දරුවාගේ පාසලට යන ඔබ මේ ගැනත් හිතන්න …

පාසලේ විවිධ වැඩ කටයුතු අතර දරුවන්ගේ කුසලතා එළි දක්වන්න විවිධ වැඩසටහන් සංවිධානය වෙනවා. ක්‍රීඩා උත්සව, තෑගි බෙදා දීමේ උත්සව, අවුරුදු උත්සව, බැගි ගී ප්‍රසංග, විවිධ ප්‍රසංග මේ අතර වෙනවා. මේ සියලු උත්සව සඳහා දෙමාපියන්ටත් ආරාධනා ලැබෙනවා. ප්‍රාථමික පන්තිවලදී නම් මේ දෙමාපිය සහභාගීත්වය ඉතාමත් ඉහළ මට්ටමින් දකින්නට ලැබෙනවා. මේ පැමිණෙන දෙමාපියන් අතරින් පෞද්ගලිකව හොඳින් එකිකෙනා දන්නා හඳුනන බොහෝ දෙනෙක් ඉන්නවා.

දරුවන් පාසලට ඇරලන්න ඇවිත්, නැවත රැගෙන යන්න ඇවිත් සම්බන්ධතා ගොඩ නගා ගත් අය වගේම ඊටත් වඩා එහා ගිය මිතුරුදම් පවත්වන අයත් මේ අතර වනවා. ඒ නිසාම එකිනෙකාගේ පෞද්ගලික තොරතුරුත් හුවමාරු කර ගන්න තරම් ඒ අය හිතවත්.විශේෂයෙන්ම මේ හිතවත්කම් සමග බොහෝ ගනුදෙනු කරන්නේ මව්වරුන්. ඒ නිසාම දරුවන්ගේ විශේෂ වැඩසටහනකට පාසලට පැමිණි වෙලාවට එකම තැන්වල අසුන් ගන්නත් ඒ අය කටයුතු කරනවා. මේක ඇත්තටම නරක දෙයක් නෙවෙයි.නමුත් මම මේ කියන්න උත්සාහ කරන්නෙ දරුවන්ගේ දෙයකට පාසලකට ආවම දෙමව්පියන් විදියට ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවාද යන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න අවශ්‍ය බව හැඟුණු නිසයි.

 දරුවන්ගේ වැඩසටහනකට පාසලට පැමිණිලා ඉන්න දෙමව්පියන් සෑම විටම ඒ වැඩසටහන් සමග බද්ධව සිටීම අවශ්‍ය බවයි මගේ හැඟීම. තමන්ගේ දරුවාගේ වගේම අනෙක් දරුවාගේ හැකියාවන් දිහාත් බලලා එය රස විඳින්නට ඔබට පුළුවන්නම් කොතරම් අගේදග එවගේම තමයි සමහර දෙමව්පියො තමන්ගේ දරුවගේ ක්‍රියාකාරකම් නරඹලා ඉවර නම් තොර තෝංචියක් නැතිව කියවනවා.හැබැයි මේ කියවන්නේ ගෙදරට ගෙනාපු බඩු මුට්ටු ගැන, තමන් කරපු දේවල් ගැන, මහත්තයා ගැන. ගොඩක් වෙලාවට තමන්ගේ පම්පෝරිය තමයි එකිනෙකාට කියා ගන්නෙ.

මෙහෙම ප්‍රසිද්ධ ස්ථානයකදි මේ වගේ කතා කරනකොට ඒක කොයි තරම් අසෝබනද කියලා ඔබට දැනිලා නැතිව ඇති.සමහර වෙලාවට මේ දේවල් වැරැද්දක් ලෙස ඔබට දැනෙන්ටවත් සිතෙන්නටවත් නැතිව ඇති. සිතන්න. ඔබ මේ තරම් දේවල් නිමක් නැතිව කියවන විට අනෙක් පසින් සිටින අය ඔබ ගැන කරන තක්සේරුව කොයි වගේ වේවිද කියලා. බොහෝවිට මෙවැනි අවස්ථා බහුලව දකින්න පුළුවන් වෙන්නෙ මව්වරුන්ගෙ පාර්ශවයෙන්.

තවත් දෙයක් තමයි සමහර අම්මලා තමන්ගේ දරුවාගේ ඉදිරිපත් කිරීම හොඳට බලාගෙන ඉඳලා ඒක ඉවර වුණු ගමන් අර විදියටම කතාව පටන් ගන්නවා. ඒකෙන්  අනෙක් අම්මලාගේ දරුවන්ගේ ඉදිරිපත් කිරීම් බලන්න ඒ අම්මලාට ඇතිවන අපහසුතාවය කෙතරම්ද යන්න පිළිබඳ කිසිදු වැටහීමක් ඔවුන්ට නැහැ.

එනිසා මව්වරුනි, මදක් සිතන්න. අන් අයට කරදරයක් අවහිරයක් නොවන ලෙස පාසලේදී හැසිරෙන්න. එයගේම අනෙක් දරුවන්ගේ දක්ෂතා ත් තමන්ගේ දරුවන්ගේ දක්ෂතා මෙන්ම අගයන්න. යම් ස්ථානයකට ගිය පසු එම ස්ථානයේ ගෞරවයත් ඔබගේ ගෞරවයත් රැකෙන පරිදි හැසිරෙන්න. ඕපාදූප කියන්නට, තමන්ගේ පම්පෝරිය කියන්නට වෙනත් ස්ථානයක් , වෙනත් අවස්ථාවක් යොදා ගන්න. ඔබ දෙස බොහෝ දෙනාගේ අවධානය යොමු වන බව සිහියේ තබා ගන්න. සැමවිටම ආදර්ශමත් මවක් වීමට උත්සාහ ගන්න.සැමවිටම ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට වග බලා ගන්න.

 

චමිලා සෙනෙවිරත්න

E-mail : chammi_1981@yahoo.com

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.