ජනතා පරමාධිපත්‍යය යනු ශ‍්‍රී ලංකා අනන්‍යතාවයි

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා පසුගිය 29 වනදා බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හෝටලයේ දී පැවැති සම්මන්ත‍්‍රණයේ දී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුක‍්‍රමය පිළිබඳව රැඩිකල් අදහසක් ප‍්‍රකාශ කළේය.

ඔහුට අනුව රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු බහුතරයේ බලය නොව රැඩිකල් සුවිශේෂයන්ගේ බලයයි. මෙම අදහස සිංහලට පරිවර්තනය කළහොත් අපට මෙසේ ප‍්‍රකාශ කළ හැකිය. සුද්දන්ගෙන් අපට උරුම වූයේ ප‍්‍රමාණාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදයකි. නමුත් අද දවසේ අපගේ අවශ්‍යතාවලට අනුව රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් කරා අප පරිවර්තනය විය යුතුය. එනම් නූතන ජනසමාජය යනු විවිධ අනන්‍යතාවන්ට ඉඩ දිය යුතු සමාජයකි. එබැවින් අද දවසේ අධිරාජ්‍යවාදීන් අපට උරුම කළ ප‍්‍රමාණාත්මක (Quantative) ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගුණාත්මක (Qualitative) ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් දක්වා විස්ථාපනය කළ යුතුය. සිංහල ජාතියේ ප‍්‍රමාණාත්මක අගය සමඟ ඛාදනය වූ පාර්ලිමේන්තුව ශ‍්‍රී ලාංකික අනන්‍යතා සහිත බහුලත්වයට ඉඩ දෙන ශ‍්‍රී ලාංකික පාර්ලිමේන්තුවක් අපට ඉදිකළ හැක්කේ ප‍්‍රමාණය‘ ගුණය’ බවට පරිවර්තනය කිරීමෙන් පමණි.

මෙය කරන්නේ කෙසේද? උභතෝකෝටිකය වන්නේ එයයි. ශ‍්‍රී ලංකාව ගුණාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බවට පත් කිරීමේ දී ඊට විරුද්ධව හමු වන ප‍්‍රධාන බාහිර බාධකය වන්නේ නිලධාරීවාදය යි. මෙම නිලධාරිවාදය මූලික වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.

1. රජයේ නිලධාරිවාදය

2. පක්ෂ නිලධාරිවාදය

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉතාම අහිතකර බලපෑමක් ඇති කරන්නේ ඉහත සමාජ ස්තර දෙකයි. මෙය වඩාත් දරුණු ඵල විපාක ඇති කරන්නේ ඉහත ස්තර දෙක ආර්ථික අරගලය තුළ නැති නිසාත් ඒ අය දේශපාලනය තුළ ස්ථානගත වන නිසාත්ය. ඉහත නිලධාරී කොට්ඨාස දෙකම වෘත්තියෙන් නිලධාරින්ය. 93 වර්ෂයට පසු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අපගමනය විශ්ලේෂණය කරද්දී සමහර විශ්ලේෂකයන් ඇඟිල්ල දිගු කරන්නේ එයට අලූතින් එකතු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් යන ප‍්‍රපංචයයි. එහි දී අපට අමතක වී යන්නේ වෘත්තීය කාඩර්වරු යනු ද නිලධාරි පෙළැන්තියක් බවය. පක්ෂයක සමමිතිය රඳා පවතින්නේ එහි කාඩර් – නිලධාරින් සහ ජනප‍්‍රිය අරගල නායකයන් මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින විටය. පක්ෂයක බාහිර ප‍්‍රකාශනය වූ ‘සමාජ අරගලය’ පිළිබඳ දිශානතිය තීන්දු වන්නේ ආර්ථික අරගලයෙන් නොව පන්ති අරගලයෙනි.
ඊළඟට අපි රජයේ නිලධාරිවාදය කෙතරම් බැරෑරුම්ද යන්න නූතන සන්දර්භය තුළ විභාග කරමු.

රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වපසරියක් රාජ්‍ය පාලනය තුළ ඇති කිරීම කෙතරම් තීරණාත්මකදැයි නිදර්ශනය කිරීමට අපි උදාහරණයක් ගමු. මේ මෑතක දී LTTE චූදිතයන්ගේ නඩු ඉක්මනින් ඇසීම සඳහා ආණ්ඩුව විසින් පත් කරන ලද මහාධිකරණ කොමසාරිස්වරිය අප දන්නා තරමින් ජාතික අභිලාෂ වෙනුවෙන් සංවේදී තැනැත්තියකි. දඬුවම් මාරු වශයෙන් උතුරේ පොලිස් ස්ථානවලට මාරු වීම් ලැබූ පොලිස්කාරයන් ද මෙම නඩුවලට එකතු වූ විට එතැන ජාතික සංහිඳියාවක් ඇති වන්නේ නැත. සිදු වන්නේ පළිගැනීම පමණි. මෙවැනි නඩු විභාග අවසන් වීමට නියමිත වන්නේ දෙමළ මිනිසාගේ ස්වාධිපත්‍යය අහිමි වීමෙන්ය. ඉන් තහවුරු වීමට නියමිත වන්නේ නීතිය ‘‘සිංහල’’ බවයි.

අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට යාමේ දී හමු වන ප‍්‍රධාන බාධාවන් ගැන අගමැතිවරයා සංවේදී විය යුතුය. නිලධාරින් පොදු යහපත වෙනුවෙන් තම තමන්ගේ ආත්මීය වුවමනාවන් (Subjective Matters) කැප කළ යුගය හමාරය. අද දවසේ ඔවුන් අංක 1ට කැට තබන්නේ ආත්මීය අංශය වෙනුවෙනි. එබැවින් ව්‍යවස්ථා නිර්මාණය සමඟ එය කි‍්‍රයාත්මක කිරීම එකට යා වී ඇත. එකට යා වී ඇති මෙම වැඩය දෙකට කැඩිය යුතුය. රාජපක්ෂ හිතවාදීන්, සිංහල අභිලාෂකරුවන් හැමවිටම උත්සාහ කරන්නේ අලූත් ව්‍යවස්ථාව ‘කොටි ව්‍යවස්ථාවක්’ ලෙස හංවඩු ගැසීමටය. බොහෝ රජයේ නිලධාරින්ගේ ආත්මීය බැඳීම් ද ගැලවිය හැක්කේ ජාතිවාදයටය. එපමණක් නොව සමහර UNP/SLFP පක්ෂ නිලධාරින් ද ජාතික අභිලාෂ සහිත අයයි.

එබැවින් ව්‍යවස්ථාව නිර්මාණය කිරීම සහ එය කි‍්‍රයාත්මක කිරීම බෙදිය යුතුය. මෙම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව දක්වා ගෙන එන පථයෙන් රාජ්‍ය නිලධාරින් සේම පක්ෂ නිලධාරීන් ද ප‍්‍රවේශමෙන් ඉවත් කළ යුතුය. එය කළ යුතු ආකාරය ගැන අපට වැටහීමක් නැත. නමුත් අප අවධාරණය කරන්නේ එය එසේ කිරීම ඇඟට ගුණදායක බවයි. නිලධාරින්ව ප‍්‍රජාතන්ත‍්‍රකරණ වැඩසටහන්වලින් ඉවත් කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යැයි කියන අය අල්පය.

ඊළඟට පාර්ලිමේන්තුවට අලූත් ව්‍යවස්ථාව ඉදිරිපත් කරන විට පක්ෂ නිලධාරින්ට මුහුණ දීමට සිදු වනු ඇත. ඒ නිසා ජාතික අභිලාෂ සහිත නිලධාරින්ව උපායිකව සීරු මාරු කිරීම මේ මොහොතේ දී සිදු කළ යුතුය. නැතිනම් එම ව්‍යවස්ථාවට ද හිමි වන්නේ චන්ද්‍රිකා ඉදිරිපත් කළ ව්‍යවස්ථාවට සිදු වූ දේය. ජාතික ගැටලූව අධිනිශ්චය වීමට පෙර යුගයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම හෝ අලූතින් නිර්මාණය කිරීම පහසුය. ජාතික විමුක්ති ව්‍යාපාරයක් මහ ජාතිය සන්නද්ධව පරාජය කළාට පසු එම රට තුළ ගුණාත්මක වශයෙන් උසස් ව්‍යවස්ථාවක් නිපදවීම කිසිසේත් පහසු නැත. මන්ද ලංකාවේ දේශපාලනයට මේ වන විට ධනවාදය පමණක් නොව ජාතිකවාදයත් සම්බන්ධ වී ඇති නිසාය. ප‍්‍රධාන පක්ෂ දෙක බලය බෙදීමට සහයෝගය දෙන නිසා විවරය මේ මොහොතේ පුළුල්ය. නමුත් උපායික මෙහෙයුම සරල නැත.

sathhanda

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.