ජගත් මානව හිමිකම් කවුන්සිලයේ හතලිස් වන සැසිවාරය මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙමින් ඇති අතර , මෙවරද ශ්‍රී ලංකාව එහි වැදගත් මාතෘකාවක් බවට පත්ව ඇත. එසේම නැවතත්, ශ්‍රී ලංකාව සම්භන්ධව විශේෂ යෝජනාවක්ද සැසිය වෙත ඉදිරිපත්ව ඇත.මෙම යෝජනාවට පදනම්ව ඇත්තේ පසුගිය 2015 වසරේ ශ්‍රී ලංකාවේද සම අනුග්‍රාහකත්වය සහිතව ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතවූ 30/1 යෝජනාවලියයි.

30/1 යෝජනාවලිය ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කල එක්සත් ජනපදය පිළිබඳව මුලින්ම කරුණු විමසා බැලුවහොත් ,ඔවුන් දිගින් දිගටම ජගත් මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු ප්‍රතික්‍ෂේප කල රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ ව්‍යුහය තුල මුල් යුගයේ පැවති මානව හිමිකම් යාන්ත්‍රනය වූයේ ජගත් මානව හිමිකම් කොමිසමයි. එම කොමිසමේ අඩුපාඩු තිබූ බැවින් 2006 වසරේදී එය අහෝසි කර , වඩා වැඩි බලතල සහිත ජගත් මානව හිමිකම් කවුන්සිලය පිහිටුවීමට ජගත් සංවිධානය පියවර ගත්තේය. එහිදී ඒ සම්භාධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට රටවල් 170 ක් එකඟතාව පළකර සිටියහ නමුත් ඇමෙරිකාව හා තවත් රටවල් තුනක් පමණක් ඊට විරුද්ධ විය.

 

එලෙස මුල සිටම මානව හිමිකම් කවුන්සිලය පිහිටුවීමට පවා විරුද්ධවූ ඇමෙරිකාව අද අපට එරෙහිව මානව හිමිකම් චෝදනා නැගීමට , එම කවුන්සිලයම වේදිකාවක් බවට පත් කරගෙන තිබීම එක් අතකින් හාස්‍යයට කරුණකි.. එසේම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයාගේ නායකත්වය යටතේ ඇමෙරිකාව පසුගිය වසරේදී මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්විය . එසේ ඉවත්ව යමින් ඇමෙරිකාව “නිකම් ” සිටියේ නැත, ජගත් මානව හිමිකම් කවුන්සිලයට නමකුත් පටබැන්දේය . “දේශපාලන අගතියේ වැසිකිලි වල “ලෙස එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් එය හඳුන්වනු ලැබුවාය .

ඇමෙරිකාව වැනි ධනවත් හා බලවත් රටවල් සහ ජගත් මානව හිමිකම් කවුන්සිලය අතර ඇත්තේ එවන් “සබඳතාවයකි”, එවැනි ප්‍රබල රටවල් කොයි ලෙසකින් හැසිරුණද ඔවුන්ට එරහිව කටයුතු කිරීමට කවුන්සිලය කිසිදු අවස්තාවක පියවර නොගනියි, , ඇෆ්ගනිස්තානය , ඉරාකය , ලිබියාව , ලෙබනනය වැනි රටවල්වලට ඇමෙරිකාව සිදුකල විනාශයන් ගැන කවුන්සිලය නිහඬය.

ලෝකය පාලනය කරන ධනවත් හා බලවත් රටවල් ,වලට අවශ්‍යව ඇත්තේ සෙසු ජාතීන් තම අවනතභාවය යටතේ වහල්ලු ලෙස තබාගැනීමටය . ඒ වෙනුවෙන් , එක්සත් ජාතීන් වැනි උසස් පරාමාර්ථ සහිත ආයතන තම මෙවලම් ලෙස යොදා ගැනීමට මෙම ධනවත් හා බලවත් රාජ්‍ය සැමවිටම ක්‍රියාත්මකවේ.එම රටවල් තම දේශපාලන , මිලටරි හා මුදල් බලය සැමවිටම ඒ සඳහා උපයෝගී කර ගනී.

ජාතීන්ගේ ස්වෛරී සමානාත්මතාවය ආරක්ෂා කිරීමට කැපවන බව ජගත් සංවිධානයේ ප්‍රඥප්තියේ පැහැදිලිව සඳහන්වේ . නමුත් එවැනි සමානාත්මතාවයක් කිසිසෙත්ම එම සංවිධානයේ ක්‍රියාකාරීත්වය තුල දක්නට නැත. කොටින්ම කියතොත් ජගත් මානව හිමිකම් කවුන්සිලය නමැති යාන්ත්‍රණයද සාධාරණව ක්‍රියාත්මක වන බවක් අපට පෙනෙන්නට නැත.

