ගල් අරක්කු මිල අඩු කළ යුතුද?

කසිප්පු බිම අධෛර්යමත් කිරීම සඳහා ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ යුතු බව කම්කරු ඇමැති ඩබ්ලිව්.ඩී.ජී. සෙනෙවිරත්න කළ යෝජනාව මේ වන විට දැඩි කතාබහට ලක්වූ මාතෘකාවත් බවට පත් වී තිබේ. රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඇමැතිවරයා කළ මේ යෝජනාවට රත්නපුරේ එජාප මන්ත්‍රීවරුන්ද පක්ෂ වී තිබේ. මේ පිළිබඳ අදාළ පාර්ශ්ව freemedia.lk වෙත  අදහස් දැක්වූයේ මෙසේය.

අරක්කු මිල අඩු වැඩි කරන්න අපට බෑ. ඒක රජයේ තීරණයක්  සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම කසිප්පුවලට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමට නම් ගල් අරක්කු බෝතලයෙහි මිල පහත දැමිය යුතු යැයි යෝජනා වී තිබුණා. ඇත්තෙන්ම මෙය ඇමැතිවරයකු විසින් යම් කිසි ස්ථානයකදී දැරූ අදහසක් පමණයි. මෙවැනි යෝජනාවක් කළ පමණින් එය ක්‍රියාත්මක වන්නේ යැයි ඉන් අදහස් වන්නේ නැහැ.

එමෙන්ම එවැනි යෝජනාවක් සම්බන්ධව යම් කිසි තීරණයක් ගනු ලබන්නේ නම්; එම තීරණ ගනු ලබන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නොවෙයි. මිල අඩු කිරීම; වැඩි කිරීම පිළිබඳව කරන සෑම කාරණාවක්ම රාජ්‍ය ප්‍රතිපත්තියක්.
සුරාබදු දෙපාර්තමේන්තුව රාජ්‍ය ප්‍රතිපත්තීන් තුළ ක්‍රියාත්මක වනු ලබන්නක්. එනිසා ඇමැතිවරයාගේ යෝජනාවක් වුවත් රජයක් විදිහට ගනු ලබන තීරණයක් මත තමයි සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනු ලබන්නේ.

ඇමැතිවරයාගේ ප්‍රකාශය සහමුලින් නොසලකා හරින බව මින් අදහස් කරන්නේ නැහැ; එම ඉදිරිපත් කරනු ලැබූ කාරණාවන්ගේ යම් කිසි සත්‍යතාවක් නැති බැව් ප්‍රතික්ෂේප කර දමන්නට බැහැ.

සමාජයක පවතින සමාජ ගැටලුවක් මුළුමනින්ම උදුරා දැමීමට බැහැ. එනිසා කළ යුතු වන්නේ එවැනි ගැටලු පාලනය සඳහා විකල්ප සෙවීමයි.

ඇමැතිවරයාගේ යෝජනාව නරක නෑ – රත්නපුර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග

අරක්කු මිල ඉහළ යාමත් සමග කසිප්පු බිමට යොමුවූ පිරිස වැඩි වුණා. රත්නපුර නගරය සමීප දෙමළ ජනතාව වෙසෙන එක් ප්‍රදේශයක මසකට පුද්ගලයෙක් දෙදෙනෙක් හෝ කසිප්පු බිම හේතුවෙන් මරණයට පත්වෙනවා. මෙම තත්ත්වය පිළිබඳව මා අවුරුදු ගණනාවක් තිස්සේ කතා කළා. මෙම සිංහල අවුරුදු සමයේදී ඉතා දැඩි ලෙස ක්‍රියාකාරී වීම හේතුවෙන් යම් පමණකින් කසිප්පු නවත්වා ගැනීමට අපට හැකි වුණා. නමුත් මෙම කසිප්පු උවදුර මැඩලීම තවමත් අපට සාර්ථකව කළ නොහැක්කේ ඇයි දැයි යන්න ප්‍රශ්නයක්.

ගල් අරක්කු මිල අඩු වූවත්, කසිප්පු පෙරීමට පුරුදු වූ පුද්ගලයන් එම කසිප්පු පෙරීම නවතා දමන්නේ නැහැ. නමුත් ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා විසින් කරන ලද යෝජනාව නරක යෝජනාවක් යැයි කියන්නත් බැහැ. මොකද අරක්කු බෝතලයක මිල එක්දහස් ගණනකට ඉහළ ගිය විට රත්නපුර ප්‍රදේශයේ දෙමළ මිනිසුන් පමණක් නොවෙයි, සිංහල මිනිසුන් පවා විකල්ප විදිහට කසිප්පු බිමට පෙළඹී සිටිනවා.

