ගෝලීය උණුසුමේ බලපෑම කොතරම්ද?

ගෝලීය උණුසුමේ බලපෑම කොතරම්ද?

ගෝලීය උණුසුම ඉහළ යෑම අද මිනිසා මුහුණ දෙන විශාලම ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වන පර්යේෂකයන් පවසන දෙයක් ගැන එක්තරා සඟරාවක පළ වුණේ මෙසේයි. ‘එදිනෙදා ක්‍රියාකාරකම් නිසා අපි කෙමෙන් කෙමෙන් දරුණු විනාශයකට ඇද වැටෙමින් සිටිනවා.’ කෙසේවෙතත් සමහර විවේචකයන් ඒ මතය සමඟ එකඟ වෙන්නේ නැහැ. ඔවුන් පවසන්නේ ගෝලීය උණුසුම සිදු වන බව පිළිගත හැකි වුවත් එයට මූලික වන හේතුකාරක සහ එහි ප්‍රතිවිපාක ගැන නිශ්චිතව පැවසිය නොහැකි බවයි. මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතුවක් විය හැකි වුවත් එය මූලිකම සාධකය නොවෙයි කියා ඔවුන් මත පළ කරනවා. මෙලෙස ඔවුන් එකිනෙකට පටහැනි මත දරන්නේ ඇයි?—Science නම් සඟරාව.

ඊට එක් හේතුවක් නම් දේශගුණික වෙනස්කම් ඇති වීමට හේතු වන ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ වීමයි. ඒ වගේම එය සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමටද නොහැකියි. ඒ විතරක් නොවෙයි පරිසර හිතකාමීන් විද්‍යාවෙන් හෙළි වන තොරතුරුවලට තමන්ගේම මත එකතු කිරීම නිසාත් හරි නිගමනයකට ඒම අපහසු වී තිබෙනවා.

උණුසුම ඉහළ යමින් තිබෙනවාද?

ගෝලීය උණුසුම ඉහළ යෑමට මිනිස් ක්‍රියාකාරකම් හේතු වන බව ස්ථිර වශයෙන්ම කිව හැකි බව දේශගුණික වෙනස්කම් පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුව (IPCC) පවසනවා. නමුත් විවේචකයන් දරන්නේ ඊට වඩා වෙනස් මතයක්. නගර දිනෙන් දින විශාල වෙද්දී කොන්ක්‍රීට් සහ යකඩ භාවිතය වැඩි වෙද්දී වායුගෝලයේ උණුසුම ඉහළ යා හැකි බව ඔවුන් පවසනවා. ඊට හේතුව සෑම දවසකම සූර්යාගෙන් නිකුත් වන තාපය උරාගැනීමයි. නමුත් විවේචකයන් පවසන්නේ නගරවල පමණක් පවතින උෂ්ණත්වය අනුව වායුගෝලීය උණුසුම ඉහළ යනවා කියා පැවසිය නොහැකි බවයි. මන්ද පිටිසර පළාත්වල එම අගයන් වෙනස් විය හැකියි.

ඇලස්කාවේ එක්තරා දූපත වෙසෙන ක්ලිෆර්ඩ් නම් තැනැත්තා පවසන්නේ කාලෙන් කාලයට සිදු වන දේශගුණික වෙනස්කම් ඔහු සියැසින් දැක ඇති බවයි. ඔහුගේ ගම්වාසීන් මුහුද මතුපිට මිදුණු අයිස් මත ගොස් පිනිමුවන් වැනි සතුන්ව දඩයම් කරගෙන එන බව ඔහු පවසනවා. නමුත් උෂ්ණත්වය ඉහළ යෑම නිසා ඔවුන්ගේ ජීවන රටාවට බලපෑමක් වී තිබෙනවා. ඔහු තවදුරටත් පවසන්නේ ‘චුක්චි මුහුදේ අයිස් මිදෙන ආකාරය හා කාල වකවානු දැන් පෙරට වඩා වෙනස්’ කියායි. සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසය අවසානයේදී චුක්චි මුහුද සම්පූර්ණයෙන් මිදෙනවා. නමුත් දැන් දෙසැම්බර් අග වෙන විටවත් එය මිදී අවසන් වෙන්නේ නැහැ.

