“දුප්පතුන් නැති ලෝකය”

Capitalism and Political Violence at Home and Abroad - CounterPunch.org

පසුගිය දිනක අන්තර්ජාලයේ පළවූ ලිපියකින්  මා මේ ලියමන ආරම්භ කිරීමට සිතුවේ ඉන්දියාවේ අද ඇතිවී ඇති සෝචනීය තත්වය දෙස බලද්දී මට එය සිහියට නැගුණු නිසාය. ධනවතුන් සඳහා වාහන නිපදවන සුප්‍රකට සමාගමක, පුද්ගලයින් 8දෙනෙක්ට ගමන් කළ හැකි, මිල අධික නවතම SUV රථය නිමිත්තක් කරගෙන ලියැවුණු එම ලිපිය “ඩොලර් ට්‍රිලියනයේ SUV රථය” (The Trillion Dollar SUV) යන ශීර්ෂය දැරීය.

නැත… එම රථයේ මිල ඩොලර් ට්‍රිලියනයක් නොවේ… එම ලියුම්කරු ඒ වටිනාකම එයට දී තිබුණේ ඇමරිකාවෙ ඉහළම ධනවතුන් 8 දෙනාගේ වත්කම්වල එකතුව ඉතිහාසයේ ප්‍රතම වතාවට ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යෑම සනිටුහන් කිරීමටය. ඔවුන් 8 දෙනාගේ නම් ඔබට ඒ ලිපියෙන් බලාගැනීමට ඉඩ තබා මෙහි සඳහන් නොකරන්නෙ ඒ එක් බලවතෙකුගේ මාධ්‍යයක ඔහුට අපහාසකළායැයි උදහසට ලක්වී බ්ලොක්වීමට මේ ගැත්තීට අනවශ්‍ය නිසාය. (ඔව්… මේ ඔවුන්ගේ රඟමඩලය… ඒ තුළ ඔබෙත් මගෙත් භාෂණ නිදහස හුදෙක් ව්හිළුවක් පමණි).

එම ලියුමකරු පවසන පරිදි මොවුන් අට දෙනා මේ නැග යන්නේ මිලියනපතියන් මිලියනයක් නැග යා හැකි ඉඩකය… ඔබට මට ඩොලර් මිලියනයක (දළ වශයෙන් රුපියල් මිලියන 200ක) වත්කම් උපයාගැනීමට මුළු ජීවිතකාලේම උත්සාහ කළත් නොහැකිවනු ඇත. මේ 8 දෙනා මේ උපයාගෙන ඇත්තේ අපට සිතාගත නොහැකි ඒ ධන සම්භාරය මෙන් මිලියන ගුණයකි!

මේ හා බැඳුණු තවත් විස්මයජනක තොරතුරක් ඇත. මේ කොරෝනා සමයේ අප රටවැසියන් බහුතරයකගේ ආර්ථිකය කඩාවැටුණු බව සාමාන්‍ය දැනීමය… ලෝකයේ බොහෝ ජනයාට අත්වූයේද එම ඉරණම මය. සමහරුන්ට තම රැකියාද, ස්වයං රැකියාවල නිරතවූවන් බොහොමයකට තම ජීවනෝපායද අහිමි විය. රැකියා රැකුණද සමහරුන්ගේ වැටුප් කප්පාදු විණි. බොහෝ පිරිසකගෙ ආදායම් පහත වැටිණි… සංචිත ධනය වැයවිණි. ආර්ථික කඩාවැටීම් සාමාන්‍යයෙන් බිම් මට්ටමේ නොනවතී… රටක මිනිසුන්ගේ ආර්ථිකය අයහපත් වූවිට රටේ ආර්ථිකයද අයහපත් වේ.

බොහෝ මිනිසුන් සහා රටවල් ආර්ථික ආගාධයකට වැටුණේ නුදුරු අනාගතයේ යළි ගොඩ ඒමක් ගැන සිතන්නටවත් ඉඩක් නොතබාය. එහෙත් එක්තරා විස්මයජනක කරුණක් ඇත. ඇමරිකාවෙ බිලියනපතීන්ගේ ධනස්කන්ධය මෙම කාලය තුළ පසුගිය අවුරුදු 30 තුළ වාර්තාවූ වැඩිම වේගයකින් වැඩිවිය 