තමන්ගේ නිරුවත වසාගන්න බිරිඳගේ ඇඳුම ගලවනවා වගේ වැඩක් –  මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතුලව ආරච්චි   

මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බළකාය  ජනාධිපතිවරයා විසින් පිහිටවූයේ අප රටේ මත්ද්‍රව්‍ය මද්‍යසාර පිළිබඳ දැඩි ප්‍රශ්නයක් ඇති නිසයි. සමස්තයක් ලෙස ගතහොත් මද්‍යසාර හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය අඩු කිරීම මේ රජයේ ප්‍රතිපත්තියයි. මේ අනුව රජයේ මද්‍යසාර ප්‍රතිපත්තිය අනුව ගත් විට රජයක් විදිහට මද්‍යසාරවලින් ලැබෙන ආදායමින් රජයේ ආදායම් තරකර ගැනීමේ අදහසක් මේ ආණ්ඩුවට ඇත්තේ නැහැ.
මිනිසුන්ගේ අරක්කු භාවිතය අඩු කිරීමට අප විවිධ තීන්දු තීරණ ගෙන තිබෙනවා. දුම් වැටි බද්ද මෑතකදී විශාල ලෙස ඉහළ ගියා. ඔවුන් සිගරට් බිපු කොල්ලෙක් සිගරට් මිල. ඉහළ ගියා යැයි කියා ගඳ ගහන බිඩි බොන්න යන්නේ නැහැ. එකම දේ තමන්ගේ පසුම්බියට ඒ බර දැනෙන නිසා; රුපියල් පනහක් වැය කර දුම් වැටියක් උරනවාද? නැත්ද? යන තර්කය ඔහු තුළ ගොඩගැහෙන්න පුළුවන්. බිඩියක් බොන්න පෙළඹුණා නම් ඒ අතළොස්සක් පමණයි.
රජය අරක්කුවල මිල වැඩි කිරීමට කටයුතු කිරීම නිසා මිනිසුන් කෙසේ හෝ බිමට විකල්ප ලෙස කසිප්පු සොයාගෙන යන බව ජෝන් සෙනෙවිරත්න ඇමැතිගේ තර්කයයි.
රජයක් විදිහට අපේ ප්‍රයත්නය වන්නේ මද්‍යසාර ප්‍රතිපත්තිය තුළ අරක්කු මිල ඉහළ දමමින්; මද්‍යසාර   නිතර, නිතර මිලදී ගැනීමේ හැකියාව සීමා කිරීමයි. හැබැයි ‘අරක්කු මිල ඉහළ යන්න, යන්න, මිනිසුන් කසිප්පු රා වැනි විකල්ප සොයාගෙන යනවා. අරක්කු මිල වැඩි වීම තුළ මිනිසුන්ගේ කසිප්පු භාවිතය වැඩි වී ඇති බව ජෝන් සෙනෙවිරත්න ඇමති සහ තවත් බොහෝ අය දරන මතයක්.  එය හරියට තමන්ගේ නිරුවත වසා ගැනීමට ළඟ සිටින තම බිරිඳගේ ඇඳුම ගලවා ගැනීමක් වගෙයි.

මත්පැනට දිරි දෙන ප්‍රකාශයක් – සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නි.අමාත්‍ය රන්ජන් රාමනායක

කලකට පෙර එක්තරා දේශපාලනඥයෙක් නීති විරෝධී මත්පැන් නීතිගත කරන්න අවසර දිය යුතු යැයි කියූ අවස්ථා තිබුණා. අද පාර්ලිමේන්තුවේත් මහා පරිමාණයෙන් එතනෝල් ගෙන්වන දේශපාලනඥයන් සිටිනවා. සුවඳ විලවුන් නිපැයුමට බලපත්‍ර ගෙන එතනෝල් ගෙන්වන ඔවුන් එයින් නීති විරෝධී මත්පැන් නිපැයුම කරනවා.

