කැකිල්ලේ තීන්දු නිසා බොල්ගොඩ අවට ජනතාවගේ වාසභූමි අනතුරේ

 

බොල්ගොඩ ගං කොමළියට  එම ගං දෑලවර වෙසෙන ජනතාව බෙහෙවින් ආදරය කරති. ඔවුන්ගේ ජීවිත බොහෝසෙයින් මෙම ගංගාව හා බැදී පවතී . ඒ නිසාම බොහෝ කලක සිටන්ම එම ජනතාව  මෙම ගංගාව සමග  තම දුක සැප බෙදා හදා ගනිමින්, ගං දෑලවර තම වාසභුමිය කරගනිමින් ,  සාමයෙන් සතුටින්  කල් ගෙවුහ .

එහෙත්  හදිසියෙම කිසිවකුත් නොපැතූ පරිදි මෙම මිනිසුන් වෙත,  තම වාසභූමි අහිමිව යාමේ බරපතල තර්ජනයක් එල්ලවී ඇත.  ඒ බොල්ගොඩ ගංගා කොමලියගේ වරදකින් නොවේ.,  ඔල මොළ නැති බලධාරීන්ගේ ක්‍රියාවන් හේතු කරගෙනය.

ගමේ උපන් ගම්වැසියන්ගේ සින්නක්කර වාසභූමි ගඟට අයිති භූමිය යැයි කියා රජයට පවරා ගැනීමේ උත්සාහයක් දැන් දැන් මතුවෙමින් ඇත. එබැවින් ගම්වාසීන් මේ වනවිට ජීවත්වන්නේ තමන් දශක ගණනාවක් පුරා දිවි ගෙවූ නිවාස,  ඉඩකඩම් , කොයි වෙලේ රජයට පවරා ගනීවිදෝ යන සැකයෙනි , බියෙනි.

මෙම තර්ජනය ඍජුවම එල්ලවී ඇත්තේ බොල්ගොඩ දැල්තර බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන පිරිසකට පමණක් වීමද මෙම ගැටලුවේ ඇති සුවිශේෂත්වයකි.

වෙනත් හව්හරනක් නොමැති නිසාමදෝ ඔවුන් , අතිශය මානුෂික වූ මෙම ගැටලුව , දුක්ගැනවිල්ල,  මෙසේ අපගේ වෙබ් අඩවිය  වෙත පැවසුහ .

“මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ පසුගියදිනක  ගඟේ මායිම් ලකුණු කළා . එහිදී ඔවුන් භාවිතා කළේ 1870 වසරේ  , සුද්දාගේ කාලේ හදපු පිඹුරු පතක්‌. ඒ ප්ලෑන් එකට මැන්නම අපේ ගෙවල් දොරවල් සේරම ගඟට යට වෙනවා . මේක මහ අසාධාරණ වැඩක්”

ඒ බොල්ගොඩ ගඟේ දැල්තර තොටුපළට එකතු වී අප වෙත තම දුක්ගැනවිල්ල කියූ  ගම්මුන්ගේ පොදු හඬය.

ගම්මුන්ගේ උස්‌ හඬ හීන් වී යැමත් සමඟ ,එම පිරිස අතර සිටි එස්‌. එම්. ධර්මසිරි පෙරේරා මහතා  ගැටලුව තවදුරටත් විස්‌තර කරන්නට පටන් ගත්තේය .
”2009 මධ්‍යම පරිසර අධිකාරියේ පනතට අනුව ගඟේ මායිම පැහැදිළිව ලකුණු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ගං ඉවුරේ ඉඳලා ගොඩබිමට අඩි හතළිහක්‌ රක්‍ෂිත භූමිය. ඒ භූමියේ ඉදිකිරීම් කරන්න බෑ. 2009 අවුරුද්දෙන් පස්‌සෙ මේ දක්‌වා ගඟ අයිනේ කිසිදු ඉදිකිරීමක්‌ කරලා නෑ. ඒක අපි විශ්වාසයෙන් කියනවා. 2009 අවුරුද්දට පෙර කරපු ඉදිකිරීම් තියෙනවා. දැන් ඒවට කරන්න දෙයක්‌ නෑ. අපේ ගෙවල් තියෙන්නෙ රක්‍ෂිත ප්‍රදේශයෙනුත් එපිට. දැන් මිනින්දෝරු මහත්වරුයි, පරිසර සංවිධානවල නිලධාරිනුයි ඇවිත් කියනවා ගඟේ මායිම තියෙන්නෙ මෙතැනයි , මෙතැන ඉඳලා තමයි ගඟ මනින්න ඕනා කියලා ,අපේ ගෙවල් මැදින් මායිම් ලකුණු කරන්න හදනවා.

