍ය පණිවිඩ රැගෙන යාමයි.
නවගත්තේගම වැල්ලවත්ත තදාසන්න ප්‍රදේශවල පැල්පත්වාසීන් අතර සිටී සාහිත්‍ය කලාවට ලැදි මිනිසුන් සොයමින් සිටියේ තමාගේ රජකාරීම ය කටයුතු ඔවුන් සමඟ සිදුකිරිමෙන් වඩා කාර්‍යක්ෂම ව ඉටු කරගත හැකියැයි සිතූ නිසාවෙනි. එම පැල්පත්වාසීන් අතර එකල යෞවන වියේ සිටී ජයසිංහ ඔහුට මුණගැසෙන්නේ එවැනි වටපිටාවකදි ය. 1982 එක්තරා දවසක තමන්ට ද නිර්මාණ කිරීමේ හැකියාව ඇතැයි කියමින් නවගත්තේගම හමුවට ආ කොට කලිසම් හැඳි ගැටවරයාට සයිමන් ‘විහාර ලේන්’ හි වෙසක් දින පෙන්වන්නට නාට්‍යයක් ලිවීමට වැඩක් පැවරුවේ ය. නාට්‍ය පිටපත ඊලඟ සුමානේ සයිමන් අතට පත් විය. “සයිමන් නවගත්තේගම ඒක බලලා කිව්වා ‘හරි ෂෝක්’ කියලා” ජනක පැවසුයේ එසේ ය. ජන උදාව සන්නිවේදන අධ්‍යක්ෂ හැටියට පත් වූ පසු නවගත්තේගම කරන ලද ප්‍රථම කටයුත්ත එම නාට්‍යය රූකඩ මගින් ඉදිරිපත් කිරීම ය.
“අපි කරන්නේ වත්තේ තියෙන මොකක් හරි ප්‍රශ්නයක් අරගෙන ඒ ළමයි ලවා ම ඒක රඟපානවා. තාත්තාගේ චරිතේ රඟපානවා පුතා ම. කුඩු කාරයෙක්ගේ හරි එහෙම එකෙක්ගේ. දැන් ඊට පස්සේ වතුවල තිබිච්ච පොඩි පොඩි ජිල්මාල් වැඩ අඩුවුණා. විශේෂයෙන් ඉස්සර තිබිච්ච දෙයක් තමයි පිත්තල කරාම ගලවන එක. ඊට පස්සේ නවගත්තේගම කිව්වා ඔතනදි ‘අපි දැන් කලාව ජනතාව සඳහා යොදාගෙන තියෙනවා. අපි දැන් මෙහෙම කරාට පස්සේ කරාම ගලවන එක, හොරකම් කරන එක නැවතිලා තියෙනවා’ කියලා. ”
ජයසිංහ ප්‍රකාශ කළේ කලාව මිනිසා සඳහා යන කාරණාව සයිමන් වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද කර පෙන්වූවෙක් බවයි. ප්‍රසිද්ධ සාහිත්‍ය සම්මන්ත්‍රණවලදි නවගත්තේගමට මෙබඳු අතිශය සරළ කාරණා පවා සිහිපත් කරමින් එකල විසූ පුද්ගලයන් බැණ වැදුණු බව ජයසිංහ ප්‍රකාශ කළේ ය. සයිමන්ට පුද්ගලික දේශපාලන සම්බන්ධතා ඇතැයි ද දේශපාලන අතකොලුවක් බවට පත් වී ආණ්ඩුවට සුදු හුණු ගාන්නෙක් යැයිද හංවඩු ගසන්නට තරම් ඇතැම් පිරිස් නිර්දය වුහ.
“පරණ ගුරුකුළ නඩ දිගට හරහට සයිමන්ට ගහනකොට… ඔය සුද්දිලාගේ කතාවට එහෙම. එක සැරයක් ඔය ෆිල්ම් එක වෙලාවේ දි සම්මන්ත්‍රණයක් තිබුනා. සයිමන් මහත්තයා උඩට නැග්ගේ නෑ. එයා ඕඩියන්ස් එකේ වාඩිවෙලා හිටියා. ඉන්නකොට කිව්වා. ‘මේක මානසික ලෙඩෙක්ගේ වැඩක්. ලිංගික බෙලහීනතාව තියෙන මිනිහෙක්ගේ වැඩක් මේක’ කියලා. ඒකට කාලෝ ෆොන්සේකා තමයි උත්තර දුන්නේ. එයා හරි ලස්සනට පැහැදිලි කරලා දුන්නා.”
මේ නවකතාව ලිංගිකත්වයෙන් ඔබ්බට දකින්න නොහැකි පුද්ගලයාට ඇත්තේ එවැනි රෝගයක් යැයි පැවසූ බවත්, ඔහු වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවත් කාලෝ ෆෝන්සේකා පැවසූ බව ජනක පැවසීය.