පසුගිය සමයේ තොරතුරු දැනගැනීමේ පනතෙන් ප්‍රශ්නයක් යොමු කළේ මමයි. ගුවන් විදුලි හා රූපවාහිනී බලපත්‍ර කී දෙනෙකුට දී ඇත්දැයි මා විමසා සිටියදී ජනපති මගෙන් ඉල්ලා සිටියේ 1984න් පසු මත්පැන් බාර් බලපත්‍ර නිකුත් කිරීම විමසා බලන ලෙසයි. ඒ අනුව සොයා බැලීමේදී 3600 ගණනක් තිබූ අතර ඇතැම් දේශපාලනඥයන් තමන්ට පමණක් නොවෙයි. තම බිරිඳ, ඥාතීන්ගේ නම්වලට පවා බලපත්‍ර ලබාගෙන තිබුණ බව අනාවරණය වූවා. මෙය තමයි තිත්ත ඇත්ත.
දේශපාලනඥයන් වශයෙන් අප සෑම විටම ජනතාවට පූර්වාදර්ශයක් දිය යුතුයි. මා හිතන අන්දමට කසිප්පු බිම අඩු කිරීම ගල් අරක්කු මිල පහත දැමීම වැනි අදහස් ප්‍රකාශය තුළින් සිදුවන්නේ මතට දිරි දීමක් විය හැකියි.

මම බොන අයකු නොවේ මේ යෝජනාව කළේ හිත හොඳින් –  කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න

රත්නපුර දිස්ත්‍රික්කයෙහි පමණක් නොව, බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල වතු ආශ්‍රිත ප්‍රදේශයන්හි ‘කසිප්පු’ උවදුරක් බවට පත්වී හමාරයි.

මිනිස්සු කසිප්පු බිමට පෙළඹෙන්නේ පුරුදුවී තිබෙන්නෙ ඔවුන්ට බිමට එවැනි වෙනත් බිමක් නැති නිසයි. මොකද? ගල්කඩන, තේ වතුවල වැඩ කරන, ගොඩනැගිලි වැඩ කරන කම්කරුවන් වැනි ඇඟපත වෙහෙසා වැඩ කරන බොහෝ දෙනෙකු සවසට වැඩ අවසන් වී මත්පැන් ටිකක් බිමට පුරුදු වී සිටිනවා.

බොන්න එපා, මත්පැන් පානය සෞඛ්‍යයට අහිතකරයි, සදාචාරයට ගැළපෙන්නේ නැතැයි අපි මොන බණ කිවුවත් සත්‍යය නම් ඔවුන් ඒ බණ අහන්නේ නැත යන්නයි; වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයන් බොහොමයක් ‘ඇඟ පතේ රුදාව, යන්නට මොනවා හෝ බිමට පුරුදු වී සිටිනවා. මතෛක් කල් ඔවුන්ට බිමට  අරක්කුවලින් ලාබයටම තිබුණේ ගල් අරක්කුයි.

නමුත් එදා රුපියල් අටසිය පහට තිබුණු ගල් අරක්කු බෝතලය බෝතලයක් රුපියල් එක්දහස් පන්සියයකට ඉහළ ගිහින්. ගල් අරක්කු මිල ඉහළ නැගීමත් සමග ගල් අරක්කු බිමට පුරුදුව සිටි පුද්ගලයන් ු ගල් අරක්කු වෙනුවට කසිප්පු බිමට පෙළඹී සිටින්නේ ලාබයටම බොන්නට තිබෙන්නේ කසිප්පු පමණක් නිසයි. අද ඇතැමුන් කසිප්පු හදාගෙන පවා බොන්න පටන් අරගෙන. මෙම කසිප්පු සෞඛ්‍යයට අහිතකර බැවින් අද එය විශාල ගැටලුවක් වී තිබෙනවා.

මේ තත්ත්වය නැති කරන්නට නම් ගල් අරක්කු (විශේෂ අරක්කු) මිල අඩු කළ යුතු යැයි යන්න මගේ අදහසයි. එවැනි මිල අඩුවීමක් වුණොත් කසිප්පු බිමට පුරුදු වී සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව පහළ මට්ටමකට වැටීමට ඉඩ තිබෙනවා.
හැබැයි එතනදී මා අදහස් කරන්නේ මත්පැන් පානය හොඳයි  කියන කාරණාව නොවෙයි. ශරීරයට වඩාත් අහිතකර කසිප්පුවලින් මිනිසුන් ගලවා ගැනීම ගැනයි; මෙය මත්පැන් ව්‍යාප්ත කිරීමට මා දරන උත්සාහයක් නොවේ. මොකද මමත් මත්පැන් බොන පුද්ගලයෙක් නොවෙයි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.