කුල භේදයට සංඝ සමාජයේ ඉඩක් තිබේ ද?

බුදු දහම හා කුල භේදය පිළිබඳව මේ වනවිට මෙරට තුල විශාල කතාබහක් මතුව ඇත.  සංඝ සමාජය තුල කුල භේදයට ඉඩක් ඇත්ද යන්න පිළිබඳවද මේ වනවිට සමාජ මාධ්‍ය තුල පවා විශාල කතාබහක් මතුව ඇත.

කෙසේ වෙතත් බුදුන් දේශනා කල සුත්ත  නිපාතයේ වසල සූත්‍රයේ නම්  සඳහන්වන්නේ “උපතින් කිසිවෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු නොවන අතර යම් පුද්ගලයෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ තමන් කරන ක්‍රියා අනුව පමණක්” බවය.

බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ දඹදිව පැවති බව පැවසෙන කුල භේදය සුණු විසුණු කර දැමීමට මෙම ආකල්පය ඉවහල් වූ බවද බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

ආචාර්ය වල්පොළ රාහුල හිමියන් මානව සමාජයේ පමණක් නොව බෞද්ධ සමාජයේ පැවති කුල භේදයන්ට ද දැඩි ලෙස අභියෝග කළ හිමි නමකි. උන් වහන්සේ, එවක කුල භේද නිසා පීඩාවට පත්ව සිටි විවිධ ජන කොටස් සොයා ගොස් ඔවුන්ට බණ දේශනා කරමින් පිහිට වූහ.

උන් වහන්සේ 1932 වසරේදී පමණ ලියන ලද ලිපි එකතුවක් වන (පසු කලෙක එය මුද්‍රණය කෙරිණි) ‘සත්‍යෝදය’ නමැති ග්‍රන්ථයෙහි කුල භේදය දැඩි ලෙස විවේචනය කර තිබේ.

පූජ්‍ය වල්පොළ රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරන කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ බෞද්ධ දර්ශනය තුළ කුල භේදයට ඇති තැන සම්බන්ධයෙන්මෙසේ අදහස් දැක්වූහ.

“මිනිස් සමාජය වත්කම්, දේපොළ ආදී කරුණු පදනම් කරගෙන බෙදීම්වලට යනවා. වෘත්තිය අනුව බෙදෙනවා. ඒ බෙදීම් මත උසස් පහත් ලෙස බෙදී සිටිනවා,” එහිමියෝ සඳහන් කළහ.

මානව සමාජයේ පවතින එම බෙදීම්වලට සංඝ සමාජයේ ඉඩක් තිබේ ද?

“උසස් පහත් විදිහට බෙදිලා තිබුණ සමාජ ක්‍රමය ප්‍රතික්ෂේප කරලා තමයි බුදුන් වහන්සේ භික්ෂු සමාජය ගොඩ නැගුවේ. විවිධ බෙදීම්වලට ලක් වෙලා තිබුණ ගිහි සමාජයට ආදර්ශයක් සපයන්නයි උන් වහන්සේ කිසිදු භේදයක් නැති සංඝ සමාජය නිර්මාණය කළේ,” පූජ්‍ය ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ පැවසූහ.

එහිමියන් සඳහන් කළේ, කිසිදු ආකාරයකින් උපත මත උසස් හෝ පහත් යනුවෙන් බෙදීමක් බෞද්ධ දර්ශනයට අනුකූල නොවන බවය.

“සංඝ සමාජය, ගිහි සමාජයට ආදර්ශයක් විය යුතුයි. ගිහි සමාජයේ තියෙන අනිසි බෙදීම් සංඝ සමාජය තුළ පවත්වාගෙන යනවා නම් ඒක බුදු දහමේ අරමුණෙන් පිට පැනීමක්,” පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ පැවසූහ.

බුදුන් වහන්සේ බෞද්ධ ශාසනය සමාන කර ඇත්තේ, මහා සාගරයටය.

“බුදුන් වහන්සේ බුද්ධ ශාසනය සාගරයට සමාන කළේ, ගැඹුරු අර්ථයක් ඇතිවයි. සාගරයට විවිධ තැන්වල ඉඳන්, ඇළදොළ, ගංගාවලින් විවිධ ආකාරයෙන් ජලය ගලාගෙන එනවා. ඒ ජලයේ කසළත් තියෙනවා. හැබැයි ඒ ජල කොහෙන් කොහොම ආවත් සාගරයට එකතු වුණාට පස්සේ ඔක්කොම එක ම සාගරයක්. ඒ වගේ තමයි බුද්ධ ශාසනය,” එලෙස පැහැදිලි කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය උදය මැද්දේගමය.

“බුද්ධ ශාසනයට ඕන ම කුලයක කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. එකතු වුණාට පස්සේ කිසි භේදයක් තියෙන්න බෑ,”

ඔහු පෙන්වා දුන්නේ, “බුදු දහම තුළ කුල භේදයට කිසි ම ඉඩක් නැහැ. බුදු දහම තුළ කුලය හෝ වෙනත් කරුණු මත උසස් හෝ පහත් කිරීම බුදුන් වහන්සේ දැඩි ලෙස හෙළා දැක තිබෙනවා,” යනුවෙනි.

ශ්‍රී ලංකා සංඝ සමාජය තුළ විවිධ බෙදීම් ඇති වීමට කරුණු කිහිපයක් බලපා ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සිල් මෑණියෝ පැවසූහ.

“බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා දේශනා කළේ, ශාසනයේ නායකත්වය ධර්ම විනය මත පදනම් වන බව. ඒත් පසුකාලීනව ථෙරවාද සහ මහායාන වශයෙන් බෙදීම් සිදු වුණා. ලංකාවට ථෙරවාද බුදු දහම ආවත් ක්‍රි.ව. 1 වන සියවසේ විතර මහායාන බලපෑම් ඇති වුණා. ඊට පස්සේ අභයගිරිය සහ මහා විහාරය යනුවෙන් බෙදුණා.”

පසුකාලීනව විවිධ හේතු නිසා ක්‍රමයෙන් පිරිහීමට ලක් වූ බුදු දහම මහනුවර යුගයේදී දරුණු ලෙස කඩා වැටීමෙන් පසු පූජ්‍ය වැලිවිටි සරණංකර හිමියන්ගේ මැදහත් වීමෙන් යළි උපසම්පදාව ආරම්භ කර තිබේ.

“පරිහානියෙන් පස්සේ මුල් කාලයේ පැවිදි වුණ ඇතැම් පහත් කුලවලට අයත් යැයි සලකුණු පුද්ගලයින් පැවිදි වුණාට පස්සෙත් රජ්ජුරුවන් ඉදිරියේ වැඳ වැටිලා තියෙනවා. ඒ නිසා රජ්ජුරුවෝ නීතියක් පනවලා තියෙනවා ‘පහත් කුලවල’ අය පැවිදි කරන්න එපා කියලා. ඊට පස්සේ තමයි සියම්, අමරපුර, රාමාඤ්ඤ වගේ විවිධ නිකායයන්වලට බෙදුණේ,” පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සිල් මෑණියෝ පැවසූහ.

“විවිධ සමාජ කරුණු හේතු වෙන්න පුළුවන් මේ තත්ත්වය ඇති වෙන්න. ඒත් මේ කිසි ම භේදයක් බෞද්ධ දර්ශනයට අනුකූල නැහැ,” පූජ්‍ය නාවලපිටියේ අනුරාධා සිල් මෑණියෝ වැඩිදුරටත් සඳහන් කළාය.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.