“සුද්දිලාගේ කතාව” චිත්‍රපටය නවගත්තේගමගේ නිර්මාණයක් නොවේ. එය ධර්මසිරි බණ්ඩාරනායකගේ නිර්මාණයකි. 1997 වසරේ දි එම නවකතාවේ දෙවන මුද්‍රණයේ පෙරවදනේ සයිමන්, එම චිත්‍රපටිය බණ්ඩාරනායක ප්‍රතිනිර්මාණය කළ ස්වාධින නිර්මාණයක් බව පවසා තිබේ. එහි ම බණ්ඩාරනායක අදහස් දක්වා ඇත්තේ “සුද්දිලාගේ කතාව” සිනමාවට රැගෙන ඒමේ දි එය “සුද්දිගේ කතාව” බවට පත් වූ බව කතුවරයා පෙන්වා දෙන බවයි. කරුණු කාරණා කෙසේ වෙතත් එම චිත්‍රපටය අසූව දශකයේ එක වසරෙක හොදම චිත්‍රපටය, හොදම තිර රචනය, හොදම අධ්‍යක්ෂණය ලෙසින් සම්මානයට පාත්‍ර වී ඇත. තමා වැදගත් යැයි හදුනාගන්නා නවකතාවේ කියැවෙන අංග මැනවින් ග්‍රහණය කරගන්නට නවකතාව නොකියවා චිත්‍රපටය පමණක් නරඹා පලක් නැතැයි නවගත්තේගම පෙන්වා දෙයි. නවගත්තේගමගේ ජනප්‍රියතාවට හා අති සුවිශේෂි නිර්මාණ ක්‍රියාවන්ට පමණක් නොව සාහිත්‍ය තුළ හුදකලා යෝධයෙක් ව ඔහු නැගි සිටීම ඇතැම් අය දුටුවේ ප්‍රතිවාදී කෝණයකිනි. ඒ නොරිස්සුම, විවේචනය කිරීම් හා ප්‍රතික්ෂේප කිරීම් මගින් පිට කරන්නට ද ඔවුහු කටයුතු කළහ.
“සංසාරණ්‍යයේ දඩයක්කාරයා අසූ දෙකේ විතර තමයි මුද්‍රණය කළේ. කිසි කෙනෙක් කතා කළේ නෑ. ඒ ගැන මෙලෝ කතාවක් කළේ නෑ නොදැක්කා සේ ගියා.”
නවගත්තේගම ජිවත්වන අවධියේ දි සැලකිය යුතු තරමට ඔහුගේ නිර්මාණ හරවත් සංවාදයකට බඳුන් නොවීම අතිශය ඛේදජනක තත්වයක් සේ තමා දකින බව ජනක පෙන්වා දුන්නේ ය. නමුත් ඒ දේවල් ගැන පසුතැවීමක් නවගත්තේගමට නොවිණී. ඔහු තමන්ගේ නිර්මාණ කටයුතු ඉතා ඉහලින් ම සිදුකළේ ඒ අසම්මතයැයි හංවඩු ගැසු ඉසව්වල ම සැරිසරමිණි. වරක් ජනක ලිව් කෙටිකතාවක් ‘ජනතා’පත්තරයේ පළ වූ පසු එය නවගත්තේගමට පෙන්වා හොදදැ’යි ඇසු ජනකට නවගත්තේගම පැවසුවේ මෙබන්දකි.


“නවගත්තේගම මහත්තයට අවශ්‍ය වුණේ නැහැ කාටවත් ඕන විදියටවත්, එහෙම නැත්නං සම්මත හොඳ විදිහටවත්, සම්මතයේ හැටියටවත් කිසිම දෙයක් ලියන්න. එයා ලිව්වේ එයාට. එයා කිව්වා නිර්මාණකරුවෙක් නිර්මාණ කරන්නේ තමන්ට. එක අනිත් අයට හොඳ වුනත් එකයි නරක වුනත් එකයි. ඒවා හොයන්ඩ යන්න එපා. ඒක එළිදක්වන්නේ කියවන්න. ඒ කියවන්න දෙන එක මගේ වැඩක්. ඒක හොඳද නරකද මට අදාල නෑ. මට හොදද නරකද අදාල කරගන්ඩෙපා. මම ලියන්නේ මට. ඔයා ලියන්නේ ඔයාට. කාගෙන්වත් අහන්න යන්ඩ එපා.”
නවගත්තේගම පුලුල් කියැවීමකින් සමාජය සමඟ කටයුතු කළ අයෙකි. තමා සමඟ සිටිනවුන් පාගා යටපත් කරගෙන ස්වකීය තත්වය වැඩිදියුණු කරගන්නට ඔහු කිසි විටෙක උත්සාහ නොගත්තේ ය. වැරැදි මාවත්වල යන්නවුන් නිවැරදි දිශානතිය පෙන්නුයේ එම නිහතමානීකම නිසාම ය.