ගෝලීය උණුසුම නිසා අයිස් දියවීමේ ප්‍රතිඵලයක් ලෙස 2007දී ප්‍රථම වතාවට අයිස් මිදීම නිසා ගමන් කිරීමට නොහැකිව තිබූ ආක්ටික් සාගරයට අයත් එක් නැව් මාර්ගයක (අත්ලන්තික් හා පැසිෆික් සාගර යා කරන නැව් මාර්ගයක) නැව් ගමන් ඇරඹීමට හැකි වුණා. එම වසර වැඩිම අයිස් ප්‍රමාණයක් දිය වූ වසර ලෙස නම් කළ හැකි බව අමෙරිකාවේ දේශගුණික දත්ත සපයන ආයතනයක විද්‍යාඥයෙක් පැවසුවා.—National Snow and Ice Data Center.

හරිතාගාර ආචරණ

ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු වන සාධකයක් ලෙස හරිතාගාර ආචරණයේ සිදු වන වෙනස්කම් දැක්විය හැකියි. සාමාන්‍යයෙන් පොළොව මතට පතිත වන හිරු කිරණ සියයට 70ක් පොළොවට උරාගන්නවා. එලෙස උරාගන්නා ප්‍රමාණය අඩු වුණොත් පොළොව මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 18 දක්වා පහළ බැසිය හැකියි. කෙසේවෙතත් පොළොවෙන් උරාගන්නා එම කිරණ නැවතත් වායුගෝලයට මුදාහරිනවා. එවිට වායුගෝලයේ තිබෙන කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, මීතේන් හා ජලවාෂ්ප වැනි හරිතාගාර වායූන් එය උරාගෙන වායුගෝලය තුළ උණුසුම රඳවා ගන්නවා. මේ ක්‍රියාවලිය තමයි හරිතාගාර ආචරණය ලෙස හඳුන්වන්නේ. මෙය ජීවී පැවැත්මට අවශ්‍ය සාධකයක් ලෙස නම් කළ හැකියි. නමුත් යම් යම් හේතු නිසා තාපය උරාගන්නා හරිතාගාර වායුවල ප්‍රතිශතය වායුගෝලය තුළ වැඩි වුණොත් වායුගෝලීය උෂ්ණත්වය අනිවාර්යයෙන්ම ඉහළ යයි.

අවුරුදු 250ක් පුරා හරිතාගාර වායුවල ප්‍රතිශතය වැඩි වී තිබෙනවා. ඊට හේතුව 18 සියවසේ සිට නිෂ්පාදන සඳහා යන්ත්‍ර සූත්‍ර වැඩි වශයෙන් භාවිත කිරීමට පටන්ගැනීමයි. ඛනිජ තෙල් හා ගල් අඟුරු භාවිතය වැඩි වීමද ඊට බලපානවා. එමෙන්ම සත්ව ගොවිපොළවල් වැඩි වෙද්දී සතුන් පිට කරන අපද්‍රව්‍ය ප්‍රමාණයත් වැඩියි. ඒ නිසා පරිසරයට මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායු එකතු වෙනවා. එය වායුගෝලීය උණුසුම ඉහළ යෑමට බලපානවා. ඒ කෙසේවෙතත් සමහර පර්යේෂකයන් පවසන්නේ මිනිසුන් ගෝලීය උණුසුමට යම් බලපෑම් කිරීමට පෙර සිටම දේශගුණයේ සිදු වූ යම් වෙනස් වීම් ඊට හේතු වූ බවයි.