2006 වසරේදී අහෝසිකරන ලද මානව හිමිකම් කොමිසමට එල්ලවූ ප්‍රධානතම චෝදනාව වුයේද , රටවල් තෝරා බේරා ගනිමින් , විවිධ රටවලට පක්ෂග්‍රාහී ලෙස. කටයුතු කිරීමයි. එවකට ජගත් මහලේකම්වරයා වූ කොෆී අනන් මහතා පවා ඍජුවම එම චෝදනාව මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත්කළේය . නමුත් කොමිසම වෙනුවට පත්කළ කවුන්සිලයද අද සිදුකරමින් සිටින්නේ එදා කොමිසම සිදුකල වැරද්දමය. ඒ අනුව ධනවත් හා බලවත් රටවලට සෙසු රටවල් පාලනය කරගැනීමටත් , එම රටවල් දුර්වල කිරීමටත් අවියක් ලෙස අද මානව හිමිකම් යන අවිය භාවිතා කරන අතර ජගත් මානව හිමිකම් කවුන්සිලයද ඒ සඳහා ප්‍රධාන ආධාරකයක් ලෙස භාවිතා කරන බවක් පැහැදිලිවම දක්නට ඇත.

එසේම 30/1 යෝජනාවට පදනම් වන්නේ මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) ශ්‍රී ලංකාව සම්භන්ධව කල විමර්ශන වාර්තාව හෙවත් oisl වාර්තාව වේ.එම වාර්තාව සැකසීමේදී පාදක කරගනු ලැබුවේ , දරුස්මාන් වාර්තවයි . දරුස්මාන් වාර්තාව සැකසූ දරුස්මාන් කමිටුව ,පත්කරන විට, එවකට ජගත් මහ ලේකම් බන් කි මූන් මහතා පවසුවේ. , එය පත්කරනු ලබන්නේ තමාට තොරතුරු ලබාගැනීම සඳහා පමණක් වන බවයි. එය වෙනත් පාර්ශවයකට වාර්තාවක් ලෙස ඉදිරිපත් නොකරන බවයි එදා ඒ මහතා පැහැදිලිවම සඳහන් කලේ. නමුත් අද එම වාර්තාව පදනම් කරගෙන ජගත් මානව හිමිකම් කවුන්සිලය ,අසාධාරණ ලෙස මෙරටට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කරමින් සිටී..

එසේම එම දරුස්මාන් කමිටුවට සාක්ෂි ලබාදුන් බව කියන පුද්ගලයින්ව අද හෙළිදරව් කරන්නේ වසර විස්සකට පසුවය. එවැනි සාක්ෂි මත පදනම්වීම කෙතරම් දුරට නීත්‍යානුකූලද යන ගැටලුවද මෙහිදී මතුවේ..

මේ වනවිට එම බටහිර ධනවත් රටවල ආධිපත්‍යය යම් කඩාවැටීමකට ලක්ව ඇත. ඒ චීනයේ නැගී සිටීම හේතුවෙනි., මේ තත්වය කිසියම් හෝ මොහොතක යුධ ගැටුමක් දක්වාද වර්ධනය විය හැක . එවැනි අවස්තාවක බටහිර බලවතුන්ට අප වැනි රටවල් තමන් යටතේ , තමන්ට අවනත රාජ්‍යා ලෙස තබාගැනීම ඉතා වැදගත්වේ. .මානව හිමිකම් කවුන්සිලය යන යාන්ත්‍රනය භාවිතා කර අද බටහිර ධනවත්ද බලවත් රටවල් අප වැනි රටවල් පාලනය කිරීමට , යටපත් කරගැනීමට උත්සාහ දරමින් සිටීන්නේ ප්‍රධාන ලෙසම එම අරමුණද සිත්හි තබාගෙනය.මේ ජිනීවා උගුලෙන් අප දැන් කෙසේ හෝ ගැලවිය යුතුව ඇත්තේ මේ නිසාය ,

තිස්අ වසරක්පේ පුරා යුධ ගැටුම් පැවති රටක් ලෙස ශ්‍රී ලංකාව තුලද ප්‍රශ්න රාශියක් පවතී . නමුත් අපේ ප්‍රශ්න හැකිතාක් අපම විසඳා ගැනීම මේ මොහොතේ වඩාත් සුදුසුවේ .

මානව හිමිකම්මේ සුරැකෙන යහපත් සමාජයක් අප රට තුල ගොඩනගාගත යුතුය , නමුත් ඒසේ කල යුත්තේ අන්තරජාතික චණ්ඩින්ගේ දොළදුක් සංසිඳුවීම පිණිස හෝ ඔවුන්ට දොලපිදේනි දීමෙන් නොවේ. රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජාතික සමගිය වර්ධනය සඳහා අපගේම වැඩසටහනක් දියත් කරනවා මිස , ලෝක බලවතුන්ගේ ඇනවුම මත ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවලට අනුව කටයුතු කළහොත් අවසානයේ ඉතිරිවන්නේ විනාශය පමනි.