“ඊට කලින් මම පොතක් කියව කියව ඉන්නවා දැකලා මට බැනලා මාව එවෙලෙ ම වාහනේට දාගෙන එක්කං ගිහිල්ලා කොම්පඤ්ඤ වීදීයට ගිහින් දණිස්ස උසට පොත් බන්ඩල් දෙකක් අරන් දුන්නා ‘මේවා කියවනවා ඕවා කියවන්නැතුව’ කියලා”
ජනක මේ සිහිපත් කරන සිය අත්දැකීම නවගත්තේගම අභ්‍යන්තරයේ සිටි සැබෑ මානවවාදියා හදුනාගන්නට බෙහෙවින් උපකාරී වෙයි. පැල්පත්වාසී මිනිසුන් හා මිතුරු සමාගමකදි ඔවුන් හා එක්ව, ඔවුන් ම පෙරාගත් මධුවිතක් එකට වාඩිවී තොළගාන්නට නවගත්තේගම පැකිලුණේ නැත. තමන්ට සමිප වෙන ඕනෑම මිනිසෙක් හොඳින් වටහාගන්නට හැකියාවක් ඒ මිනිසුන් සතුව ඇත. සයිමන් ඒ මිනිසුන් පිළිබඳ ව ජනකට පවසන්නේ “අයිසේ මේ මිනිස්සු හරි මානුෂීකයිනේ” යනුවෙනි. අනෙක් පස කුහක ගති සිරිත්වලින් පිරි අවට ලෝකයත් පැල්පත් ජීවිත අතරත් වෙනස සයිමන්ට මැනැවින් දැනෙන්නට ඇත.
රංජිත් යාපා ද අල්විස් “සුබ සහ යස” නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණ ය සහ සංගීත නිර්මාණ කරන ලද ශිල්පියා ය. මුල් දර්ශන සියය දක්වා ම ඔහුගේ දායකත්වය ඒ සඳහා ලැබුණු බව රංජිත් පැවසුවේ ය. “සුබ සහ යස” තුළින් සිංහල නාට්‍ය කලාව වෙනම ම මානයකට ගෙන යන්නට සයිමන්ට හැකිවිණි. එහි වූ දෙබස්, අවස්ථා තුළින් පමණක් නොව සංගීතය තුළින් ද ඒ වෙනස දැකගත හැකි ය. “සුබ සහ යස” නාට්‍ය පටන් ගන්නේ ප්‍රසස්ති ගායනයෙන් ය. වන්දීන් ඈත සිට ගායනා කරමින් මාළිගයට ළඟාවෙන අන්දම ප්‍රේක්ෂකයාට දැනෙන්නට කර ඇත්තේ මෙසේ ය.
“ලුම්බිණි රඟහලේ අපි ඉස්සෙල්ලාම කරනකොට ඩ්‍රෙසින් රූම් එකෙයි මේකප් රූම් එකෙයි තමයි ග්‍රැන්විල් රොද්‍රිගෝලා වික්ටර් රාමනායකලා ඔක්කොමලා ඉදලා කියන්නේ. එතන ඉදලා කියලා තමයි සයිඩ් එන්ට්‍රන්ස් එකට එන්නේ. මොකද අරයට ඇහෙන්නේ ඈතින්. ඊළඟට ළඟට එනකොට.. ඒ ඒ වගේ පොඩි පොඩි උපක්‍රම යොදාගත්තා ඒක කරනකොට”
එමෙන් ම මුල්වරට මගුල් බෙර වාදනයක් භාවිතා කර ඇත්තේ මෙම නාට්‍ය තුළදි බව සංවාදයේ දි අදහස් ඉදිරිපත් විණි. අවසාන වශයෙන් ඔහුගේ අදහස් දැක්වීමෙන් අනතුරු ව කතිකාවේ සමාප්තිය සිදුවිණි. එදිනට මෙම කතිකාව යොදාගැනීමෙන් සිදුවූ තවත් විශේෂ සිදුවීමක් නම් නවගත්තේගම වියෝවූ දිනය, (2005/10/09) කතිකාව පැවැත්වූ එදිනට ම යෙදි තිබීමයි. එබැවින් එය අහම්බෙන් සිදු වුව ද සයිමන් නවගත්තේගම කලාකරුවා වෙනුවෙන් සිදුකරන ලද උපහාරයක් සේ ද සැළකිය හැකිවේ.
නවගත්තේගම විසින් සමාජය කියවාගත් නමුත් අතීතයේ සහ වර්තමාන සමාජයට සයිමන් කියවාගැනීමේ මගහැරුණු තැන් අති විශාල ය. එවැනි හිස්තැනක් පුරවා ගැනීමට සයිමන් ව තවත් ගැඹුරු කියැවීමකට ලක් කරගැනීම අපගේ වගකීමකි.

(චතුරංග දිසානායක)
(කොළඹ විශ්වවිද්‍යාලය)

*උපාලි අත්තනායක හා සැන්ටින් ගුණවර්ධන යනු “සුබ සහ යස” හි පළමු වේදිකා දර්ශනයේ ප්‍රධාන චරිත රග පෑ දෙපළයි.
**2010/09/26 ලයනල් වෙන්ඩ් රඟහලේ දි විශේෂ දර්ශන වාර දෙකක් හැටියට “සුබ සහ යස” නාට්‍යය එළිදැක්විණි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.