ඉන්පසු හඬ අවදිකළේ ලසිත් ආටිගල මහතාය

“මනින්න ආපු නිලධාරීන්ට අපි කිව්වා උසාවි නියෝගය පෙන්වන්න කියලා. එහෙම දෙයක්‌ නෑ. මේ සම්බන්ධයෙන් කිසිම දවසක අපිව නඩුවකට කැඳවලත් නෑ. ඒ නිසා අපිට මේ මැනුම පිළිගන්න බෑ. අපි මායිම් ලකුණු කරන්න දුන්නේ නෑ. මේ ප්ලෑන් එකේ හැටියට ගඟේ ඉවුර තියෙන්නේ අපේ ගෙවල්වල මැද.”

මේක අසාධාරණ මැනුමක්‌. ඒ නිසා අපි නිහඬව ඉන්නෙත් නෑ. තියෙන සබ්බසකලමනාව වියදම් කරලා හරි නඩු කියනවා. මනින්න ආපු නිලධාරිනුත් කිව්වේ ඔයාලා අධිකරණයට යන්න කියලා. ඒ නිලධාරිනුත් මේ සිද්ධියේදී අසරණයි.”

පුෂ්පා මල්කාන්ති මහත්මියත් කතාබහට එක්විය

”අපේ ඉඩම්වලට සින්නක්‌කර ඔප්පු තියෙනවා. ගෙවල් දොරවල් හදලා තියෙන්නෙ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ඇතිවයි . දැල්තර අපි උපන්බිම. මට දැන් අවුරුදු පනස්‌ පහක්‌ වෙනවා. මම දැනගෙන හිටියේ නෑ අපේ ඉඩම ඇතුළේ ගඟ තියෙනවා කියලා. එහෙම දැනගෙන හිටියා නම් අපි ලක්‍ෂ ගණන් වියදම් කරලා ගෙවල් දොරවල් හදන්නෙ නෑ.. අපේ මේ ඉඩම්වලට පිරිසිදු ඔප්පු තියෙනවා. පහුගිය ආණ්‌ඩුව කාලේ ගඟ මැනලා ඉවුර දිගට ස්‌ථිර ගල් බැම්මකුත් දාලා තියෙනවා. ඒ බැම්මේ ඉඳලා ගොඩබිමට අඩි හතළිහක්‌ රක්‍ෂිත ප්‍රදේශ කියලා නම් කළාට ගැටලුවක්‌ නෑ. එතැනින් එපිටට තව අඩි හතළියක්‌ ගඟට අයිති කරගැනීම අසාධාරණයි…”

රැස්ව සිටි සියලු ගම්වාසීන්ගේ අදහස් සලකා බැලුවිට , ගං ඉවුරේ සිට අඩි හතළිහක රක්‍ෂිත ප්‍රදේශය පිළිගැනීමට එම  සියලු දෙනා එකඟය. නමුත් එතැනින් එහාට එක අඩියක්‌වත් මැනීමට නොදෙන බව ඔවුහු තරයේ කියා සිටිති.

2009 දෙසැම්බර් මස 30 වැනිදා ගැසට්‌ පත්‍රයට අනුව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24ඇ සහ 24ඈ වගන්තිය ප්‍රකාරව, බොල්ගොඩ පාරිසරික ආරක්‍ෂක ප්‍රදේශයක්‌ ලෙස හඳුන්වමින් එම පරිසර ආරක්‍ෂක ප්‍රදේශයේ සීමාවන් තුළ බලතල ක්‍රියාත්මක කිරීම හෝ යම් කර්තව්‍යයක්‌ ඉටුකිරීම මධ්‍යම පරිසර අධිකාරිය හැර වෙනත් කිසිම තැනැත්තකු විසින් නොකළ යුතු බව සඳහන් කර ඇත. එමෙන්ම පාරිසරික ආරක්‍ෂක ප්‍රදේශය තුළ ජල දේහයේ ඉවුරු දිගේ දැනට පවතින උපරිම ජල ගැලීම් මට්‌ටමේ සිට අවම වශයෙන් අඩි 40 ක පළල රක්‍ෂිත ප්‍රදේශයක්‌ පවත්වාගෙන යා යුතු බවත්, එම රක්‍ෂිත ප්‍රදේශය තුළ සුදුසු භූමි අලංකරණ කටයුතු පවත්වාගෙන යා හැකි බව ද ගැසට්‌ පත්‍රයේ සඳහන් වේ. ගම්වැසියන්ගේ සාමාන්‍ය ජීවිත රටාවට සහ ඔවුන්ගේ ජීවිකාවට බාධාවක්‌ ඇති නොවන පරිදි අනුමත භාවිතයන් ක්‍රියාත්මක කළ යුතු බව ද ගැසට්‌ පත්‍රයේ සඳහන් වේ. එහෙත් දැන් සිදු වෙමින් ඇති මෙම නව මිනුම් ක්‍රියාවලිය ,දැල්තර ගම්වාසීන්ට කරන අසාධාරණයක් බව බැලු බල්මට පෙනේ .

