ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ: යුනෙස්කෝ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේදී

යුන්ස්කෝ ආයතනය විසින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ නැවැත්වීමේ ජාත්‍යන්තර දින සැමරුම් සම්මන්ත්‍රණය දෙසැම්බර් 04 වෙනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රකාශනයේ නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය අවසන් කිරීම යන කරුණු පිළිබඳ එහිදී අවධානය යොමු වනු ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා අන්තර්ජාතික පාර්ශ්වකරුවන් පනහක් සහභාගී වනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඒ සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ප්‍රමුඛ දේශීය පාර්ශ්වකරුවන් එකසිය පනහක් පමණ සහභාගී වනු ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සම්මන්ත්‍රණයයෙහි ප්‍රධාන ආරාධිත දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පවත්වනු ලබන අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ යුනෙස්කෝ සංවිධානයේ ජනමාධ්‍ය හා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ගයි බර්ගර් ද දේශන පැවැත්වීමට නියමිතය‍.

ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග සහ අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය අවසන් කිරීම යන කරුණු පිළිබඳව ද සමුළුවේ දී සාකච්ඡා කෙරෙනු ඇත.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අධිකරණය, ජාතික මානව හිමිකම් කොමිෂන් සහා සහ සිවිල් සමාජයේ භූමිකාව කෙරෙහි ද එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.