කොළඹ වරාය නගරය: සයුර ගොඩකිරීම අවසන් කරයි

ශ්‍රී ලංකා වරාය නගර ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කරමින් හෙක්ටයාර 269 ක බිම් ප්‍රමාණයක් ගොඩකිරීම මේ වන විට අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් ඉදි කෙරෙන වරාය නගරයේ ගොඩකිරීම් අවසන්වූ බව බදාදා (ජනවාරි 16) වරාය නගර පරිශ්‍රයේ පැවති උත්සවයකදී නිල වශයෙන් නිවේදනය කෙරිණි.

ගොඩ කරන ලද මෙම භුමි ප්‍රදේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකාවේ භූමියක් ලෙස නම් කිරීමට නියමිතය.

පසුගිය ආණ්ඩුව ‘වරාය නගරය’ ලෙස නම් කළ (පෝට් සිටි) ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව නම් කර ඇත්තේ ‘මූල්‍ය නගරය’ ලෙසය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය සේවා සැපයුම් ක්‍රියාවලියේ ප්‍රමුඛයෙකු බවට පත් කිරීම එහි අපේක්ෂාව බව රජය පවසයි.

BBCImage copyrightPORTCITY

වරාය නගරයේ ගොඩ කළ හෙක්ටයාර 269 ක භුමියෙන් හෙක්ටයාර 178 ක් ආයෝජන සඳහා වෙන්කර ඇති අතර, ඉතිරි හෙක්ටයාර 91, මාර්ග සහ මහජන උද්‍යාන වැනි පොදු ස්ථාන සඳහා වෙන්කර තිබේ.

ආයෝජන සඳහා වෙන්කර ඇති භූමියෙන් හෙක්ටයාර 116 ක් මෙම ඉදිකිරිම කළ සමාගමට වසර 99 කට හිමිවන අතර ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජය සතුවේ.

ඉදිරියේදී විවිධ ඉදිකිරීම් සඳහා ආයෝජකයන්ට මෙම ඉඩම් මිලදී ගත හැකිවේ. බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ පෝට් සිටි චීන සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වන තුල්සි අලුවිහාරේ පැවසුවේ, ලෝකයේ ඕනෑම රටක ඕනෑම පුද්ගලයකුට එම ඉඩම් මිලදී ගෙන ඉදිකිරීම් කළ හැකි බවය.

“මේ වසරේ දෙවන කාර්තුවේ අපිට ඉදිකිරීම් පටන් ගන්න පුළුවන්, අපිට තව වැඩ ටිකක් තියෙනවා මේ භුමිය ඉදිකිරීම් සඳහා සුදානම් කරන්න.”

“ඊලඟට අපිට තියෙන්නේ මේකේ ප්‍රධාන සැලස්ම අනුව දේශීය හා විදේශීය ආයෝජන ගේන්න. චීන විතරක් නෙවේ ඕනෑම කෙනෙක්ට අපේ ප්‍රධාන සැලස්ම අනුව ඉදිකිරීම් කරලා ආයෝජනය කරන්න පුළුවන්,” තුල්සි අලුවිහාරේ පැවසුවේය.

දැනට කාන්තාර භූමියක් ලෙස දිස්වෙන මෙහි ඉතා කුඩා ප්‍රදේශයක ගස් සිටුවීම ආරම්භ කර තිබේ. මුළු හෙක්ටයාර 269 ප්‍රදේශයෙන්ම කොළ පාටට දිස්වන්නේ එම ගස් සහ තණකොළ සිටුවා ඇති ප්‍රදේශය පමණි.

BBC

“මෙය සාර්ථකයි, වටේ ගිහින් බලන්න, දැනට අපේ විකුණුම් අංශය එතන පිහිටුවන්න සැළසුම් කරලා තියෙනවා,” තුල්සි අලුවිහාරේ පැවසීය.

වරාය නගරයෙහි පර්චසයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 285,000ක් වැය වන බව බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මින්පෙර බීබීසි සිංහල සේවයට පවසා තිබු අතර ඔහු එහිදී පැවසුවේ රුපියල් ලක්ෂ 200 ක පමණ මුදලකට මෙහි පර්චසයක් අලෙවි කළ හැකි බව අපේක්‍ෂා කරන බවයි.

වරාය නගරයේ කරන ඉදිකිරීම් එහි ප්‍රධාන සැලැස්මට අනුව සිදුවිය යුතු අතර, 2040 වසරේ දී එහි සම්පුර්ණ වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

PortCityImage copyrightPORTCITY

“අද දවසේ වටිනාකම අනුව ඩොලර් බිලියන 15 ක ආයෝජනයක් මේ ඉදිරි කාලේ මෙතන සිදුවෙනවා. ව්‍යාපාර, ආයතන, හෝටල්, නිවාස යෝජනා ක්‍රම මෙහි ගොඩනැගෙනවා. ශ්‍රී ලාංකිකයන්ට සෘජු රැකියා 80,000 ක් මේකෙන් බිහිවෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

PortCityImage copyrightPORTCITY

මෙම වරාය නගර ව්‍යාපෘතියේ සාර්ථකත්වය සමග ඉදිරියේදී කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තිරයේ ද නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශක්‍යතා අධ්‍යයනයක් මේවන විට සිදුවෙමින් තිබෙන බව බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක බදාදා (ජනවාරි 16) වරාය නගර පරිශ්‍රයේ පැවති උත්සවය අමතමින් පැවසීය.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.