කාලයක් පුරා සිදු වන දේශගුණික වෙනස්කම

කාලයක් පුරා දේශගුණයේ සිදු වෙමින් පවතින වෙනස්කම් ගැන පෙන්වා දීම සඳහා විවේචකයන් අයිස් යුගය ගෙනහැර දක්වනවා. අවුරුදු ගණනාවකට පෙර අයිස් තට්ටුවලින් විශාල භූමි ප්‍රදේශයක් වැසී තිබූ කාලය අයිස් යුගය ලෙස හඳුන්වනවා. ඒ කාලයේදී දේශගුණය දැනට වඩා ශීතව පැවතුණා. එමෙන්ම එම විවේචකයන් ග්‍රීන්ලන්තය වැනි ශීත රටවල සිදු වී තිබෙන වෙනස්කමක් ගැනද පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ බොහෝ කාලයකට පෙර උෂ්ණත්වය වැඩි ප්‍රදේශවල වැවෙන ගස් කොළන් පවා ග්‍රීන්ලන්තයේ දක්නට තිබුණු බවයි. නමුත් විද්‍යාඥයන් පවසන්නේ ඊට බොහෝ කාලයකට පෙර සිට සිදු වී තිබෙන වෙනස්කම්වලට සාක්ෂි සොයාගැනීමට ඔවුන්ට නොහැකි බවයි.

ගෝලීය උණුසුම ඉහළ යෑමට තවත් කුමන හේතු බලපෑ හැකිද? ඔවුන් පවසන්නේ ඊට හිරු මතුපිට සිදු වන උෂ්ණත්වයේ වෙනස්කම්, ගිනිකඳු පිපිරීමෙන් වායුගෝලයට එකතු වෙන දූවිලි හා සාගර දියවැල්ද හේතු විය හැකියි කියායි. එමෙන්ම වසර දහස් ගණනකට පෙර සිට පොළොව සූර්යා වටා ගමන් කිරීම නිසා සූර්යා හා පොළොව අතර දුර ප්‍රමාණය යම් ප්‍රමාණයකට වෙනස් වී ඇතැයි ඔවුන් සිතනවා. එවැනි හේතු ගෝලීය උණුසුමට බලපෑ හැකි බව ඔවුන්ගේ මතයයි.

පරිගණක ආකෘත

ගෝලීය උණුසුම ඉහළ යෑම මිනිසුන්ටත් මිහිතලයටත් බලපාන්නේ කෙසේද? දේශගුණික සිදුවීම් ගැන කල්තියා නිශ්චය කිරීම අපහසු කාර්යයක්. නමුත් දැන් විද්‍යාඥයන් පරිගණක තාක්ෂණය යොදාගෙන කාලගුණ අනාවැකි පැවසීමට පරිගණක ආකෘති නිර්මාණය කරනවා. ඒවාට පදනම් ලෙස ඔවුන් යොදාගන්නේ භෞතික නීති, කාලගුණික දත්ත සහ ස්වාභාවිකව සිදු වන කාලගුණික වෙනස්කම් වැනි දේවලුයි. එමගින් ඔවුන්ට ස්වාභාවික විපත් පරිගණකය තුළ බිහි කිරීමට හැකි වෙනවා. ඉන් ඇති වන ප්‍රතිඵල අනුව අනාගතයේදී විය හැකි විපත් ගැන නිගමනවලට එළඹීමට ඔවුන්ට හැකියි.

