තෙල් පෝලිම හෙවත් ‘බ්‍රෙක්සිට් මෝඩකම’

සිකුරාදා (සැප්තැම්බර් 24) මගේ මිත්‍රය අනිල් එක්ක ගමනක් යන්න ගිය වෙලාවේ තමා පෙට්‍රල් පෝලිමේ ඇත්ත කතාව දැක්කේ.

ඉන්ධන පිරවුම්හල් වටේට තියන පාරවල් සේරම හිර වෙලා.

එක අතකින් පෙට්‍රල් ගහගන්න විදියක් නෑ; අනිත් පැත්තෙන් පාරවල් හිරවෙලා නිසා පෙට්‍රල් තියන මිනිස්සුන්ට පවා තමන්ගේ ගමනක් යන්න විදියක් නෑ.

පැයක් විතර පෝලිමේ ඉඳල පෙට්‍රල් ගහගෙන තමා අපිත් ගමනට පිටත් වුනේ.

හේතුව? නැගෙනහිර යුරෝපා රටවල ඉඳල ඇවිත් බ්‍රිතාන්‍යයේ වැඩකරපු ලොරි රියදුරන් බ්‍රෙක්සිට් නිසා මේ රට දාල යන්න ගිහින්. මේ වෙනකොට driverල ලක්ෂයක විතර හිඟයක් තියෙනව.

අනිල් උඩවත්ත කිවුවේ මේ බ්‍රෙක්සිට් එකේ ඇත්ත බලපෑම දැනෙන්න පටන් ගත්ත විතරයි කියල. අනිල් කියන විදියට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමෙන් අයින්වුණ එකේ බලපෑම එකපාරටම දැනුනේ නැත්තේ කොවිඩ් වසංගතේ නිසා.

ඒත් දැන් මේක tanker driverල හිඟවීමෙන් විතරක් නවතින්නේ නෑ.

කරගත්ත මෝඩකම ගැන මේ රටේ හුඟක් දෙනාට දැන් කොයිතරම් දැනෙන්න පටන් අරගෙන ද කීවොත් බ්‍රෙක්සිට් වෙනුවෙන් දැවැන්තම කැම්පේන් එක කරපු ඩොමිනික් කමින්ග්ස් (Dominik Cummings) පවා ඒක වැරැද්දක් වෙන්න පුළුවන් බව ලඟදි පිළිඅරගෙන තිබුණ. (https://www.independent.co.uk/…/dominic-cummings-brexit…)

අද (සෙනසුරාදා) හවස පෙට්‍රල් ටිකක් ගහන්න ගියාම අපේ පැත්තේ තියන fuel station සේරම වහල. කිසිම තැනක පෙට්‍රල් නෑ.

මම පෙට්‍රල් ෂෙඩ් දෙකකට ගියා. දෙපොලෙම හිටියේ ලංකාවේ දෙන්නෙක්.

එක්කෙනෙක් කිවුවේ සඳුදා වෙනකොට ඉන්ධන ඩිලිවරි එකක් ඒවි කියල.

කවදද පෙට්‍රල් එන්නේ කියල ඇහුවම අනිත් කෙනාගේ උත්තරේ වුනේ: “I simply don’t know Anna,” කියල.

බ්‍රිතාන්‍යයේ මේ හදිසි ඉන්ධන හිඟයට market manipulation, panic buying වගේ තවත් හේතු තියෙන්න පුළුවන් බව තමා මගේ මිත්‍ර සුජීව වික්‍රමාරච්චිගේ අදහස.

බ්‍රෙක්සිට් එකෙන් කාලෙකට පස්සේ එකපාරට මෙහෙම වුණේ ඇයි කියල සුජීව අහනවා.

කොහොම වුණත් රියදුරන් හිඟ වුනේ බ්‍රෙක්සිට් එකේ සෘජු ප්‍රතිඵලයක් විදියට.

මේ රට යුරෝපා සංගමයෙන් එලියට ගන්න බොරිස් ජොන්සන් ඇතුළු සමහර දේශපාලකයෝ ගල් පැලෙන බොරු කිවුව. ඒ කියපු ගොඩක් දේවල් බොරු කියල බ්‍රෙක්සිට් එකෙන් පස්සේ සමහරු පිළිගත්තා.

හැබැයි ඒ කාටවත් තවමත් කිසිම දඬුවමක් නෑ.

දැන් දඬුවම් විදින්නේ දේශපාලකයෝ නෙවෙයි, මේ රටේ සාමාන්‍ය මිනිස්සු.

බ්‍රෙක්සිට් එකට ඡන්දෙ දීපු මිනිස්සු.

 

බොරු කිවුව මදිවට ලංකාවේ වගේම ඉතාමත් පහත් විදියට ජාතිවාදය ඇදගෙන මේ රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් දෙන සංක්‍රමණිකයෝ එලවන්න බ්‍රෙක්සිට් වාදීන් කැම්පේන් කළා.

කණගාටුදායකම දේ තමයි, මගේ සමහර යාළුවනුත් ඇතුළු ලංකාවේ ගොඩක් දෙනෙකුත් බ්‍රෙක්සිට් එකට ඡන්දෙ දුන්න. නැගෙනහිර යුරෝපියානුවෝ විතරක් නෙමෙයි තමනුත් මේ රටේ සංක්‍රමණිකයෝ කියන දේ එදා ඒ සමහරුන්ට අමතක වෙලා තිබුණ.

බ්‍රෙක්සිට් හරිද, වැරදිද ආයෙත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයත් එක්ක එකතුවෙන්න ඕනෙද, නැද්ද කියන සංවාදයට වඩා මගේ තර්කය මේ රටේ මිනිස්සු බ්‍රෙක්සිට් වෙනුවෙන් ඡන්දේ දුන්නේ දේශපාලකයෝ පෙන්නපු බොරු ගෝනි බිල්ලෙකුට බයවුණ නිසාය කියන එක.

මම කියන්න හදන්නේ දේශපාලකයෝ මේ රටේ මිනිස්සු රැවැට්ටුව බව.

පවුලේ හැම දෙනාම යුරෝපය එක්ක එකමුතුව ඉඳීම වෙනුවෙන් පෙනී ඉඳිද්දි බොරිස් ජොන්සන් හදිසියේම බ්‍රෙක්සිට් පැත්තට පැන්නෙත් අවස්ථාවාදීව අගමැති පුටුවට පනින්න බලාගෙන.

බොරිස් දිනුවත් අද මේ රටේ මිනිස්සු පැරදිලා.

ඇමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම කියපු බොරුත් ගොඩක් දෙනා විශ්වාස කළා.

ජෝ බයිඩන් ජනාධිපති වුණත් ඡන්දෙන් දිනුවේ ට්‍රම්ප් කියල අදත් එක්සත් ජනපදයේ ට්‍රම්ප්වාදීන් අවංකවම විශ්වාස කරනවා.

ඇත්තටම ඇයි මේ ලෝකේ මිනිස්සු දේශපාලකයෝ කියන බොරුවලට මේ තරම් රැවටෙන්නේ?

(- සරෝජ් පතිරණ
සැප්තැම්බර් 25, 2021)

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.