කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වනවා -UNFPA කියයි

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට අනූවක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පැවැත්වූ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එහෙත් ඒ අතරින් පොලිසියේ සහය පතන්නේ අතවරයට ලක් වන කාන්තාවන්ගෙන් සියයට හතරකට ආසන්න පිරිසක් පමණක් බව එම දීපව්‍යාප්ත සමීක්ෂණයේදී හෙළි වී තිබේ.

මෙහෙම දෙයක් පැමිණිලි කළ විට තමාට වරද පටවයි කියලා වැරදි ආකල්පයක් අපේ තියෙනවා. තමාට චරිත ඝාතනයකට මුහුණ දෙන්න වෙයි, තමාට කරදරවලට මුහුණ දෙන්න වෙයි කියන කාරණා නිසා බොහෝ දෙනෙක් පැමිණිලි කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ වගේ වැඩසටහන් තුළින් කාන්තාවන් බලසම්පන්න කරන්නේ, දැනුවත් කරන්නේ පැමිණිලි කරන්න කියලා,” කොළඹ පුරපතිනි රෝසී සේනානායක freemedia.lk සමග අදහස් දක්වමින් කියා සිටියාය.

“කාන්තාවන්ට මේවට එරෙහිව නැගිටින්න කතා කරනවා වගේ ම මේ දේවල් කරන අඩු මානසිකත්වයක් ඇති විකෘති මනසක් ඇති පුද්ගලයන්ට මේ දේවල් කරන්න එපා, මේවා ගැන ලිහිල්ව සලකන්න එපා කියන පණිවිඩයත් අපි දෙනවා.”

“සුරක්ෂිතතාවක් නැහැ, මේ හේතුව නිසා ම තමයි මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරන්නේ. අපේ කාන්තා ශ්‍රම බලකාය 36.8% මේක 40% දක්වාවත් ඉහළ ගිහිල්ල නැහැ. ඒකට කරුණු ගණනාවක් තියෙනවා. ඒකෙන් එකක් තමයි කාන්තාවන්ට සුරක්ෂිත ප්‍රවාහන සේවයක් නොමැති වීම,” ඇය කියා සිටියාය.

කාන්තාවන් පොදු ප්‍රවාහනයේදී මුහුණ දෙන ලිංගික හිංසන සිදුවීම් හේතු කර ගෙන දුම්රියවල කන්තාවන්ට පමණක් වෙන් වූ දුම්රිය මැදිරි වෙන් කිරීමට ද ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එම සේවය ලබන 8 වන දාට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීව ආරම්භ කිරීමට නියමිතය.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.