මෙලෙස ස්වාභාවිකව අත්හදා බැලිය නොහැකි දේවල් ඔවුන් පරිගණක ආකෘති මගින් කරනු ලබනවා. එසේ කිරීමේදී ඊට යොදන දත්තයන් වෙනස් කරමින් ඉන් ඇති වන ප්‍රතිඵල ගැන ඔවුන්ට සලකා බලන්න පුළුවන්. නිදසුනකට සූර්ය ශක්තිය අඩු වැඩි වීම් අනුව පොළොව මත තිබෙන අයිස්, වාතය, සාගර උෂ්ණත්වය, වාෂ්පීකරණය, වායුගෝලීය පීඩනය, වලාකුළුවල සැකැස්ම, සුළඟ හා වර්ෂාව වැනි දේවලට ඇති වන බලපෑම නිගමනය කිරීමට ඔවුන්ට හැකියි. ඒ වගේම ඒවා මගින් ඔවුන් ගිනිකඳු “නිර්මාණය” කරනවා. එයින් වායුගෝලයට එකතු වෙන දූවිලි නිසා ඇති වන බලපෑම නිගමනය කිරීමට ඔවුන්ට හැකියි. ඒ විතරක් නොවෙයි ජනගහන වර්ධනය නිසා සිදු වන කැලෑ එළි කිරීම් හේතුවෙන් ඉදිරියේදී සිදු විය හැකි හානි පිළිබඳව අධ්‍යයනය කිරීමටද ඔවුන්ට හැකියි. ඔවුන් සිතන්නේ එම ආකෘතිවලින් ලැබෙන ප්‍රතිඵල නිවැරදි මෙන්ම ඒවා කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවයි.

එවැනි ආකෘති කොතරම් නිවැරදිද කියා බොහෝ දුරට තීරණය වෙන්නේ ඒවාට යොදන දත්තවල නිවැරදිභාවය මතයි. සමහරවිට ඔවුන්ගේ නිර්මාණයෙන් ලැබෙන නිගමනය ස්වාභාවිකව විය හැකි ප්‍රමාණයට වඩා විශාල බලපෑමක් හෝ සුළු බලපෑමක් හෝ විය හැකියි. එක් සඟරාවක පවසන්නේ “නොසිතන ආකාරයට කාලගුණික විපර්යාසයන් සිදු වෙයි” කියායි. ඊට කදිම නිදසුනක් ලෙස කාලගුණ විද්‍යාඥයන් නොසිතූ ආකාරයට ආක්ටික් සාගරයේ අයිස් දියවීම සඳහන් කළ හැකියි. තවමත් පරිසරය රැකගැනීම පිළිබඳව නීති සම්පාදනය කරන අයට මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා පරිසරයට ඇති කරන බලපෑම් ගැන සම්පූර්ණ අවබෝධයක් නැහැ. නමුත් ඔවුන් ගන්නා තීරණ මගින් පරිසරයට සිදු විය හැකි හානි යම් දුරකට අවම කරගැනීමට ඔවුන්ට හැකියි.—Science.

ඒ පිළිබඳව සොයා බැලීමට IPCC කමිටුව විසින් පරිගණක ආකෘති හයක් අත්හදා බලා තිබෙනවා. ඒ එක් එක් ආකෘතිවලට ඇතුළත් කර ඇති දත්ත එකිනෙකට වෙනස්. ඒ ආකෘති හයෙන් ලැබුණු එකිනෙකට වෙනස් ප්‍රතිඵල අනුව ඔවුන් විවිධ නිගමනයන්ට එළඹී තිබෙනවා. එවන් නිගමන අතරට ඛනිජ තෙල් හා ගල් අඟුරු භාවිතය අඩු කිරීම, න්‍යෂ්ටික බලශක්තිය වැඩිපුර භාවිත කිරීම හා පරිසර හිතකාමී තාක්ෂණික ක්‍රම උපයෝගී කරගැනීම වැනි දෑ ඇතුළත් වුණා.

පරිගණක ආකෘති කොතරම් නිවැරදිද?

