යම් හෙයකින් ඔබට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත්, එසේත් නැතිනම් ආසාදිත පුද්ගලයෙකු ඇසුරු කිරීම නිසා නිරෝධායනයට යොමු වීමට සිදු වුවහොත් මාධ්‍යවේදියෙකුට අවසර නොමැතිව ඔබේ රුව සහ ඔබේ නිවසේ දර්ශන පටිගත කළ හැකිද?
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඔබ හෝ ඔබේ ඥාතී, හිතමිතුරන් කළ යුත්තේ කුමක්ද?
මේ මොහොතේ අප මේ ගැටළුවලට වහා පිළිතුරු සොයාගත යුතුව ඇත


ඔබේ අයිතිය
යම් මාධ්‍යවේදියෙකු විසින් තමන්ගේ රුව හෝ නිවසේ දර්ශන පටිගත කරන්නේ නම් ඊට විරුද්ධ වීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇති බව නීතිවේදීහු පෙන්වා දෙති.
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින නීතිවේදීන් දෙදෙනෙකු කියා සිටියේ පුරවැසියන් වශයෙන් ‘අප, අපගේ අයිතීන් පිළිබඳ දැනුවත් වී සිටිය යුතු’ බවය.
කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයෙකු හෝ ඔවුන් ඇසුරු කළ අයෙකුගේ අනන්‍යතාව හෙළි කිරීම මගින් ඔවුන් වෙනස් ලෙස සැලකීම මෙන්ම වර්ගීකරණයකට ලක් කෙරෙන බව මානව හිමිකම් පිළිබඳ ප්‍රවීණයෙකු වන ජැමෙයිකාවේ කිංස්ටන් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති වශයෙන් කටයුතු කරන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ යමෙකුට වෙනස් ලෙස සැලකීම සහ යමෙකු වර්ගීකරණයකට ලක් කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාවේ අයිතිය උල්ලංඝනය කිරීමක් සේ සැලකෙන බවය.
“1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ (2) වගන්ති අනුව නීතිය ඉදිරියේ සැම දෙනාම සමානව ආරක්ෂා විය යුතුයි, කිසිම හේතුවක් නිසා ඔවුන් වර්ගීකරණය කරන්න බැහැ. අබාධිත වෙන්න පුළුවන්, ලෙඩ රෝග තිබෙන අය වෙන්න පුළුවන් එහෙත් ඔවුන් ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා ඔවුන් වෙනස් පුරවැසියන් කොටසක් වශයෙන් සලකා ඒ අයගේ පිංතූර මාධ්‍යයේ පළ කරනවා නම් ඒක සම්පූර්ණයෙන් නීතිය කඩ කිරීමක්. එසේ ඔවුන්ගේ ඡායාරූප දැමීමෙන් ඔවුන් සමාජය තුළ කොන් වීමක් සිදු වෙන්නේ. කෙනෙකු කොන් කරනවා කියන්නේ ඒ අයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ යටතේ අදාළ ආයතනවලට එරෙහිව ක්‍රියා කළ හැකියි.”
“ඔබ දකිනවා ප්‍රසිද්ධ පුද්ගලයන් අධිකරණයට ගෙන එන කොට, බන්ධනාගාර රථ වෙත ගෙනියනකොට වීඩියෝ කරනවා, ඡායාරූප ගන්නවා. නමුත් මේ කොරෝනා වසංගතයට අදාළව එවැනි අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි සිදු වන්නේ. මේ අය යන්නේ ලෙඩකට බෙහෙතක් ගන්න.” යනුවෙන් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසයි.
ජනමාධ්‍ය වෙනුවට “ජඩමාධ්‍ය”
මේ අතර පොදු යහපත වෙනුවෙන් යයි කියමින් කොරෝනා වෛරස් රෝගියෙකුගේ පුද්ගලිකත්වය ආක්‍රමණය කළ හැකිදැයි යන්න මාධ්‍යවේදීන් තම තමන්ගෙන් විමසා බැලිය යුතුව ඇතැයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාධරයෙකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ අනන්‍යතාව හෙළි වන ලෙස ඔහුගේ හෝ ඇයගේ මුහුණ සහ ඔවුන් වෙසෙන නිවෙස් පෙන්වීමෙන් මහජනයාට වෙන සුබ සිද්ධිය කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.
“මගේ මූණ පෙන්නන එකෙන් තිබෙන පොදු යහපත මොකක්ද කියලා මිනිස්සු ප්‍රශ්න කළ යුතුයි. මගේ පුද්ගලිකත්වයට හානි වීම මිස මගේ මුහුණ, මගේ ගෙදර වීඩියෝ කළා කියල වෙන පොදු යහපත මොකක්ද? මේ දේ මිනිස්සු ඇසිය යුතුයි. ඊට විරුද්ධ වීමට ඔබට අයිතියක් තිබෙනවා. මාධ්‍යවේදියෙක් කියලා තවත් අයෙකුගේ පුද්ගලික නිදහසට හානි වෙන අයුරින් වීඩියෝ කරන්න, ඡායාරූප ගන්න ඔවුන්ට බලයක් නැහැ.”
