“කසිප්පු තියාගත්තොත් දඩය ලක්‍ෂයයි; වත්කම් හෙළි නොකළාම රුපියල් දාහයි”

“කසිප්පු පෙරුවත් ලක්ෂ ගණන් දඩ” මුදල් අයකිරීමට අධිකරණයට බලය තිබෙන නමුත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ සැපයීම නොකරන දේශපාලනඥයන්ට රුපියල් දහසක උපරිම දඩයක් නියම කිරීමේ විධිවිධානය නීතිවේදීන්ගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

ඒ පිළිබඳව දැනට පවත්නා නීති ප්‍රතිපාදන වහාම සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ගෝමින් දයා ශ්‍රී සහ මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ අවධාරණය කරති.

නීතිවේදීන් දෙදෙනා එසේ පැවසුවේ වත්කම් බැරකම් ප්‍රකාශ සැපයීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අධිකරණය විසින් රුපියල් දහසක දඩයක් නියම කරනු ලැබීම පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දක්වමිනි.

සිය “පන්තිය ආරක්ෂා කරගැනීමේ අරමුණින්” මෙවැනි නීති සංශෝධනය කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් පියවර නොගන්නා බව ඔවුන් දෙදෙනාගේම අදහසය.

හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන

“හොරකම්, වංචා නැතිකරන්න පොරොන්දු වෙලා එන කිසිම ආණ්ඩුවක් මේ වගේ නීති වෙනස් කරන්න සූදානම් නෑ,” නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ සඳහන් කළේය.

“මම හිතන්නේ දැන් කාලය ඇවිල්ල තියෙනව මේ නීතිය වෙනස් කරලා දඩ මුදල උපරිමයත් නැති කරලා, සඟවන ලද මුදල් ප්‍රමාණයට සරිලන විදියේ දඩයක් නියම කරන්න වෙනව. මම හිතන්නේ ඒක ලක්ෂ ගානක් විය යුතුයි.”

එම අදහස අනුමත කරන නීතිවේදී ගෝමින් දයා ශ්‍රී පවසන්නේ, වර්තමානයේ දේශපාලකයන් පිළිබඳව ජනතා විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවය.

“වරප්‍රසාද ලත් දූෂිත පිරිසක් වශයෙනුයි ජනතාව දැන් දේශපාලකයන් සලකන්නේ. ඒ නිසා අල්ලස් ගැනීම සහ වෙනත් මාර්ගවලින් මුදල් උපයා ගැනීම වැළැක්වීම සඳහා වත්කම් හෙළිකිරීම අත්‍යවශ්‍ය දෙයක්,” ඔහු පැවසීය.

ආදායම් බදු නොගෙවා හැරීම හෝ ආදායම හෙළි නොකිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව බන්ධනාගාරගත කිරීමේ හැකියාව තිබෙන නමුත් දේශපාලකයින්ගේ මෙවැනි වැරදිවලට රුපියල් දහසක දඩයක් පමණක් හිමිවීමට හේතුව “ආණ්ඩු පක්ෂයයි, විපක්ෂයයි කොලේ වහගෙන වැඩ කිරීම,” බව ද නීතිවේදී ගෝමින් දයා ශ්‍රී සඳහන් කළේය.

නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම හෝ අවශ්‍ය විටෙක අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට නියම වන දඬුවම රුපියල් 1,000 නොවැඩි දඩයක් සහ/හෝ වසරකට නොවැඩි කාලයක සිර දඬුවමකි.

 බැඳුම්කර කොමිසම වෙත පැමිණි අගමැති

මේ අතර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම පැහැර හැරීම වෙනුවෙන් මෙතෙක් පැවති රුපියල් 1,000ට නොවැඩි දඩය රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

එහෙත් එය කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව චන්ද්‍රපාල කුමාරගේ නීතිඥවරයාගේ අදහස ය.

“වත්කම් ප්‍රමාණය වැඩි වෙන විදියේ, ලක්ෂයෙන් පටන් අරන් ලක්ෂ පනහක් හෝ ඊටත් වැඩි ගාණක් දක්වා වැඩිවීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. දැන් කසිප්පු තියාගත්තත් දඩ ගහනවා ලක්ෂ ගණන්. දඩයක් විතරක් නොවෙයි, දීර්ඝ කාලීන සිර දඬුවමකුත් අනිවාර්යයෙන්ම නියම කරන්න ඕනේ.”

අඛණ්ඩව වසර දෙකක් වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි කර නැති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව පවරා තිබුණු නඩුවකදී චුදිත හිටපු අමාත්‍යවරයා වරද පිළිගත් අවස්ථාවේ ඔහුට රුපියල් 2,000 දඩයක් නියම කෙරිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ නඩු තුනකට වරද පිළිගෙන තිබූ අතර ඔහුට නියම වූයේ එක් නඩුවකට රුපියල් 1,000 බැගින් රුපියල් 3000 දඩ මුදලකි.

“උදාහරණයක් විදියට බැඳුම්කර ගනුදෙණුව ගැන වුණත් වත්කම් හෙළිකරන්න බැරි වුනොත් දඩය ඕක තමයි,” නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ පැවසීය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.