ගංවතුර සහ නාය යාම්: හේතුව පරිසර විනාශයද?

ශ්‍රී ලංකාව පුරා ඇද හැලුණු ධාරානිපාත මෝසම් වර්ෂාවෙන් අනතුරුව හටගත් ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව එකසිය විසිපහ ඉක්මවා ඇත.

පන් ලක්ෂයකට ආසන්න පිරිසක් උන් හිටි තැන් අහිමිව සිටින බව ආණ්ඩුව පවසයි. තවත් සියයකට ආසන්න පිරිසක් අතුරුදහන්ව සිටියි.

මීට ඉහත වසරවලදී ද මෝසම් වැස්සෙන් අනතුරුව විශාල පිරිසක් මරුමුවට පත් වූ අතර, ඒ සෑම අවස්ථාවකම ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන් හිටි තැන් අහිමිවිය.

ස්වභාවික සංසිද්ධියක්වන මෝසම් වැස්ස නැවැත්වීමේ හැකියාවක් නැතත්, මෝසම් වැස්සෙන් අනතුරුව මේ ආකාරයෙන් නිරන්තරයෙන් සිදුවන ජීවිත සහ දේපොළ විනාශය වලක්වා ගත නොහැකිද?

“අපි හැමදාමත් දියුණු වෙන රටක්,” freemedia.lk ඒ ප්‍රශ්නය මතු කළ අවස්ථාවේ පරිසරවේදිනී ආචාර්ය සුජාතා ගමගේ ගේ ප්‍රතිචාරය වූයේ එයයි.

‘ලර්න් ඒෂියා‘ ආයතනයේ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශිකා ආචාර්ය සුජාතා ගමගේ පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාව වසරක් පාසා මුහුණදෙන මේ ව්‍යසනයට ප්‍රධානම හේතුව අවිධිමත් සංවර්ධනයයි.

“ඇත්තටම අපේ රටේ ඉදිරි දැක්මක් ඇතිව ප්‍රත්පතිමය තීන්දු ගැනෙන්නේ නෑ. හරිම කණගාටුයි ඒ ගැන.”

පරිසරවේදී හේමන්ත විතානගේ සහ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන ද ඒ මතය අනුමත කරති.

විශේෂයෙන්ම මිහිතලය රත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෝසම් වැසි එන්න එන්නම ආන්තික වෙමින් පවතින බව පවසන ඔවුහු, ඒ සඳහා පෙර සූදානමක් නොමැතිවීම මෙතරම් ජීවිත සහ දේපොළ විනාශයකට ප්‍රධානම හේතුව බවත් පෙන්වා දෙති.

“විශේෂයෙන්ම රටේ දැඩි වියලි කාලගුණයක් තිබිල දවස් දෙකක් ඇතුලත මේ වගේ ධාරානිපාත වැස්සක් වැටෙන්නේ මිහිතලය රත්වීම නිසා,” පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ  පැවසීය.

“ඒ නිසා මේ වගේ දෙකට අපි සූදානම් වෙලා ඉන්න ඕන ඒත් අපි සූදානම් නෑ.”

මිහිතලය රත්වීමේ බලපෑම අඩුකරගැනීම පිණිස ක්‍රියාකරනු වෙනුවට ශ්‍රී ලංකාවේ ජනතාව සහ බලධාරීන් කරනු ලබන්නේත් එය තවත් උග්‍රවන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවීම බවත් ඔහු සඳහන් කරයි.

  1. වගුරු බිම් ගොඩ කිරීම
  2. කැලෑ එලි පෙහෙළි කිරීම
  3. කැලෑ කපා තේ වැවීම
  4. නිසි සැලසුමකින් හෝ ඉදිරි දැක්මකින් තොර දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති
  5. අසීමිත ප්ලාස්ටික් භාවිතය

වැනි කරුණු සියල්ල මෝසම් වැස්සේ බලපෑම උග්‍රවීමට හේතු වී තිබෙන බව පවසන පරිසරවේදියා, එහෙත් පරිසරයට කෙලින්ම බලපාන එවැනි කරුණු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ තීරණ ගැනීමේ බලාධිකාරියක් නොමැති බවත් සඳහන් කළේය.

“උදාහරණයක් විදියට අපි ගනිමු දක්ෂිණ අධිවේගී මාර්ගය. දැන් ඒකෙ දොඩන්ගොඩ පිවිසුමත් යටවෙලා. ඒකට හේතුව අධිවේගී මාර්ගය නිර්මාණය කරද්දී ජලය බැස යන්න නිසි ආකාරයට බෝක්කු දැම්මේ නෑ,” හේමන්ත විතානගේ පෙන්වා දුන්නේය.

“අධිවේගී මාර්ගය කියන්නේ වේල්ලක් නේ? ඉතින් ඒ වේල්ල නිසා කොටු වෙන ජලය ගලා බසින ක්‍රමයක් තියෙන්න ඕන.”

විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන ද එය අනුමත කරයි.

“වතුර කියන දේට කොහෙන් හරි ගලන්න ක්‍රමයක් තියෙන්න ඕන,” නාලක ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

එහිදී ගංගාවක් පිටාර ගැලීම යනු සාමාන්‍ය සංසිද්ධියක්වන නමුත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල වැසි වතුර ගලා යාමේ නිසි ජලාපවහන පද්ධතියක් නොමැතිවීම මෙහිදී මතුවන බරපතලම ප්‍රශ්නය බවත් ඔහු පෙන්වා දෙයි.

“මේ දෙකේ සංකලනයේ ප්‍රතිඵලයක් විදියට තමයි නිවාස සහ මාර්ග යටවෙන්නේ.”

එබැවින් ශ්‍රී ලංකාවේ මේ සිදුවෙමින් පවතින්නේ ස්වභාවික ව්‍යසන නොව මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ව්‍යසන (Man-made disasters) බව නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

මිහිතලය රත්වීමට දායකවීම පිළිබඳව රටක පුරවැසියන්ද වගකීම භාරගත යුතු වුවත්, ජීවත්වීමේ අරගලයක නිරතව සිටින සාමාන්‍ය වැසියන්ට මේ සම්බන්ධයෙන් දොස් පැවරීම නිවැරදි නොවන බව ආචාර්ය සුජාතා ගමගේ ගේ අදහසය.

“වෙන රටක නම් මේ වගේ තැන්වල ගෙවල් හදන්න දෙන්නේ නෑ. එහෙම නැත්නම් හොඳ රක්ෂණ ක්‍රමයක් තියෙනවා,” ඇය පවසන්නීය.

කාලගුණ වෙනස්වීම් සහ මිහිතලය රත්වීමේ ප්‍රතිවිපාක පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව, විධිමත් සැලැස්මක් ප්‍රකාර රටක දෛනික කටයුතු මෙන්ම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ද ක්‍රියාවට නැගෙන්නේ නම් මෙවැනි ස්වභාවික ආපදාවලින් සිදුවන ජීවිත සහ දේපොළ හානි අවම කරගත හැකි බව ඔවුන් තිදෙනාගේම අදහසය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.