පරිගණක ආකෘතිවල නිවැරදිභාවය ගැන සැක කරන විවේචකයන් පවසන්නේ අද භාවිත කරන තාක්ෂණය මගින් කාලගුණය ගැන පවසන තොරතුරු ඉතාමත් සරල වුණත් අපට හිතාගත නොහැකි තරම් සංකීර්ණ ක්‍රියාවලියක් ස්වාභාවිකව සිදු වන බවයි. එවැනි ක්‍රම මගින් නිගමනවලට එලඹීමේදී වෙනත් සාධක නොසැලකා හැර තිබෙන බවද ඔවුන් පවසනවා. පරිගණක දෝෂ නිසාද ඒවායේ නිවැරදිභාවය ගැන ස්ථිර විය නොහැකි බව ඔවුන්ගේ හැඟීමයි. දේශගුණික වෙනස්කම් පිළිබඳව පැවැත්වූ IPCC කමිටුවේ සාකච්ඡාවකට සහභාගි වූ විද්‍යාඥයෙක් පැවසුවේ මෙසේයි. ‘අපෙන් සමහර අය දේශගුණික සාධක මැනීමේදී ලබාගන්නා දත්ත අනුව යම් දෙයක් තේරුම්ගන්නවා. ඒ අතිශයෙන් සංකීර්ණ වූ දේශගුණික ක්‍රියාවලිය පිළිබඳ නිගමනවලට එලඹීමට අපි යොදාගන්නා තාක්ෂණය නිවැරදිද කියන දෙයයි.’*

ඉහත සඳහන් කළ කාරණා තම වාසියට හරවා ගනිමින් තමන් කළ යුතු දේ පවා නොකර සිටින්න සමහර අය පෙලඹෙනවා. එලෙස කිරීමෙන් ඔවුන් අනාගත පරම්පරාව ගැන කිසි තැකීමක් නැති බව පෙන්නුම් කරනවා. තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන පවසන අනාවැකි නිවැරදි වුණත් නැතත් මේ පොළොව අනතුරක තිබෙන බව පැහැදිලියි. ඊට පරිසර දූෂණය, කැලෑ එළි කිරීම් හා සත්ව විශේෂ වඳ වී යෑම වැනි දෑ බල නොපාන බවට කිසිවෙකුට තර්ක කළ නොහැකියි.

මිනිසුන් ජීවත් වන ආකාරය වෙනස් කර මේ පොළොව රැකගැනීමට අපිට හැකිද? ගෝලීය උණුසුම ඉහළ යෑමට බලපාන්නේ මිනිස් ක්‍රියාකාරකම් නම් එය වෙනස් කිරීමට අපිට ඉතිරිව ඇත්තේ තව කෙටි කාලයක් පමණයි. එසේ කිරීමේදී ගැටලුවට මූලික වෙන දේවලට අවධානය දීම වැදගත්. ඊට මිනිසුන් අතර පවතින තණ්හාව, ආත්මාර්ථකාමිත්වය, අවබෝධය අඩුකම, නොසැලකිල්ල සහ අසාර්ථක පාලන ක්‍රම ඇතුළත්. මිනිසුන් තුළ පවතින එවැනි ආකල්ප කවදා හෝ වෙනස් කළ හැකිද? නැත්නම් එය සිහිනයක් පමණක්ද? එය සිහිනයක් පමණක් නම් අපිට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැද්ද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන]

John R. Christy, director of the Earth System Science Center at the University of Alabama, Huntsville, U.S.A., as reported in The Wall Street Journal, November 1, 2007.

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පොළොවේ උෂ්ණත්වය මනින්නේ කෙසේද?

පොළොවේ උෂ්ණත්වය මැනීමේදී මුහුණ දීමට සිදු වන අභියෝග මොනවාද කියා දැනගැනීමට අපි නිදසුනක් සලකා බලමු. ඔබ යම් කාමයක උෂ්ණත්වය මනිනවා කියා සිතන්න. ඔබ උෂ්ණත්වමානය තබන්නේ කොතැනද? වහළ ආසන්නයේ හෝ කවුළුවක් අසල එය තැබුවොත් එකිනෙකට වෙනස් අගයන් එහි සටහන් විය හැකියි. ඊට වර්ණයද බලපානවා. අඳුරු වර්ණයක් උෂ්ණත්වය වැඩියෙන් උරාගන්න නිසා එවැනි තැනක උෂ්ණත්ව අගය වැඩි විය හැකියි.