එමෙන්ම 2009 දෙසැම්බර් 30 වැනිදා ගැසට්‌ පත්‍රයට අනුව බොල්ගොඩ පාරිසරික ආරක්‍ෂක ප්‍රදේශයට අයත් භූමි ප්‍රදේශය වන්නේ කොළඹ පරිපාලන දිස්‌ත්‍රික්‌කයේ රත්මලාන, කැස්‌බෑව සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවල සහ කළුතර පරිපාලන දිස්‌ත්‍රික්‌කයේ පානදුර, බණ්‌ඩාරගම සහ කළුතර ප්‍රදේශීය ලේකම් කොට්‌ඨාසවල පිහිටි පානදුර ගඟේ මෝයකටේ සිට වේරැස්‌ ගඟේ දකුණු කෙළවර දක්‌වාත් බොල්ගොඩ වැවේ උතුරු කෙළවර දක්‌වාත් විහිදී ඇති වේරැස්‌ගඟ, බොල්ගොඩ උතුරු වැව, බොල්ගොඩ ගඟ සහ බොල්ගොඩ දකුණු වැව, පානදුර ගඟ හා ඒ ආශ්‍රිත සියලුම දූපත් හා ජල දේහයන් ඇතුළත්ව ඒවායේ දැනට පවතින ඉවුරුවල සිට මීටර් හැටක්‌ දක්‌වා ගොඩබිම දෙසට විහිදුන ප්‍රදේශයන්ය. එහෙත් 1870 පිඹුරට අනුව මැනීම් කටයුතු සිදු කිරීමට යන්නේ බොල්ගොඩ දැල්තර නැඟෙනහිර, බටහිර ප්‍රදේශ තුළ පමණි.

1870 පිඹුරු පත යනු බ්‍රිතාන්‍ය පාලන සමයේ ඔවුන් විසින්  පිළියෙළ කරන ලද පිඹුරු පතකි. මේ පිඹුරට අනුව මැනුම් කටයුතු සිදු කිරීමේදී බොල්ගොඩ ගඟ ඉවුරේ සිට ගොඩබිමට අඩි හතළිහක්‌ සීමා මායිම් ලකුණු කර එතැන සිට ගඟ රක්‍ෂිත ප්‍රදේශය ලෙස තවත් අඩි හතළිහක්‌ වෙන් කිරීමට නියමිතය. මේ භූමිය ප්‍රමාණය පවතින ගං ඉවුරේ සිට අඩි අසූවක්‌ පමණ වේ. ගම මැදින් වැටුණු දම්පේ පාර ආසන්නයට ගඟ පැමිණේ. අලුත් මැනුම විටෙක හාස්‍යජනක වවන්නේ මේ නිසාය .

එමෙන්ම පසුගිය වසර එකසිය පනහක කාලය තුළ මෙරට නීතියට අනුව, බොල්ගොඩ ගඟ අවට ඉඩම් සිය ගණනකට නඩු තීන්දු ලබාදී ඇත. එම නඩු තීන්දුවලදී මෙම ගඟේ මායිම් මෙරට අධිකරණ පද්ධතිය විසින් පැහැදිළිව පිළිගෙන තිබේ. නැවත ගඟ මැනීමට 1870 පිඹුරු පතක්‌ භාවිත කිරීම යනු එම නඩු තීන්දු සියල්ලට විරුද්ධව යැමකි.

එසේම , 1870 පිඹුර පතකට කොළඹ බේරේ වැව, කෝට්‌ටේ දියවන්නාව මැනීමක්‌ සිදු කළහොත් ඇති වන තත්ත්වය බරපතළය. එසේ වුවහොත් කොළඹ නගරයේ ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක්ම කඩා බිඳ දැමීමට සිදුවනු නොඅනුමානය .

එමෙන්ම 1870 පිඹුරු පතට බොල්ගොඩ ගඟ මැනුම් කටයුතු සිදු කළහොත් එය බොල්ගොඩට පමණක්‌ සීමා නොවී මුළු රටේම ගංගාවලට පොදු විය යුතුය. පවතින නීති බලාත්මක කරමින් බොල්ගොඩ ගඟ පමණක්‌ නොව රටේ සියලු ගඟ තෙත් බිම්, ඇළ දොළ, වෙරළ තීරයන් සුරක්‍ෂිත කිරීම රටක වගකීමකි. නමුත් ඒ සියලු නීති රීති අවසානයේ ජනතාවගේ හිත සුව පිණිස විය යුතුය . අවුරුදු සිය ගණන් පැරණි පිඹුරු පත් භාවිතා කරමින් කැකිල්ලේ රජවරු මෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට ගියහොත් අසරණ වන්නේ ජනතාවමය . අසාධාරණයට ලක්වන්නේද ජනතාවමය .

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.