කුමක්ද මේ පරස්පරය? මේ ලෝකය තුළ දුප්පතුන් වැඩි වැඩියෙන් දුප්පත් වීමට බලපෑ සාධකයම ධනවතුන්ගේ මුල් 1% ආර්ථිකය වර්ධනයට දායකවීම අහඹුවක්ද? වළක්වා ගත නොහැකි සංසිද්ධියක්ද? ඇත්තටම එය වැළැක්විය යුතුද? රජයන් පවා ආර්ථිකව කඩන් වැටෙද්දී පුද්ගලයින් කිහිප දෙනෙක් තව තවත් ධනවත්වීම ඔවුන්ගේ “පෙර පිනද?”මේ අසාධාරණය දකින, ඒ ගැන කතාකරන අය කුහකයින්ද? මේ ගැන තීරණයක් ගැනීමට මට හැඟෙන තරමින් ඉතා ප්‍රභල ඉඟියක් ඇත. මොවුන්ගේ ව්‍යාපාර, සමාගම්වල බිම් මට්ටමේ සේවකයින්ගේ ආර්ථික තත්වයත් ඔවුන්ගේ ස්වාමීන්ගේ ආර්ථිකය වැඩිවූ ලෙස වැඩි විණිද? නැත්නම් අර පරස්පරය ඔවුනටත් අදාළ විණිද?May be an image of text that says 'TOTAL WEALTH OF BILLIONAIRES DURING THE COVID-19 PANDEMIC Feb. 2019 2021 $4.56 trillion $3.2 trillion $2.95 trillion Feb. 2019 Mar.18,2020 Sources: Apr.12,2021 KLadAph'

ඉන්දියාවෙන් මේ දිනවල අප වෙත පැමිණෙන රූප රාමු මෙම පරස්පරයට ප්‍රභල සාක්කි සපයන බව මාගේ හැඟීමය. අප රටේ සාමාන්‍ය මධ්‍යම පන්තියේ පවුලකට තම ජීවිත කාලයම ඉතිරිකරගැනීමට තරම්වත් නොහැකි අන්දමේ මුදලක් එක් ක්‍රීඩකයෙකුට ගෙවා ක්‍රීඩකයින් 15කින් යුත් ක්‍රිකට් කණ්ඩායමක් අවුරුද්ද පතා “මිලට ගැනීමට” තරම් වත්කම් සහිත ධනවතුන් සිටිනා රටක සාමාන්‍ය ජනතාව බල්ලන් බළලුන් මෙන් මහමග මැරී වැටෙනවා ඔබ දුටුවාද? ඔවුනට අවශ්‍ය ගිලන් රථ, ඔක්සිජන්, රෝහල් පහසුකම් සපයා දීමට නොහැකිව සෞඛ්‍ය සේවකයින් අසරණව, පරාජිතව වික්ෂිප්තවී සිටිනු දුටුවාද? මිනිසුන්ට හැකි පමණ උදව් කිරීමට එහේ මෙහේ දුව යන හරියට ආරක්ෂක ඇඳුම්වත් නැති රෙදි මාස්ක් විතරක් පැළඳ සිටි පොලිස් නිළධාරීන් දුටුවාද? අර “SUV රථය”, අර “ක්‍රිකට් කණ්ඩායම” අපට අහිමිකර ඇති දේවල් ඔබට දැන්වත් පැහැදිළිද? අප මෙය දැන්වත් වෙනස්කරමුද? නැත්නම් මහජන හිතවාදී, සාධාරණ බදු ක්‍රම භාවිතා කර ධනවත් ව්‍යාපාරවලින් බදු අයකිරීම පසෙකලා, මහජනතාවගේ සහල් කිලෝවෙන්, පරිප්පු පන්සීයෙන් බදුවලින් දිගටම අප රටවල් ඇදගෙන යාමට රජයන් දරන උත්සාහයට ඉඩදී බකන් නිලාගෙන සිටිමුද? එසේත් නැත්නම් එලෙස ඔවුන් ගොඩගසාගන්නා ධනයෙන් අධාර ලෙස ලොවට බෙදන සොච්චම ගැන කවි නිසැඳැස් ලියමින්, ධනවත් ලිස්ට් එකේ උඩින්ම සිටිනා ඔවුන්ව වර්ණනා කරමින් දිගටම ඇන්දී සිටිමුද? දුප්පතුන් නැති ලෝකය මායාවක් බවත්.. එයට පැවැත්මක් නැති බවත් පාසැල් පෙළ පොත්වලසිට අපේ ඔළුවලට කැවූ විස ඉදිරි පරම්පරාවලටත් සම්ප්‍රේෂණය කරනවාද නැත්නම් ඒ වෙනුවෙන් යමක් කරනවාද යැයි තීරණය කිරීමට “කොරෝනා” අපට ලබාදුන් අවස්තාව අප භාර ගනිමුද?

 

මනුජා පෙරේරා  (කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය , ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය. )

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.