ඒ නිසා එක් තැනක උෂ්ණත්ව අගය හරියටම නිගමනය කිරීම අපහසුයි. දිනෙන් දින මෙන්ම කාලෙන් කාලෙට උෂ්ණත්වයේ අගය වෙනස් වන නිසා නිවැරදි සාමාන්‍ය අගයක් ගැනීම සඳහා යම් කාලපරිච්ඡේදයක් තුළ උෂ්ණත්වය ගණනය කිරීමට සිදු වෙනවා. ඒ ආකාරයට වායුගෝලීය උෂ්ණත්වය, පොළොව මතුපිට උෂ්ණත්වය හා සාගර උෂ්ණත්වය මෙතකැයි කියා ගණනය කිරීම කොතරම් අමාරු කාර්යයක්ද කියා සිතා බලන්න. ඒවායේ අගය නිවැරදිව දැන නොගත්තොත් දේශගුණික වෙනස්කම් නිවැරදිව හඳුනාගැනීමට නොහැකි වෙනවා.

[හිමිකම් විස්තර]

NASA photo

 

විසඳුම න්‍යෂ්ටික බලශක්තියද?

ලෝකය පුරාම කවරදාටත් වඩා වැඩියෙන් බලශක්තිය භාවිත කරන බව පෙනී යනවා. ඒ වගේම ඛනිජ තෙල් දහනයෙන් හා ගල් අඟුරු භාවිතය නිසා කාබන්ඩයොක්සයිඩ් වැනි වායු පරිසරයට මුදාහැරීමෙන් පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. ඊට විසඳුමක් ලෙස අදාළ බලධාරීන් න්‍යෂ්ටික බලශක්තිය නිපදවීම ගැන සලකා බලා තිබෙනවා. නමුත් එයින් පරිසරයට හානියක් නැතුවාම නොවෙයි.

ප්‍රංශයේ පුවත්පතක වාර්තා වූ පරිදි ලොව න්‍යෂ්ටික බලශක්තිය වැඩිපුරම භාවිත කරන රටක් වන ප්‍රංශයේ න්‍යෂ්ටික බලාගාරවල තිබෙන යන්ත්‍ර සිසිල් කිරීමට වසරකට ජලය ඝන මීටර් බිලියන 19ක් පමණ භාවිත වෙනවා. එහිදී අධික උෂ්ණත්වයක් වායු ගෝලයට එක්වෙනවා. ඒ හේතුවෙන් 2003දී ප්‍රංශයේ අධික පරිසර උෂ්ණත්වයක් පැවතුණා. එමෙන්ම එයින් පිට වූ උණුසුම් ජලය ගංගාවලට එක්වීමෙන් ජීවීන්ගේ පැවැත්මටද මහත් තර්ජනයක් එල්ල වුණා. ඒ නිසා සමහර න්‍යෂ්ටික බලාගාර වසා දැමීමට පවා සිදු වුණා. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට බලපාන වෙනත් හේතූන් නිසාද තත්වය තවත් උග්‍ර විය හැකියි.—International Herald Tribune.

බලශක්ති ඉන්ජිනේරුවෙක් වන ඩේවිඩ් ලොක්බාවුම් පවසන ආකාරයට ‘අපි න්‍යෂ්ටික බලශක්තිය භාවිත කළොත් දරුණු කාලගුණික තත්වයන් ඇතිවීමේ අවදානම අවම කරගන්න අපිට පුළුවන්.’

[7වන පිටුවේ කොටුව⁄සිතියම]

වර්ෂ 2007දී වාර්තා වූ ස්වාභාවික විපත

මෙතෙක් වැඩිම ස්වාභාවික විපත් සංඛ්‍යාවක් සිදු වී ඇති වසර ලෙස වාර්තා වන්නේ 2007 වසරයි. එක්තරා සහන සේවා කාර්යාලයකට 2007දී විපත් 14ක් පමණ වාර්තා වුණා. එය 2005දී වාර්තා වූ සංඛ්‍යාවට වඩා විපත් හතරක වැඩි වීමක්. මතු දැක්වෙන විපත් දිගටම මෙයාකාරයෙන්ම සිදු වෙයි කියා බලාපොරොත්තු විය නොහැකියි.—United Nations Office for the Coordination of Humanitarian Affairs.