“තමන් අනවශ්‍ය දෙයකට නිරාවරණය වෙලා, යම් කෙනෙකුගේ ක්‍රියාවක් නිසා තමන්ට බරපතල හානියක් සිද්ධ වෙනවා නම්, පාරේ යනකොට මිනිස්සු ගල් ගහන මට්ටමට පත්වෙනවා නම් එවැනි ක්‍රියාවක් කරන පුද්ගලයාට විරුද්ධ වීම, තමන්ගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතියයි. පුරුද්දක් වශයෙන් අපි අපේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. සමාජයක් වශයෙන් අප ඒ දැනුවත් භාවය ලබා ගත යුතුයි.” යනුවෙන් නීතිඥ උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් පැවසීය.
“නීතිඥයෙකු වශයෙන් නැතිව සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස දකිනවා නම් ජඩ මාධ්‍ය කලාවේ ලක්ෂණයක් තමයි අපි මේ දකින්නේ. මේ වසංගත මොහොතකත්, මෙතරම් ව්‍යසනයක් මැදත් තමන්ගේ රේටින්ග්ස් ඉහළ දමා ගන්න මේවා මේ විදිහට පාවිච්චි කරන්නේ ඒ නිසයි. ඒ අර්ථයෙන් ගත්තත් තමන් ඒ අරමුණුවල ගොදුරක් බවට පත් වෙන්න දෙන්න එපා. ඒකට විරුද්ධ වෙන්න. නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පසෙකින් තැබුවත් මිනිස්සු තමන්ගේ අයිතීන් පිළිබඳ දැනුවත් වී සිටිය යුතුයි,”
ගත හැකි පියවර මොනවාද?
සිය පුද්ගලිකත්වයට හානි වන සේ කටයුතු කරන මාධ්‍යවේදීන් ඉදිරියේ කොරෝනා වෛරස් අසාදිත පුද්ගලයෙකුට හෝ ඔවුන්ගේ භාරකරුවන්ට ගත හැකි මූලික පියවර කිහිපයක් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා යෝජනා කරයි:
- “2003 බුද්ධිමය දේපල පනත යටතේ අනුමැතියකින් තොරව ඔබගේ ඡායාරූපයක් හෝ වීඩියෝ දර්ශන පටිගත කරන්න බැහැ. ඒ නිසා ඊට විරුද්ධ වෙන්න පුළුවන්. විරුද්ධ වුණත් ඡායාරූප ගන්නවා නම් ඒ මාධ්‍යවේදියාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.”
- “ඔය කියන අවස්ථාවේ එතන සෞඛ්‍ය බලධාරීන් ඉන්නවා. පොලිසිය හෝ පීඑච්අයි මහතෙකු ඔවුන් සමග එනවා. එහිදී ඔවුන්ට පුළුවන් ඊට විරුද්ධ වෙන්න. මේක අප සතු කාර්යයක්, මේක කිසිම විදිහකට පටිගත කරන්න එපා කියල ඔවුන්ට කිව හැකියි.”
- “තමා වෙත පැමිණෙන සෞඛ්‍ය නිලධාරීන්ට හෝ පොලිසියට කියන්න, මේ මාධ්‍යවේදීන් මෙතනින් ඉවත් කරන්න කියලා. මොකද මේක මගේ ශරීරය, මේක මගේ නිවස, මේ දේවල් පෙන්වීම තුළ මා විශාල වශයෙන් වර්ගීකරණයකට ලක් වෙන බව ඔවුන්ට කියන්න.”
- “තවදුරටත් එසේ කරන්න උත්සහ කරනවා නම්, කැමරාව අරන් බලහත්කාරයෙන් එන්න හදනවා නම්, පළාතේ පොලිස් ස්ථානයට ඒ ගැන පැමිණිලි කරන්න පුළුවන්. ජංගම දුරකතනයක් තිබේ නම්www.police.lk කියන වෙබ් අඩවිය හරහාත් ඒ බව දැන්විය හැකියි.”
- “සමහරවිට රෝගියා රැගෙන ගිය පසු කේන්තියට, ‘මෙන්න මේ ගෙදර ඉන්නවා’ කියලා ඒ අයගේ නිවස රූගත කරන්න පුළුවන්. එහිදී පුද්ගලිකත්වය උල්ලංඝනය කෙරෙනවා වගේම, ඒ දේවල් කිසි ලෙසක සදාචාර සම්පන්නත් නැහැ.”
“ඒ නිසා තමන්ගේ අයිතීන් ගැන දැනුවත් වෙන්න. මොකද ඔබ පමණක් නෙමෙයි ඔබ සමග ඉන්න පවුලේ අනෙක් අයත් ඔබ විසින් ආරක්ෂා කර ගත යුතුයි. ඒ නිසා මේ ගැන ජනතාව දැනුවත් වී සිටිය යුතුයි.” යනුවෙන් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැඩිදුරටත් සඳහන් කළේය.