ඓතිහාසික මොහොතක්, විධායක ජනපති ක්‍රමය ගැන එකඟත්වයක් නෑ – රනිල්

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද පාර්ලිමේන්තු අනුකාරක සභා හතක් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා ඇසුරින් සකස් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා ( සැප්තැම්බර් 21) පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

එය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව හමුවේ අදහස් දැක්වූ අගමැතිවරයා, බෙදා වෙන් කළ නොහැකි ඒකීය ශ්‍රී ලංකාවක් පිළිගැනීමට අනුකාරක සභාවල සියලූ සාමාජිකයන් සූදානම් බව අවධාරණය කළේය.

ඉතිහාසයේ “පෙර නොවූ විරූ පියවරක් ඉදිරියට තබමින්,” ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම එකඟ වන්නේ නම් අතුරු වාර්තා කෙටුම්පතේ සඳහන් කරුණුවලට එකඟවන බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වී තිබෙන බව ද අගමැතිවරයා පැවසීය.

එබැවින් දශක ගණනාවක් භේද භින්න වී තිබුණු රටක පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ඇති වී තිබෙන “ඓතිහාසික අවස්ථාව” ගිලිහෙන්නට ඉඩ නොදිය යුතුය යන්න අගමැතිවරයාගේ ස්ථාවරය විය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ කෙටුම්පතක් පමණක් බව පෙන්වා දෙන අගමැති රනිල් වික්‍රමසිංහ, අවසාන ලේඛනය සකස් කරන්නේ ජනතා සංවාදයට භාජනය කිරීමෙන් පසුව බව අවධාරණය කළේය.

අනුකමිටු වාර්තාව

නව ව්‍යවස්ථාව සම්බන්ධ අතුරු වාර්තාව සමන්විත වී තිබෙන්නේ අනුකාරක සභා හතක වාර්තා ඇසුරිනි:

  1. අධිකරණය පිළිබඳ අනුකාරක සභා වාර්තාව
  2. මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභා වාර්තාව
  3. මුදල් පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව
  4. ජාතික හා මහජන ආරක්ෂාව සහ පොලිසිය හා නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව
  5. රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව
  6. මධ්‍යම-පර්යන්ත සම්බන්ධතා පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව
  7. පාර්ලිමේන්තුව සහ පළාත් සභා අතර සම්බන්ධතා පිළිබඳව සොයා බැලීම සඳහා මෙහෙයුම් කමිටුව විසින් පත්කරන ලද තත්කාර්ය අනුකමිටුවේ වාර්තාව

පහත දැක්වෙන්නේ අධිකරණය පිළිබඳ අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ සාරාංශයකි.

ගතව ගිය සමයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ අත්දැකීම් සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මතු වූ ගැටළු සැලකිල්ලට ගනිමින්, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ ප්‍රකාශිත විධිවිධාන නව ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතු බව අනුකාරක සභාවේ එක් ප්‍රධාන නිර්දේශයකි.

විශේෂයෙන්ම ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව මගින් අධිකරණ සහ විනිශ්චය සභා හරහා ක්‍රියාවට නගනු ලබන වත්මන් “අසතුටුදායක” ක්‍රමවේදය වෙනුවට ජනතාවගේ අධිකරණ බලය සෘජුවම අධිකරණ වෙත පැවරිය යුතු බව අනුකමිටුවේ අදහසය.

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විධිවිධාන ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවෙන් යහපත් මාර්ගෝපදේශයක් ලබාදෙන බවත් එහි සඳහන් වේ.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුවන ගැටළු විනිශ්චය කිරීම පිණිස, ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවිය යුතුය යන්න තවත් නිර්දේශයකි.

වෙනත් අධිකරණවලදී විභාගයට ගැනෙන ව්‍යවස්ථාව සම්බන්ධ සියලු කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු කළ යුතු අතර, එහිදී “විනිසුරුවරුන් හත් දෙනාම අධිකරණයේ විනිශ්චයාසනාරූඩ යුතුය,” යනුවෙන් ද අනුකමිටුව යෝජනා කරයි.

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විනය පාලනය සහ ඔවුන් සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කරන අනුකමිටුව පවසන්නේ ඒ සඳහා විනය පාලන කොමිෂන් සභාවක් පත් කළ යුතු බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත එම කොමිසම පත් කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි.

කිසියම් විනිසුරුවරයෙකුගේ විෂමාචාරයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව විනය පාලන කොමිෂන් සභාව ඉදිරිපත් කරන වාර්තාව මත පදනම්ව ඔහු/ඇය සේවයෙන් පහ කළ යුතු බව ව්‍යවස්ථා සභාව නිර්දේශ කරනු ලැබුව ද, ඔහු/ඇය සේවයෙන් පහ කිරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ එම යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවන්නේ නම් පමණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 15 ක් දක්වා වැඩි කළ යුතු බව ද අනුකමිටුව නිර්දේශ කරයි.

 අභියාචනාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව 45 ක් විය යුතු බව තවත් නිර්දේශයකි.

එයට අමතරව පළාත් බදව අභියාචනාධිකරණ ස්ථාපිත කළ යුතුය. අපරාධ සහ වාණිජ වැනි අංශ වෙනුවෙන් අභියාචනාධිකරණයේ විවිධ අංශ ද තිබිය හැකිය.

එමෙන්ම වැටුප් ලබන හෝ නොලබන, අධිකරණ කටයුතුවලින් පරිබාහිර වෙනත් කිසිම කාර්යයක් භාර ගැනීමට දැනට සේවයේ නියුතු හෝ විශ්‍රාමික උපරිමාධිකරණ විනිසුරුවන්ට අවසර ලබා නොදිය යුතු බව ද අධිකරණය පිළිබඳ අනුකාරක සභාව යෝජනා කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවImage copyrightEPA

බුදු දහමට ව්‍යවස්ථාවෙන් ලබා දී ප්‍රමුඛස්ථානය ඒ අයුරින්ම ආරක්‍ෂා කෙරෙන බව නව යෝජනා සභාගත කරමින් සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, නව ව්‍යවස්ථාවට පදනම් වන්නේ බෞද්ධ ප්‍රතිපත්ති හා මූලධර්ම බව ද පෙන්වා දුන්නේය.

“බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවයි. අවෛරයෙන් වෛරය ජයගතයුතු බවයි. අද අපි ඉටු කර ගන්න බලාපොරොත්තු වන අරමුණෙහි හරය එයයි. ඒ වගේම ඉදිරියේදීත් අපේ ජාතියට මඟපෙන්වීම සඳහා මේ බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි අප විශ්වාසය තබනවා,” අගමැතිවරයා පැවසීය.

දැඩි ලෙස මධ්‍යගත වූ පාලන ව්‍යූහය වෙනුවට ප්‍රාදේශීය කලාපවල අවශ්‍යතා ආමන්ත්‍රණය කළ හැකි බලය බෙදීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන නමුත් විධායකයේ සහ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය නිර්වචනය කිරීමේ සම්බන්ධයෙන් තවදුරටත් නිරාකරණය කර ගත යුතු ක්ෂේත්‍ර පවතින බවත් අගමැතිවරයා සඳහන් කළේය

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.