▪ බ්‍රිතාන්‍යය: වසර 60ක කාලයක් තුළ සිදු වූ දරුණුතම ගංවතුර තත්වය 3,50,000කට වඩා වැඩි සංඛ්‍යාවකට බලපෑවා. වර්ෂ 1766 සිට වාර්තා වී ඇති වර්ෂාපතනයන් සමඟ සසඳද්දී මේ වසරේ මැයි සිට ජූලි දක්වා එංගලන්තයේ හා වේල්ස්හි වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණා.

▪ බටහිර අප්‍රිකාව: රටවල් 14ක වෙසෙන 8,00,000කට ආසන්න පිරිසක් ගංවතුර තර්ජනයට හසු වුණා.

▪ ලෙසොතෝ: අධික උණුසුම හා නියඟය හේතුවෙන් වගාබිම් පාළු වුණා. ඒ නිසා 5,53,000දෙනෙකුට කුසගින්නේ සිටින්න සිදු වුණා.

▪ සුඩානය: ධාරානිපාත වර්ෂාව නිසා 1,50,000කට උන් හිටි තැන් අහිමි වූ අතර 5,00,000කට පමණ සහනාධාර සැපයීමටද සිදු වුණා.

▪ මැඩගස්කරය: දරුණු සුළි සුළං සහ ධාරානිපාත වර්ෂාව නිසා 33,000ක් පමණ අවතැන් වූ අතර 2,60,000කගේ වගාබිම් පාළු වී ගියා.

▪ උතුරු කොරියාව: ගංවතුර හා නායයෑම් නිසා 9,60,000ක් පමණ විනාශකාරී ප්‍රතිඵල අද්දැක්කා.

▪ බංග්ලාදේශය: ගංවතුර තත්වය මිලියන 8.5කට බලපෑ අතර මිනිසුන් 3000කට වැඩි සංඛ්‍යාවක්ද සතුන් මිලියන 1.25ක් පමණද මිය ගියා. නිවෙස් මිලියන 1.5කට පමණ අලාභහානි සිදුවීමෙන් හෝ විනාශ වීමෙන් බොහෝදෙනා අවතැන් වුණා.

▪ ඉන්දියාව: දරුණු ගංවතුර තත්වය මිලියන 30කට බලපෑවා.

▪ පකිස්තානය: සුළි සුළං සහ අධික වර්ෂාව නිසා 3,77,000 පමණ අවතැන් වූ අතර සිය ගණන්දෙනා මිය ගියා.

▪ බොලිවියාව: දරුණු ගංවතුර තත්වය 3,50,000කට වඩා වැඩි සංඛ්‍යාවකට බලපෑ අතර 25,000කට පමණ උන් හිටි තැන් අහිමි වුණා.

▪ මැක්සිකෝව: සමහර ප්‍රදේශවල ඇති වූ ගංවතුර තත්වය මිලියනයකට වඩා වැඩි ගණනකට බලපෑ අතර 5,00,000ක් පමණ අවතැන් වුණා.

▪ ඩොමිනිකන් ජනරජය: දිගු කාලයක් පුරා ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා ගංවතුර සහ නායයෑම් සිදු වූ අතර ඉන් 65,000ක් අවතැන් වුණා.

▪ එක්සත් ජනපදය: දකුණු කැලිෆෝනියාවේ ඇති වූ ළැව් ගිනි හේතුවෙන් 5,00,000ක් අවතැන් වුණා.

[හිමිකම් විස්තර]

Based on NASA/Visible Earth imagery

https://wol.jw.org/si/wol/d/r125/lp-sn/102008282

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.